Pages

Tuesday, September 1, 2009

මරණ දඩුවම යළි
Death Penalty Again

(කොළඹ, ලංකාපුවත්, අගෝස්තු 30) – මරණ දඩුවම යළි ක්‍රියවාට නැංවීම කෙරෙහි විශේෂ වාර්තාවක් ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් සකස් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වුණු විශේෂ වාර්තාවක් මේ වන විට අධිකරණ අමාත්‍යාංශය සකස් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

මරණ දඩුවම යලි ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ දී සාකච්චා වට කිහිපයක් පවත්වා තිබේ. එහිදි එකඟවුණු කරුණු කාරණාවලට අනුව මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතන සිද්ධියේ වැරදිකරුවන්ට එරෙහිව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව වාර්තාව ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ඊට අදාල නීතිපති වාර්තාව, නඩු විභාග කළ විනිසුරුවරුන්ගේ වාර්තා සහ අභියාචනාධිකරණ වාර්තා මේ වන විට කැඳවා ඇතැයි ද අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

ව්‍යවස්ථානුකූලව මෙම වාර්තා සියල්ල විමර්ෂණය කොට අධිකරණ අමාත්‍යාංශය විසින් විශේෂ වාර්තාවක් සකස් කිරීමට නියමිතය. එය ජනාධිපතිතුමන්ගේ අවධානයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ වන විටත් බෝගම්බර සහ වැලිකඩ බන්ධනාගාරයන්හී එල්ලුම් ගහ යලි ක්‍රියාවට නැංවීම සඳහා සූදානම් කර ඇති බවද වාර්තාවේ.
විවිධ අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් වී සිටින පුද්ගලයින් 256දෙනෙකුට මේ වන විට ස්ථිර ලෙසින්ම මරණ දඩුවම ලබාදීමට තීරණය කර තිබේ.

Saturday, August 29, 2009

taniyama innwa

අනෝමා ජනාදරී
Anoma Janadari, Sri Lankan Actress, Cinema


අනෝමා ජනාදරී අන්තර්ජාතික සම්මාන දිනූ දක්ෂ චරිතාංග නිළියක්. ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ රඟපෑම් උදෙසා ඇය 2003 සිංගප්පූරු අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ හොඳම නිළිය සඳහා වන සම්මානය දිනාගත්තා. මේ ඇය සමඟ කළ සතුටු සාමීචියයි.

අනෝමා මේ දවස්වල මොනවද කරන්නේ?

”මම අලුතින් නිපදවන වේදිකා නාට්‍යයක රඟපානවා. අද හොඳ චිත්‍රපට නම් නොහැදෙන තරම්. ඒ නිසා මම වගේ නිළියකට ඒක ප්‍රශ්නයක්. මෑතදී තැනුණේ හොඳ චිත්‍රපට දෙකයි. එකක් ‘අක්ෂරය’. අනෙක ‘ආකාස කුසුම්’. ටෙලි නාට්‍යවල නම් රඟපාන්න දෙයක් නැහැ. හොඳ චරිතයක් ලැබුණොත් විතරක් රඟපානව මිසක් ලැබෙන හැම ටෙලිනාට්‍යයක්ම භාරගන්නේ නැහැ.


මොකක්ද ඔබ රඟපාන වේදිකා නාට්‍යය?

”ඒකේ නම ‘මහාරාජිනි’. ඉතාලි ජාතික ඩාරියෝ ෆෝගේ නාට්‍යයක අනුවර්තනයක්. නාට්‍යයේ අනුවර්තනය හා නිෂ්පාදනය ධර්මජිත් පුනර්ජීව. මේක මාධ්‍ය හැසිරීම ගැන කියැවෙන නාට්‍යයක්. මාධ්‍ය මඟින් ජන ආකල්ප වෙනස් කරන හැටි ගැන තමයි මේ නාට්‍යයේ කතාවෙන්නේ. මම රඟපාන්නේ මාධ්‍ය ආයතනයක හිමිකාරීනියගේ චරිතය.

