Pages

Tuesday, March 1, 2011

Sri Lanka Hot News Last update 01/03/2011


මහේල නඩු මගට බැසීමට තීරණය කරයි -බීබීසී
Mar 01,2011
තමන් විසින් තරග පාවාදී ඇති බවට අදහස් කරමින් සිදුකරන ලද විස්තර විචාරය සම්බන්ධව නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක මහේල ජයවර්ධන තීරණය කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

පසුගිය 26 වන දින පකිස්ථානය සමග පැවති තරගයේදී මහේල ජයවර්ධන මූල්‍යමය වාසි වෙනුවෙන් සිතාමතාම අදක්ෂ අයුරින් ක්‍රීඩා කළ බවට රාජ්‍ය රූපවාහිනී මාධ්‍යයක් සිදුකළ විස්තර විචාරයකදී කිසියම් අදහසක් ඉදිරිපත් කර තිබිණි.

කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම, පකිස්ථාන කණ්ඩායමට ලකුණු 11 න් පරාජයට පත්විය.

මෙම චෝදනාව සම්බන්ධව සියලුම පියවර ගැනීම සඳහා සිය නීතිඥයා විසින් අවශ්‍ය ලේඛනයක් සැලසුම් කරමින් සිටින බව මහේල ජයවර්ධන පවසයි.

අදාළ චෝදනාව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවකු වන තිලාන් සමරවීරට ද එල්ල වී ඇත.

පකිස්ථානය සමග පැවති මෙම තරගයේදී මහේල ජයවර්ධනට ලබාගත හැකිවූයේ ලකුණු 02 ක් පමණක් වන අතර, තිලාන් සමරවීර ලබාගත්තේ එක් ලකුණක් පමණි.

පසුදින රජයේ පුවත්පතක කර්තෘවරයෙකු වන මහින්ද අබේසුන්දර විසින් ලියන ලද, රජයේ රූපවාහීනි නාලිකාවක් වන ස්වාධීන රූපවාහිනී සේවයේ පැවති විස්තර විචාරයකදී ව්‍යාපාරිකයකු විසින් පකිස්ථාන කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව ඩොලර් 18, 000 ක් ඔට්ටු තබා ඇති බව සඳහන් කර ඇති බව සඳහන්ය.

මහේල හා තිලාන් විසින් තරගයේ කිසියම් වෙනසක් සිදුකරන්නට ඇති බව සිතිය හැකි බව එහිදී අදාළ විස්තර විචාරකයා විසින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම අදාළ විස්තර විචාරය සඳහා තරගයෙන් උපුටාගන්නා ලද සෙමින් චලනය වන දර්ශන, දුක්බර සංගීතය සහ අඳුරු කරන ලද දර්ශන ආදිය ද යොදාගෙන ඇත.

මෙම විස්තර විචාරය විකාශය වීමෙන් අනතුරුව ඒ පිළිබඳව ෆේස්බුක් වැනි විවිධ වෙබ් අඩවි ඔස්සේ ක්‍රීඩාලෝලීන් ඔවුන්ගේ බලවත් අප්‍රසාදය පළකර තිබෙන බව ද බීබීසී පුවත් සේවය වාර්තා කරයි. 
කෆීර් යානා 2 ක් එකිනෙක ගැටී කඩා වැටෙයි
 සංවත්සර පුහුණුවීම් කටයුතු වල යෙදී තිබුණු කෆීර් යානා 02 ක් එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්ව ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

