Pages

Sunday, August 16, 2009

Sunday, August 16, 2009

ෂාරුක් ඛාන් ගුවන් තොටේ දී අත්අඩංගුවට
Bollywood superstar Shah Rukh Khan was detained at the US airport

සුපිරි බොලිවුඩ් තරුවක්වන ෂාරුක් ඛාන්ව ඇමෙරිකාවේ නිව් ජර්සි හී නෙවාර්ක් ගුවන් තොටුපලේ දී අද(15) දින අත්අඩංගුවට ගෙන පැය 02කට වැඩි කාලයක් ප්‍රශ්න කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ මොහුව ඉන්දියානු තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් පසුව නිදහස් කර ඇති බවයි.

චිකාගෝ නුවර පැවැත්වෙන ඉන්දීය නිදහස් දින උත්සවයකට සහභාගී වීම සඳහා ෂාරුක් මෙලෙස ඇමෙරිකාවට ගොස් තිබේ.

සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් ෂාරුක් ඛාන් ප්‍රකාශ කර ඇත්තේ ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය ඔහුගේ නම පරිගණක තිරයේ දුටු වහා තමන්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට පටන් ගත් බවයි. එමෙන්ම ඔහුට සිය ජංගම දුරකථනය භාවිතා කිරීමට ද එහි සිටි බලධාරීන් අවස්ථාව ලබා දී නැත.

මෙවැනි අවස්ථාවකට මුහුණු දුන් ප්‍රථම අවස්ථාව මෙය නොවන බවද හෙතෙම සඳහන් කර ඇත. කෙසේ වෙතත් තමන්ගේ පවුලේ උදවිය මෙම සංචාරය සඳහා එක් නොවීම පිළිබඳව තමන් සතුටු වන බවද ෂාරුක් පවසා තිබේ.

තවදුරටත් සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් මෙම සුපිරි බොලිවුඩ් තරුව ප්‍රකාශ කර ඇත්තේ තමන්ව අත්අඩංගුවට ගැනීම ජාතිවාදය හේතු කොට ගෙන සිදු වුණු දෙයක් ලෙස සැලකිය නොහැකි බවයි.

ෂාරුක් ඛාන්ගේ සමීප මිතුරෙකු වන චිත්‍රපට අධ්‍යක්‍ෂ කරන් ජොහාර් මේ පිළිබඳව අදහස් දක්වමින් කියා ඇත්තේ, මෙම පුවත සමගින් තමන් පුදුමයට පත් වුණු බවයි. එමෙන්ම ෂාරුක් මේ සිදුවීමෙන් දැඩි ශෝකයට පත්ව ඇති බව හෙතෙම මාධ්‍ය හමුවේ පවසා තිබේ.

ෂාරුක්ව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු සිය නිවසටත්, සිය ලේකම්ටත් මේ පිළිබඳ දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි. ඉන් අනතුරුව ඉන්දීය කොංග්‍රස් මන්ත්‍රී රජීව් ෂුක්ලා විසින් එරට තානාපති කාර්යාලයට දැනුම් දී ඇත.

ෂාරුක් පවසා ඇත්තේ අමෙරිකාවට යන හැම මොහොතකදීම තමන් දැඩි බියකින් අදාළ සංචාර සඳහා සහභාගී වුණු බවයි. නමුත් මෙවැනි සිදුවීම් ඔහු මීට පෙරද අත්විද ඇති බව පවසා තිබේ. කෙසේ වෙතත් තමා අමෙරිකාවට යනුයේ ත්‍රස්තවාදියෙකු ලෙසින් නොවන බවත් මේ සිදුවීම හරහා තමන්ට දැඩි වේදනාවක් මෙන්ම දැඩි ආවේගයක් ද ඇති බව ෂාරුක් ඛාන් කියා තිබේ.

කෙසේ වෙතත් මෙවැනි අකරතැබ්බයකට බොලිවුඩ්හී මුහුණ දුන් පලමු තරුව ෂාරුක් ඛාන් නොවේ. මීට ප්‍රථම 2002 වසරේ දී කමල් හසන් කැනඩා ගුවන් තොටුපළේදීත්, එම වසරේ දීම අමිර් ඛාන් චිකාගෝ ගුවන් තොටේ දීත්, 2008 වර්ෂයේ දී කබීර් ඛාන් අමෙරිකානු ගුවන් තොටුපලේ දී අවස්ථාවන් තුනකදීත්, මේ වසරේදී නීල් නිතේන් මූකේෂ්ව සහ දකුනු ඉන්දියානු නළු මමූතීවත් ගුවන් තොටුපලවල් හී දී අත්අඩංගුවට ගෙන ඇති සිද්ධීන් වාර්තාවේ.
(කොළඹ, ලංකාපුවත්, අගෝස්තු 15)

No comments:

Post a Comment