ඔයා මීට ඉහත ධර්මජිත් පුනර්ජීව නිෂ්පාදනය කළ ‘සිංහබාහු’ ඉංගිරිසි නාට්‍යයේ සුප්පා දේවිගේ චරිතය නිරූපණය කළා. මේ චරිතය හරියට පූලාන් දේවි වගේ වුණු බව ‘සිංහබාහු’ නිර්මාතෘ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ බිරිය – ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කරලා තිබුණා. මේ චෝදනාව ගැන ඔයාට මොනවද කියන්න පුළුවන්?

’ඒක නිෂ්පාදකවරයාගේ අර්ථකථනය. ඔහුගේ අර්ථකථනයට අනුවයි මම රඟපෑවේ. ඔහුට ඕනෑවුණේ නැහැ සුප්පාදේවී හඬාවැටෙන, විලාප තියන ගැහැනියක් කරන්න. සුප්පා දේවි කියන්නේ එඩිතර ගැහැනියක්. තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් එඩිතර තීරණ ගත් ගැහැනියක්. ඒ වගේ රාජ කුමාරියක් සිංහයකු වැනි දඩබ්බරයකු සමඟ ජීවත්වන්නට හදපු එකම එඩිතර තීරණයක්. ඇය සාම්ප්‍රදායික චරිතයක් නෙමේ.

ඔබ කියන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් මවපු සුප්පා දේවි හඬා වැටෙන ගැහැනියක් කියලද?

”ඔව්. හැම වෙලේම ඇය කරන්නේ විලාප තියන එක. පරණ පිටපතට අලුත් අර්ථකථනයක් දීමේ අයිතිය නිෂ්පාදකවරයාට තියෙනවා. ඒ නිෂ්පාදනය කළ සුප්පා දේවි වෙතින් පූලාන් දේවියක් මතුවුණා නම් ඒක නිෂ්පාදකවරයාගේ සාර්ථකත්වය. මොකද ඔහුට ඕනෑ කළේ එබඳු චරිතයක් නිර්මාණය කිරීමයි. නිළියක වශයෙන් මම කළේ ඔහුගේ අර්ථකථනයට අනුව රඟපෑමයි.

ඔබ ‘කුපාඩියා’ යන නමින් යුතු චිත්‍රපටයක රඟපානවා කියලා පසුගිය දවස්වල පත්තරවල තිබුණා.

”ඔව් මම රඟපෑවා. මේ චිත්‍රපටයේ තිරරචනය පිළිබඳ ප්‍රශ්න තිබුණා. තිර රචනයේ මගේ චරිතය මට ඕනෑ විදියට වෙනස් කරගන්න ඉඩ දෙනවා නම් රඟපානව කියලා මම කිව්වා. අධ්‍යක්ෂවරයා ඒ සඳහා එකඟවුණු නිසා මම රගපෑවා”.

’තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ ඔබ නිරුවතින් රඟපෑවා. අද ආපහු හැරිලා බලද්දි ඔබට ඒ ගැන කිසියම් ආකාරයක පශ්චාත්තාපයක් ඇතිවෙන්නේ නැද්ද?

’රඟපෑම මගේ වෘත්තිය. මගේ වෘත්තිය සම්බන්ධයෙන් මම අවංකයි. වෘත්තීය නිළියක් වුණාම (මං දන්නේ නැහැ මං මේ අපේ සංස්කෘතියට අදාළව ද කතා කරන්නෙ කියලා) ඕනෑම චරිතයක් ඕනෑම විදියට රඟපාන්න පුළුවන් වෙන්න ඕනෑ.

එහෙම රඟපාලා ඒ හිටියේ මම නෙමෙයි කියලා මම කියන්න යන්නේ නැහැ. ඒ වගකීම මම භාරගන්නවා. ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ චරිතය ඉල්ලා සිටි දේ මම කළා.

ඉදිරියටත් මම එහෙමයි. කුල ප්‍රශ්න, ජාතික ප්‍රශ්න, ආගම් ප්‍රශ්න අපිට වඩා දැඩිව තියෙන ඉන්දියාවේ නිළියකට පුළුවන් වුණා නම් පූලාන් දේවිගේ චරිතය නිරුවතින් රඟපාන්න ඇයි මට බැරි ඒ වගේ නිරුවතින් රඟපාන්න කියලා මට හිතුණා. ඇත්තටම මට පූර්වාදර්ශයක් වුණේ ඒ චරිතය රඟපාපු නිළිය.

