Pages

Saturday, August 1, 2009

Friday, July 31, 2009

සිතුවමට ද, රංගනයට ද උපන් හපන්කම් ඇති ආකාස කුසුම් හි පුංචි සන්ධ්‍යා රාණී
Sri Lankan Film Actress Sanduni




මේ හැඩකාර රුවැත්තිය සඳුනිය. ඇය අපේ නිළි රැජනගේ අති විශිෂ්ට රංගනය රැගත් ආකාස කුසුම් හි සංධ්‍යා රාණි ගේ තරුණ කාලය නිරූපණය කළාය.

සඳුනි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘වෑකන්ද වලව්ව’ සිනමා පටයෙන් රිදී තිරයේ අත්පොත් තැබුවාය.

සැබෑ දිවියේදී හෙළ නිළි රැජණ ඇගේ ලොකු නැන්දාය. දමයන්ති ෆොන්සේකා පොඩි නැන්දාය. කලා ලොවේ නමක් දිනා ගත් කලා ශිල්පීන් රැසකගෙන් සැදුම් ලත් කලා පරපුරක එක් පුරකක් සඳුනි නමින් ලියවේ. ඒ ඇය රඟපෑමට මෙන්ම සිතුවම්කරණයෙහි ද හපන්කම් පානා සැබෑම හපනියක නිසාය.

අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගය දක්වා මීගමුව ශාන්ත ෆ‍්‍රැන්සිස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය දැන් අ. පො. ස උසස් පෙළ හදාරමින් සිටින්නීය. කුඩා කළ සිටම රැඟුමට හපන් ඇය හා බද්ධ වූ තවත් එක් සුවිශේෂී කුසලතාවක් වූ ‘සිතුවම්කරණය’ ට සඳුනි වඩාත් ප‍්‍රිය කළේ තමාට ඉදිරි අනාගතය ජය ගත හැකි හොඳ මඟ මෙයම බව වටහා ගත් නිසාය.

කියා ගත නොහැකි බොහෝ දේ ඇයගේ දෙනෙතේ ලියැවුණ ද ඒවා වදනට පෙරළන්නට ඇය දැරූ ආයාසයෙහි ලියැවුණේ සඳුනි වඩාත් ප‍්‍රිය කරන්නේ සිතුවම්කරණයට බවයි.

සඳුනිට කලා ක්ෂේත‍්‍රයේ මෙතරම් දුර ගමනක් ඒමට ඇගේ මවුපියන් සේම නැන්දලා, අක්කලා බොහෝ සෙයින් අත දුන්න ද දළුගම ශ‍්‍රව්‍යාබාධිත පාසලෙන් සඳුනිට ඉටු වූ මෙහෙය අපරිමිත විය. එහි කන්‍යා සොහොයුරිය වන ග්‍රේටා නාලවත්ත සඳුනිගේ දස්කම් හොඳින් හැඳිනූ තැනැත්තියකි. කථනයෙහි අපහසුතාවකින් පෙළෙන සඳුනි අද තරමක් දුරට හෝ කතා කරන්නේ ඒ කන්‍යා සොහොයුරියගේ දැඩි කැප වීම නිසා බවත් සඳුනිගේ මව අප හා පැවසීය.

ආයාසයෙන් සඳුනි ගලපන වදන් එක දෙක අතරට සඳුනිගේ මවගෙන් සඳුනිට ශක්තියක් ලැබිණ. ඒ අතරතුර සඳුනි ගැන අකුරු කරනා අපට සඳුනිගේ අලුත්ම චිත‍්‍ර ප‍්‍රදර්ශනය ගැන ද දැනගන්නට ලැබිණ.

ලබන මස 7, 8, 9 යන තෙදින කොළඹ කලා භවන විවර වන්නේ සඳුනිගේ හා ළහිරුගේ චිත‍්‍ර ප‍්‍රදර්ශනය සඳහාය.

සඳුනිගේ මිතුරකු වන ළහිරු හෙට්ටිආරච්චි සිතුවම් කළ සිතුවම් ද මෙහි දී ප‍්‍රදර්ශනය වේ.

‘ළා සඳ කිරණ’ ලෙසින් නම් කර ඇති මේ සිතුවම් දැක්ම දිය සායම්, ඇක‍්‍රලික්, පාට හුණු, දිය සායම් පැන්සල්වලින් කළ චිත‍්‍රවලින් මෙන්ම රේඛා චිත‍්‍ර ඇතුළු තව බොහෝ මාධ්‍යයන් උපයෝගයෙන් කළ චිත‍්‍රවලින් සමන්විත වේ.

දෙදෙනාම ඇඳි සිතුවම් සියයකට ආසන්න ප‍්‍රමාණයක් මෙහිදී ප‍්‍රදර්ශනයට නියමිත අතර එකී 7, 8, 9 යන තෙදින පුරා පෙ. ව. 9.00 සිට රාතී‍්‍ර 8.00 දක්වා කලා භවන ඒ සඳහා විවෘතව පවතී.

