Pages

Thursday, March 17, 2011

බොරු කියන පෙම්වතෙක් මට එපා. සඳනි සුලක්ඛනා

බොරු කියන පෙම්වතෙක් මට එපා

සඳනි සුලක්ඛනා
මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන ‘වාසනා වේවා’ ටෙලිනාට්‍යයේ උත්තරා ඇයය. ‘ගැහැනු ළමයි’ ටෙලිනාට්‍යයේ ‘සෝමේ’ වූයේ ඇයය. රංගනයට, ගායනයට මෙන් ම වයලීන වාදනයට ද ඇය දක්වන්නේ මාහැඟි දක්ෂතාවයකි. මෙතෙක් ඇය සහභාගිවී ඇති නිර්මාණ දෙස බැලීමේදී පෙනී යන්නේ අනාගතයේ දී දක්ෂ රංගන ශිල්පිනියක වීමේ හැකියාව ඇය සතු බව ය. ඇය සඳනි සුලක්ඛනා ය. අද ‘සතුටු සාමීචිය ‘ වෙන්වන්නේ සඳනි සමඟ කළ කතාබහ වෙනුවෙනි.
කලා ශිල්පිනියක ලෙස ඔබ මේ දවස්වල ගෙවන ජීවිතය...?
මේ දිනවල ‘දෑසේ දිස්නය’ චිත්‍රපටයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ටෙලිනාට්‍ය කීපයකට ම ආරාධනා ලැබී තියෙනවා. ඒ කටයුතුත් එක්ක තමයි මේ දවස් ගෙවෙන්නෙ.
ළඟදී දැකිය හැකි ඔබ සහභාගි වූ නිර්මාණ මොනවාද?
‘වාසනා වේවා’ ටෙලිනාට්‍යය මේ දවස්වල විකාශය වෙනවා. ‘සිංහාවලෝකනය’ චිත්‍රපටය දිවයින පුරා තිරගත වෙනවා. ඒ වගේ ම මම රංගනයෙන් දායක වුණු ‘කලර්’ චිත්‍රපටය ළඟදීම ප්‍රේක්ෂකයින්ට දැකගන්න ලැබේවි.
ඔබ කලාවට සහභාගි වුණේ කුඩා අවධියේ ම නේද?
ඔව්. මම රංගනයට පිවිසුණේ වයස අවුරුදු 11 දී. ඒ වේදිකා නාට්‍යයකින්. ඉන්පසුව 2005 වසරේදී මොහාන් නියාස් ගේ ‘දූවිලි සුවඳ’ ටෙලිනාට්‍යයෙන් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පිවිසුණා. මේ වනවිට මම ටෙලිනාට්‍ය 12 ක විතර රඟපාල තියෙනව.
ඊට පසුවයි මම චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසුණේ. චිත්‍රපට 4 කට මම මේ වනවිට දායක වෙලා තියෙනව. ‘වන් බ්ලඩ්’ චිත්‍රපටය තිරගතවෙලා ඉවරයි.
වයලීනයත් ඔබට හොඳට හුරුයි නේද?
ඔව්. වයලින් වාදනය මම පාසල් යන කාලේ පටන් හදාරනව. වයලිනය මට හොඳට හුරුයි.
කලාවට පිවිසුණු නිසා ඉගෙනීමේ කටයුතු නැවතුණා නේද?
නැහැ. ඉගෙනීමේ කටයුතු මම දිගටම කරගෙන යනවා,, මම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියෙ පාසලෙන්. නමුත් උසස් පෙළ කරන්න බලාපොරොත්තු වෙන්නෙ පෞද්ගලික අපේක්ෂිකාවක් හැටියට.
ඒ; උසස් පෙළ විභාගයට පෙනී සිටීමේදී පාසලට පැමිණීමත් බලන නිසා. කලා කටයුතුවලට යොමු වෙලා ඉන්න නිසා පාසල් යන්න වෙන්නෙ අඩුවෙන්.
මොනවද ඔබගේ පවුලේ තොරතුරු?
තාත්ත රැකියාව කරන්නෙ විදෙස් රටක. අම්මයි මමයි නංගියි ලංකාවෙ ඉන්නෙ.
ඔබේ කලා කටයුතුවලට පවුලේ අයගෙන් ලැබෙන්නේ මොනවගේ සහායක් ද?
මම සහභාගි වෙන නිර්මාණවල හොඳම විවේචකයන් තමයි මගේ පවුලේ අය. තාත්තා රට ඉඳල මගෙ නිර්මාණ බලල අඩුපාඩු කියනව. අම්ම මගෙ තනියට හැමදේටම මාත් එක්ක ඉන්නව.
කලා ක්ෂේත්‍රය තුළ තියෙන බලාපොරොත්තු මොනවාද?
හැකි උපරිම දුරක් යන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි හොඳ නිර්මාණවලට දායක වෙමින්.
ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
ජීවිතයට සාර්ථකව මුහුණදීම තමයි මගේ එකම බලාපොරොත්තුව. අනාගතයේ දී මගෙම කියල ව්‍යාපාරයක් පටන් ගන්නත් මගේ පුංචි බලාපොරොත්තුවක් තියෙනවා.
ඔබ රඟපෑ ළඟදී තිරගත වීමට නියමිත ‘කලර්’ චිත්‍රපටය ගැන කතා කළොත්...
මම මෙතෙක් සම්බන්ධ වුණු හොඳම කලා නිර්මාණය තමයි ‘කලර්’ චිත්‍රපටය. එහිදී කමල් අද්දරආරච්චි වැනි ප්‍රවීණ ශිල්පියකු සමඟ රඟපාන්න ලැබීමත් වාසනාවක්. ‘කලර්’ ඉතා ම සංවේදී චිත්‍රපටයක්. එහි අඬන දර්ශනවලදී ග්ලිසරින් යොදල කඳුළු සලන්න අවශ්‍ය වුණේ නෑ.
ඒ දර්ශන රූපගත කරද්දී මට ඉබේටම ඇඬුණා. මේ චිත්‍රපටියේ කමල් අයිය රඟපාන්නෙ මගෙ පෙම්වතා හැටියට. එහි අවසානය තියෙනව අපි දෙන්න වෙන්වෙලා යන දර්ශනයක්. එතැනදී අපිට ඇත්තටම ඇඬුණා.
යෞවනියක් හැටියට යෞවන ප්‍රේමය පිළිබඳව ඔබට තියෙන්නෙ මොනවගේ හැඟීමක් ද?
යෞවන ප්‍රේමය හරිම සුන්දරයි. ඒත් එය අවබෝධයකින් යුතුව කළ යුතුයි.
ඔබට ප්‍රේමණීය ආරාධනා ලැබී තිබෙනවද?
ආරාධනා නම් ලැබිල තියෙනව. ඒත් මට තාම ඒවට කල් තියෙනව. ඒ වගේ ම මේ කාලයෙ ඊට වඩා හිතන්න දේවල් තියෙනව. ප්‍රේමය පිළිබඳව දැන්ම හිතන්න මගෙ අදහසක් නෑ.
ඔබේ අනාගත පෙම්වතා කෙබඳු කෙනෙක් විය යුතු ද?
විශේෂයෙන් ම ඔහු අවංක විය යුතුයි. බොරු නොකියන කෙනෙක් විය යුතුයි. ඒ වගේ ම ඔහු ඇත්තටම මට ආදරය කරන මාව විශ්වාස කරන මාව තේරුම් ගත් කෙනෙක් විය යුතුයි.
ඡායාරූපය - ඉන්දික ප්‍රභාත් වීරසිංහ

No comments:

Post a Comment