චිත්‍රපටයක අමුනිරුවතින් රඟපෑවයි කියලා ඔබට සාමාජික වශයෙන් ප්‍රශ්න මතුවුණේ නැද්ද?

”කිසිම ප්‍රශ්නයක් මතුවුණේ නැහැ. ප්‍රශ්නයක් මතුවුණේ ගෙවීම් සම්බන්ධයෙන් පමණයි. මගේ කැපකිරීමට මට සාධාරණය ඉටුවුණේ නැහැ. වෘත්තීමය වශයෙන් මට අසාධාරණයක් සිද්ධවුණා. මගේ ශ්‍රමය අවතක්සේරු වුණා. එහිදී මං පුරුෂාධිපත්‍යයෙන් බැට කෑවා කියලා අද මට හිතෙනවා.

’තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයෙන් පසුව ඔයා ‘අක්ෂරය’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්න සූදානමින් හිටියද?

”ඔව්. මම විශ්වාස කළා, මට ඒ චරිතය ලැබෙයි කියලා. මං ඒ චරිතයට සුදුසුයි කියලා මට හිතුණා. හැබැයි මට ඒ චරිතය රඟපාන්න දෙනව නම් පෙර පුහුණුවීම් ඕනෑ කියලා මම කිව්වා. මොකද ඒක බොහෝම බරපතළ චරිතයක්. මම ඒ චරිතය අධ්‍යයනය කළා. නමුත් මට ලැබුණේ නැහැ.

’තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ ඔයා කළ රංගනයට අන්තර්ජාතික සම්මාන ලැබුණා. එය ඔබ ලද සුවිශේෂී ජයග්‍රහණයක්. ඔබ රටට විශාල කීර්තියක් ගෙන ආවා. එහෙත් ඒ වෙනුවෙන් ඔබට ඔබගේ වෘත්තීය ක්‍ෂේත්‍රයෙන් නිසි ගෞරවය ලැබුණයි කියලා හිතනවද?

පැහැදිලිවම නැහැ. එහෙම ගෞරවය නොලබන්න මොකද්ද මම කරපු වරද? අපි රඟපාපු විදිය වැරදිද? එහෙම නම් ඒක විවේචනය කරන්න ඕනෑ. අඩුම ගාණේ රඟපෑම් අපිට දිරවන්නේ නැහැ කියලවත් කියන්න ඕනෑ.

කොටින්ම අන්තර්ජාතික සම්මාන ලැබුණ කියලා ‘කුපාඩියා’ චිත්‍රපටය තෙක් ඔයාට රඟපාන්න කිසිම චිත්‍රපටයක් ලැබුණේ නැහැ?

”මට විතරක් නෙමෙයි නීටා ප්‍රනාන්දු වැනි ප්‍රවීණ නිළියකටවත් අන්තර්ජාතික සම්මාන දිනාගත්තයින් පසුව කවුරුත් රඟපාන්න චිත්‍රපට දුන්නේ නැහැ. ඒ නිසා ඇයටම සිද්ධවුණා තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න.

ඉතින් අන්තර්ජාතික සම්මාන දිනූ දමිතා අබේරත්න ගැන, නිම්මි හරස්ගම ගැන මා ගැන කවර කතාද? සිනමා ක්‍ෂේත්‍රයේ කුහකත්වයක් තියෙනවා. ඒක අපිට තේරෙනවා.

ඇයි ඔයා අනික් නිළියන් එක්ක ගත්දි ඔවුන්ගෙන් ඈත්ව හුදෙකලාව ඉන්නේ?

”මට තියෙන්නේ ඇතැමුන් කොයිතරම් අවංක ද කියන එක පිළිබඳ ප්‍රශ්නයකුයි.

ඔයා දැන් තනිවම නේද ජීවත් වෙන්නේ?

”ඔව්. මම ස්වාධීනත්වයට බොහෝම කැමැති ගැහැනියක්. මම විශ්වවිද්‍යාලයට ගියෙත් ස්වාධීනත්වය හොයාගෙන. එහෙම නොගියා නම් ගෙදර අය මාව කාටහරි කසාද බන්දලා දෙන්න ඉඩ තිබුණා.