අනතුරට ලක්වූ කෆීර් යානා දෙක ගම්පහ, වාරණ ප්‍රදේශයට කඩා වැටී ඇති බව ද සඳහන්ය. 
නෙට්බෝල් මුල්පුටුවට ඇමැති බිරියක්
ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපති තනතුර භාරගන්නා ලෙස හිටපු දක්ෂ නෙට්බෝල් ක්‍රීඩිකාවක් වන මේරි ලුසිඩා මහත්මියට ඉල්ලීම් ඉදිරිපත් වී ඇත.
ඇය මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිළිබඳ ඇමැති මර්වින් සිල්වා මහතාගේ බිරිය වේ.
වසර 1972 කාලයේ පාසල් නෙට්බෝල් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ක්‍රීඩිකාවක් වූ මේරි ලුසිඩා මහත්මිය කුලියාපිටිය සාරානාත් මහා විද්‍යාලය නියෝජනය කරමින් ජාතික තරගාවලි රැසකදී දස්කම් දැක්වූවාය.
නෙට්බෝල් ක්‍රීඩාවේ දියුණුව උදෙසා සම්මේලනයේ සභාපති තනතුර භාරගන්නා ලෙස විශාල ඉල්ලීම් පවතින හෙයින්ද නෙට්බෝල් ක්‍රීඩාව හා පරිපාලනය ගැන වැටහීමක් ඇති හෙයින් ද මේ සඳහා කැමැත්ත පළ කළ බව මේරි ලුසිඩා සිල්වා මහත්මිය ‘දිනමිණ’ට පැවැසුවාය.
“නෙට්බෝල් ක්‍රීඩාව ගමට යා යුතුයි. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි. ගමේ දරුවන් ඉදිරියට ගැනීමට මගේ උපරිම දායකත්වය දෙනවා” සිල්වා මහත්මිය පැවැසුවාය. ඇයගේ නායකත්වය යටතේ නෙට්බෝල් පරිපාලනයට එන කණ්ඩායම ඉදිරියේදී ප්‍රකාශ කරන බවද ඇය වැඩිදුරටත් පැවැසුවාය. ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කරන ලේෂා ද සිල්වා චන්ද්‍රසේන මහත්මිය නෙට්බෝල් පරිපාලනයට නැවැත එක්වීම කෙරෙහි තවමත් තීරණයක් ගෙන නොමැති බව ප්‍රකාශ කළාය.
“තව සතියකින් තීරණය කියන්නම්” චන්ද්‍රසේන මහත්මිය පැවැසුවාය.
ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ නිලවරණය මාර්තු 27 වැනිදා පැවැත්වීමට නියමිත අතර නව පරිපාලනය යටතේ ශ්‍රී ලංකා නෙට්බෝල් පිල ලෝක සූරතා තරගාවලියට එක්වීමට නියමිතය.
පෙත්සම අස්කර ගත්තත් මාර්තු 17 ඡන්දය බෑ
Mar 01,2011
එක්සත් ජාතික පක්ෂයෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබු පෙත්සම ඔවුන් ඊයේ (28) ඉල්ලා අස්කර ගත්තද රත්නපුර ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ලබන 17 වැනිදා පැවැත්විය නොහැකි වන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය කියයි.
රත්නපුර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා පත්‍රයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම එම පක්ෂය විසින් ඊයේ ඉල්ලා අස්කර ගන්නා ලදී.
එසේ ඉල්ලා අස්කරගත් හෙයින් සෙසු පළාත් පාලන ආයතන සමඟ ලබන 17 වැනිදා රත්නපුර ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම පැවැත්විය හැකි දැයි දිනමිණ කළ විමසුමකට පිළිතුරු දුන් මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ උපදේශක බන්දුල කුලතුංග මහතා එසේ කීවේය.
පළාත් පාලන ආයතන 66ක ඡන්ද විමසීම නොපැවැත්වෙන අතර 235ක ඡන්දය ලබන 17 වැනිදා පැවැත්වෙන බවත්, ඊට අදාළ නිල කටයුතු ආරම්භ කර ඇති බැවින් මේ ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම නොපැවැත්වෙන බවත් හෙතෙම කීය.
තෙල් සංස්ථාවට පාඩුවක් නෑ
Mar 01,2011
කොළඹ වරායේ දී යාන්ත්‍රික දෝෂයකට ලක්වූ බොරතෙල් ප්‍රවාහන නෞකාව මගින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පාඩුවක් සිදුවී නැතැයි ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කරයි.
කොළඹ වරායේදී සිදුවූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් එම නෞකාවේ තිබූ තෙල් තොගය ගොඩබෑමට අමතර දින 05 ගතවූ බවත් එමගින් සිදුවූ පාඩුව එම නැව් සමාගම දරා ඇති බවත් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ටයිටස් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඇතැම් මාධ්‍ය මේ සිද්ධිය සම්බන්ධයෙන් පළ කළ වාර්තා පදනම් විරහිත අසත්‍ය වාර්තා බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
.

No comments:

Post a Comment