සඳුනිගේ දෙවැනි චිත‍්‍ර ප‍්‍රදර්ශනය මෙය වන අතර ඇය සිය කුලුඳුල් චිත‍්‍ර ප‍්‍රදර්ශනය පැවැත් වූයේ වයස අවුරුදු 11 දීයි. ඒ ඇගේ ශ‍්‍රව්‍යාබාධිත පාසලේ දරුවන් කීප දෙනෙක් සමඟ එක් වෙමිනි.


සඳුනි කුඩා කළ සිටම චිත‍්‍ර ඇඳීමට දැක් වූ දක්ෂතාව නිසාම ඇයට වයස අවුරුදු හතරේ දී සංජීව මෙන්ඩිස් සමස්ත ලංකා චිත‍්‍ර තරගයේදී ළාබාලතම චිත‍්‍ර ශිල්පිනියට හිමි ත්‍යාගය හිමි වූ අතර වයස අවුරුදු පහ වන විට සෙලින්කෝ කැලණි කලාප ප‍්‍රථම ස්ථානයත් හිමි වූ බව ඇගේ මව පැවසුවාය.

එසේම එදා පස් හැවිරිදි සඳුනිට ඉන්දියානු ශංකර් චිත‍්‍ර ප‍්‍රදර්ශනයේ රිදී පදක්කම හිමි වූ බවත් 2007 වසරේදී රාජ්‍ය ළමා චිත‍්‍ර උළෙලේ දී දෙවැනි ස්ථානයත් ඇතුළු ඇය ඇඳි බොහෝ චිත‍්‍ර සඳහා සම්මාන හා ත්‍යාග හිමි වී ඇති බවත් ඇගේ මව අප හා පැවසුවේ ඉමහත් සතුටකිනි.

සඳුනිගේ පිය පාර්ශවයේ බොහෝ පිරිසක් රංගනයෙන් දස්කම් පෑ දෙස් විදෙස් පතල රංගන ශිල්පීන් හා ශිල්පිනියන් වූ අතර සඳුනිගේ මවු පාර්ශවයේ චිත‍්‍ර වලින් දෙස් විදෙස් සුපතල චිත‍්‍ර ශිල්පීන් සිටී. ඒ නිසා සඳුනිගේ විශ්වාසය තමාට රංගන හැකියාවන් පිය පාර්ශවයෙන් ලැබී ඇති බවත් මවු පාර්ශවයෙන් චිත‍්‍ර කිරීමේ හැකියාව උදා වී ඇති බවත්ය.

වදනකින් තෙපිළිය නොහැකි බොහෝ දේ ලොවට හෙළි කිරීමට සඳුනි තෝරා ගත් මාධ්‍ය සිතුවම්කරණය විය. වදනින් හෙළි නොවනා, තෙලිතුඩින් එළි දකිනා සඳුනිගේ හා ළහිරුගේ සිතුවමෙන් ඒකාලෝක වන කලා භවනට ඒ දිනයන්හිදී එන්න යැයි සඳුනි ඔබ සැමගෙන් ඉල්ලා සිටින අතරතුරම ඇයට මෙතෙක් දුර ඒමට අත හිත දුන් අයව ද මතක් කිරීමට අමතක නොකළාය.

චමිලා සේනපාල නම් වූ ඇගේ මුල්ම චිත‍්‍ර ගුරුවරියව සෙනෙහසින් මතක් කළ ඇය ජෝ දඹුළුගල ගුරු පියාණන්වත්, රවීන්ද්‍ර ගුරු පියාණන්වත්, පුලස්ති එදිරිවීර ගුරු පියාණන්වත් සිහි කළේ ඇයට චිත‍්‍ර කලාව හැදෑරීමට නිබඳ සහයක් වූ ගුරුවරුන් බව පවසමිනි.

‘ඒ වගේම ප‍්‍රසන්න විතාන මමාටත්, දළුගම ශ‍්‍රව්‍යාබාධිත පාසලේ ඇලෝයි පීරිස් පියතුමාවත් මගේ මවුපියන්, නැදෑ හිතවතුන් වගේම මිතුරු මිතුරියන්ටත් මේ වෙලාවේ මම ස්තූතිවන්ත විය යුතුම යැයි’ ඇය අවසාන වශයෙන් පවසා සිටියාය.

සිය ගමනේ දී තමාට සවියක් වූ අය අමතක නොකළ සඳුනි නැවතත් සිය දස්කම් දැක ගැනීමට ඔබ සැමට විවෘත ආරාධනාවක් කරමින් අපෙන් සමු ගත්තා.

සඳුනිගේ ලිපිනය - 1/299, මිහිඳු මාවත, මාකොළ උතුර, මාකොළ.

දුරකතන අංක: 0602059253

සටහන
හර්ෂනී රුද්‍රිගූ

ඡායාරූප
ටෙනිසන් එදිරිසිංහ

උපුටා ගැනීම - සරසවිය

No comments:

Post a Comment