තනියම ජීවත්වෙද්දි පැවැත්ම පිළිබඳ ප්‍රශ්න මතුවෙනවා. ඔයා කොහොමද ඒවාට මුහුණ දෙන්නේ?

”මේක අර්බුදකාරී බව මම දන්නවා. එහෙත් මට මගේ වෘත්තියෙන් පූර්වාදර්ශ තියෙනවා. එක් කෙනෙක් තමයි අපේ පුරෝගාමී නිළි රුක්මණී දේවි. අනිත් නිළිය තමයි ස්වර්ණා මල්ලවආරච්චි.

ඒ කියන්නේ නැවත විවාහවෙන්න අදහසක් නැහැ?

”නැහැ. මම තනියම ජීවත්වෙනවා.

අශෝක හඳගම (ඔයාගේ හිටපු සැමියා) ඔහුගේ චිත්‍රපටයක රඟපාන්න ආරාධනා කළොත් ඔයා ඒ ඇරියුම පිළිගන්නවද?

”පැහැදිලිවම පිළිගන්නවා. කොන්දේසි විරහිතව මම ඔහු යටතේ රඟපාන්න කැමැතියි. හැබැයි මගේ ශ්‍රමය අගය කිරීම උඩ. සිනමාවේ යතුරු තහඩුව මාරු කරන්න කියලා මම හඳගමගෙන් ඉල්ලා සිටිනවා.

අපේ නිළියන් ගැන, රංගනය ගැන ඔබ මොකද හිතන්නේ?

”රංගනය කියන දේ අධ්‍යාපනික කාර්යයක් කියන ස්ථාවරයේ අද මම ඉන්නවා. අද මේ වෘත්තිය මෝස්තර නිරූපිකාවන් විසින් ආක්‍රමණය කරලා ඉවරයි. එහෙත් රසිකයන් ඔවුන් ප්‍රතික්ෂේප කරන දිනය වැඩි ඈතක නැහැ.

මොකද මෝස්තර නිරූපණයයි රංගනයයි කියන්නේ දෙකක්. අපේ නිළියන්ගෙන් මාලිනී ෆොන්සේකා විතරයි යාවත්කාලීන බවින් රඟපාන එකම නිළිය. ඇය ඒ යාවත්කාලීන බව අඛණ්ඩව පවත්වාගෙන ගිහින් තියෙනවා. එහෙම නිළියකට ඉන්නේ ඇය විතරයි. වෙන කවුරුත් නැහැ.

සුමිහිරි - Silumina

Thursday, August 27, 2009

chaminda vaas

අවස්ථාවක් ලැබුණොත් රඟපානවා සින්දු කියනවා - චමින්ද වාස්

වර්ණසූරිය පටබැඳිගේ උෂාන්ත ජෝශප් චමින්ද වාස්. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍ෂෙත්‍රයේ සිටින තුන් ඉරියව් ක්‍රීඩකයා.

ශ්‍රී ලංකාවට පළමු විදේශීය ටෙස්ට් ජයග්‍රහණය ලබාදීමේ නියමුවා. (1994 – 95 නවසීලන්තයට එරෙහිව නේපියර්හිදී)

2001 – 02 වසරේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට එරෙහිව තරගාවලියේ 3 – 0 ලෙස තරගාවලිය ජය ගනිමින් කඩුලු 26 ක් ලබා ගත් ඔහු, ඉම්රාන් ඛාන් ට පසු එවැනි දස්කමක් කළ දෙවැනි ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොතට එක්වුණා.

2003 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව පළමු පන්දු තුනේදී විකට් තුනක් පිට පිට දවා ගනිමින් වාර්තා පොතට එක්වුණා.

මේ දක්වා ටෙස්ට් තරග 111 කට ක්‍රීඩා කර ඇති ඔහු ටෙස්ට් තරග 100 ඉක්මවා ක්‍රීඩා කළ ශ්‍රී ලාංකේය තුන්වැනි ක්‍රීඩකයා.

2008 වසරේ අගෝස්තුවේ ඉන්දියාවේ යුවරාජ් සිං ලකුණු බිංදුවකට දවා ගනිමින් එක්දින කඩුලු 400 ට ළඟා වූ ඔහු එම කඩඉමට ළඟා වූ 4 වැනි ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් වුණා.

ඔහු පසුගියදා නිමාවුණු පාකිස්තානු සංචාරයේදී කොළඹ SSC පිටියේ පැවැති 3 වැනි ටෙස්ට් තරගයේදී ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගත්තා. එහෙත් තවමත් එක් දින සංචිතයේ සිටින චමින්ද වාස් සමඟ කළ සාකච්ඡාවකි මේ.

ටෙස්ට් පිටියෙන් ඉවත්වීම ඔබ ගත් හදිසි තීරණයක්ද?

ඇත්තෙන්ම නැහැ. ක්‍රීඩකයින් ලෙස අපි දැනගන්න ඕන අපි හැමදාම ක්‍රීඩා කරන්න ඇවිත් නෑ කියන එක. මම අවුරුදු 16 ක් රට වෙනුවෙන් ක්‍රීඩා කළා. එහිදී මම හොඳින් ක්‍රීඩා කළා. මට හැකි උපරිමයෙන් අපේ රට, කණ්ඩායම දිනවන්න තමයි සෙල්ලම් කළේ.

ඉතින් මම මෙවර පාකිස්තාන් සංචාරය අතරතුරදී සමුගන්න ඕන කියන තීරණය ගත්තා. එහිදී මට පළමුවැනි සහ දෙවැනි තරගවලට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණෙ නැහැ. මට ලැබුණු තරගයේදී මම සමුගත්තා.

ඔබට දුකක් දැනෙන්න ඇති

ඇත්තෙන්ම එය අමාරු තීරණයක්. හිතට දුකක් දැනුණු තීරණයක්. ඒකට හේතුව මට තවමත් ක්‍රීඩා කරන්න ජවය ශක්තිය තියෙන නිසා. මට තවමත් දස්කම් දක්වන්න හැකියාවක් තියෙනවා.

ඒත් ක්‍රීඩකයෙක් ක්‍රීඩා ලෝලීන්ට, නායකත්වයට එපා වෙනතුරු ඉන්නේ නැතිව දස්කම් දක්වන අතරතුර විශ්‍රාම යාම ගෞරවයට හේතුවක්.

ටෙස්ට් තරග බිමෙන් සමුගත් දා බිරිය වාසනා දියණිය තෙරීන් නෙතාරා, අශ්වින් හසන්දුල් සහ අකේන් චානක පුතුන් සමඟ.

ඔබේ සමුගැනීම කිසියම් බලපෑමක් ප්‍රතිඵලයක් කිව්වොත්.

එහෙම දෙයක් නැහැ. මම ටෙස්ට් තරග 111 කටත් එක් දින තරග 322 කටත් ක්‍රීඩා කරල තියෙනවා. මගේ අරමුණ තමයි 2011 ලෝක කුසලාන තරගාවලියට තරග කරලා රට වෙනුවෙන් මගේ උපරිම දස්කම් පෙන්වලා සමුගන්නා එක.

ඒ සමඟ 20යි 20 තරගවලටත් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ජවය ඉතිරි කර ගන්න ඕන. ඊට අමතරව අපි ජ්‍යෙෂ්ඨයින් විදිහට නවකයින්ට අවස්ථාව දෙන්නත් ඕන. ඒ නිසා මම තීරණය කළා ටෙස්ට්වලින් ඉවත් වෙන්න.

අපේ කණ්ඩායමට දැන් නවක දක්‍ෂ පන්දු යවන්නන් රැසක් ඉන්නවා.

ඇත්තෙන් ම අපි ලෝකයේ හොඳම එක් දින කණ්ඩායම වෙලා කිරුළ දිනාගත්තා. 20 යි 20 අනුශූරයින් වුණා. ටෙස්ට් තරගවලදී ප්‍රබලතම රටවල් පරාජය කරල තියෙනවා.

ඉදිරියටත් මේ තත්ත්වය තව තවත් වැඩිවෙන්න ඕන. ඒ සඳහා නවක දක්‍ෂ ක්‍රීඩකයින් බිහි වෙන්න ඕන. දැන් අපට සතුටුවෙන්න පුළුවන් අලුත් පන්දු යවන්නන් රැසක්ම ඉන්නවා.

ඔවුන් කිහිප දෙනෙක්ම ඔබ ලබාදුන් උපදෙස්, මඟ පෙන්වීම අගය කරල තිබුණා.

අපේ රටේ සිටි අසන්තා ද මෙල්, රොමේෂ් රත්නායක, රවි රත්නායක වැනි ප්‍රවීණ ක්‍රීඩකයින් දිහා බලල තමයි මම මෙතරම් සාර්ථක වේග පන්දු යවන්නෙක් වුණේ.

ඉතින් නවක ක්‍රීඩකයින් මම දිහා බලලා ඔවුන්ගේ ගමන හදාගන්නවා නම් මම ඒ ගැන නිහතමානීව සතුටු වෙනවා. මගේ දැනුම නවක ක්‍රීඩකයන්ට ලබා දෙන්න ඕනම වෙලාවක සූදානම්. එය රට වෙනුවෙන් අපි කළ යුතු යුතුකමක්.

වසීම් අක්‍රම් සාර්ථක ඵල නෙළාගත් Reverse Swing පන්දුව පසුකාලීනව ඔබේ සාර්ථකත්වයට හේතුවුණා.

පිතිකරුවන් පන්දුවට පහර දෙන්න ඕන කොහොමද කියල තීරණය කරන්නෙ පන්දු යවන්නාගේ අත දිහා බලල. ඉතින් පන්දු යවන්නාගේ හැකියාව තමයි පිතිකරුවා නොමඟ යවමින් පන්දුව දෝලනය කිරීම.

රිවස් ස්වින් කියන්නෙ සාමාන්‍යයෙන් පන්දුව දෝලනය විය යුතු දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට දෝලනය වීමට සැලැස්වීමයි. මෙය අලුත් පන්දුවෙන් වෙනස් ආකාරයකටත් පරණ පන්දුවෙන් තවත් ආකාරයකටත් සිදු වෙනවා.

මෙය ඇත්තෙන් ම කලාවක්. එය ඉගෙන ගන්න ඕන. ඒ සඳහා මහන්සි වෙන්න ඕන. දැඩි කැපවීමෙන් පුහුණු වෙන්න ඕන.

ඔබ තවමත් දැඩි ලෙස පුහුණුවීම්වල යෙදෙනවා.

මගේ ඉලක්කය මීළඟ ලෝක කුසලානය තෙක් එක් දින තරග සහ 20 යි 20 තරග ක්‍රීඩා කිරීමයි. ඒ සඳහා කණ්ඩායමට ඇතුළත් වීමට ඇති තරගකාරිත්වය වැඩියි. මේ නිසා නිරන්තර පුහුණුව අත්‍යාවශ්‍යයයි.

මගේ පළමු පුහුණුකරු කාල්ටන් බර්නඩෙත්. ඔහු ගේ උපදෙස් සහ අපේ වේගපන්දු පුහුණුකරු අනූෂ සමරනායක සමඟ ඔහුගේ ආශීර්වාදය සමඟ පුහුණුවීම් කරනවා.

මගේ ශරීර යෝග්‍යතාව ශන්ද්‍ර ශාන් සමඟත් මගේ පාසලේ පුහුණුකරු හර්ෂ ඩි. සිල්වා සමඟ පිතිකරණය පිළිබඳවත් පුහුණුවේ යෙදෙනවා.

ඔබ ගායනයටත් රඟපෑමටත් යොමුවන ආරංචියක් පැතිරුණා.

ඇත්තටම මට ක්‍රීඩාවට වගේම ගායනයටත් හැකියාවක් තියෙනවා. ඒත් ඒ සඳහාම කැපවෙලා එහි යෙදෙන්න වෙලාවක් ලැබුණෙ නෑ ක්‍රිකට් නිසා. රඟපෑමට මට තිබුණෙ ආසාවක්. ඒ සඳහා ඉල්ලීම් කිහිපයක් ම පසුගිය කාලයේ ආවා.

එහෙත් මගේ කාල වේලාව අනුව අවස්ථාවක් ලැබුණොත් මේ දෙකටම සහභාගි වෙන්න ආසාවක් තියෙනවා. ඒ වෘත්තීය ගායකයෙක් වෙන්න, වෘත්තීය නළුවෙක් වෙන්න ඕන කියලා නෙමෙයි. මගේ තියෙන කුසලතා වර්ධනය කරගන්න සහ ආසාවක් තියෙන නිසා.

ඔබ ඉන්දීය IPL තරගවලටත් ප්‍රාන්ත තරගවලටත් සහභාගි වන ක්‍රීඩකයෙක්.

IPL සඳහා ඩෙකෑන් චාජර්ස් පිල සමඟ වසර 3 ක ගිවිසුමකට බැඳිලා ඉන්නෙ. ඒ සඳහා සහභාගි වීම සිදුවේවි. එහෙත් ප්‍රාන්තයකට ක්‍රීඩා කිරීම තවම නිශ්චිතව කියන්න බෑ. ඒකට හේතුව අපේ රටේ ක්‍රිකට් යෙදෙන විදිහ අනුව තමයි තීරණය කරන්න වෙන්නෙ.

ඔබ ක්‍රීඩාවෙන් සමුගත් කාලයක පුහුණුකරුවකු වෙයිද?

හොඳ ක්‍රීඩකයකුට එක්වරම හොඳ පුහුණුකරුවකු වන්න බෑ. ඒ සඳහා ලෙවල් 1, 2, 3 කියන විභාග සමත් වෙන්න ඕන. ඊට අදාළ විෂයයන් හදාරන්න ඕන. තවම මගේ හිතේ එහෙම අදහසක් නෑ. මම දැනට සේවය කරන්නෙ ස්ටෑන්ඩ් චාටඩ් බැංකුවේ.

ඔවුන් මට උපරිම නිදහස දීලා තියෙනවා මගේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්. ඉතින් කවදා හෝ ක්‍රිකට්වලින් සමුගත් දවසක මම වසර 3 ක් ඔවුන් සමඟ වැඩ කරනවා. ඉන්පසු තමයි ඉදිරිය තීරණය කරන්නේ.

චමින්ද වාස් කලකිරිලාද?

කොහෙත්ම නැහැ. එහෙත් මම අදහන ආගමට අනුව අපට මේ හැම දෙයක්ම දෙවියන්ගෙන් ලැබුණු ඒවා. අපේ ජීවිතයේ සියල්ලක්ම සිදුවෙන්නේ දෙවියන්ගේ සැලසුමකට අනුව.

පාකිස්තානයේ ලාහෝර්වල සිදුවීමෙන් පස්සෙ අපට ජීවිතයේ බොහෝ දේ කියා දුන්නා. ඒ අනුව හෙට මොනවා වෙයිද කියන්න බෑ. ඒ නිසා වර්තමානයේ ජීවත් වෙන එක තමයි හොඳම දේ.

එන විදිහකට මුහුණ දෙන්න සූදානමින් තමයි ඉන්නෙ. මගේ බිරිඳ වාසනා, දියණිය සහ පුතුන් දෙන්නා සමඟ සතුටින් ජීවත් වෙන එක තමයි මගේ ජීවිතය.

Tuesday, August 25, 2009

ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේදි ලංකාව දෙවැනි තැනට

2009 අගෝස්තු 25 වෙනි අඟහරුවාදා, 10:47 (කොළඹ, ලංකාපුවත්, අගෝස්තු 25) අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වී තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ (24) ප්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම අනුව නවසීලන්තයට එරෙහි ප්‍රථම ටෙස්‌ට් තරගය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 119ක් ලබා දෙවැනි තැනට පත්විය.

ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටි ඕස්‌ට්‍රේලියාව පසුගියදා අළුබඳුන ටෙස්‌ට් තරගාවලිය පරාජය වීමත් සමගම සිවුවැනි ස්‌ථානය දක්‌වා පහත වැටී ඇති අතර එංගලන්ත කණ්ඩායම තරගාවලිය ජය ගත්තද ලකුණු 105ක් ලබා ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පස් වැනි ස්ථානය හිමි වී තිබේ.