Pages

Friday, March 4, 2011

Sri Lanka Hot News Last update 04/03/2011

  

රතිඤ්ඤා කම්හලක වෙඩි මඩුවක් පුපුරා හිමිකරු මියයයි
රතිඤ්ඤා කම්හලක වෙඩි මඩුවක් පුපුරා හිමිකරු මියයයි
Mar 04,2011
මීගමුව, ඉද්දගොඩැල්ල, කිඹුලාපිටිය ප්‍රදේශයේ රතිඤ්ඤා කම්හලක වෙඩි මඩුවක් හදිසියේ පුපුරා ගොස් තිබේ.

පිපිරීමෙන් එම රතිඤ්ඤා කම්හලේ හිමිකරු මියගොස් ඇති අතර ඔහුගේ බිරිඳ තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරනු ලැබීය.

ඊයේ(03) පස්වරු 4.20 ට පමණ සිදුවූ මෙම පිපිරීමෙන් වෙඩි මඩුව සහ නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ කිඹුලාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 30 හැවිරිදි පුද්ගලයෙකු වන අතර දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද(04) පැවැත්වීමට නියමිතය. 

මෙරට සරණාගතයකු ඝාතනය කරලා -මෙල්බර්න් රියදුරා හිරේ

මෙරට සරණාගතයකු ඝාතනය කරලා -මෙල්බර්න් රියදුරා හිරේ
Mar 04,2011
ශ්‍රී ලාංකික සරණාගතයකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ රියදුරෙකුට එරට අධිකරණය මගින් වසර 08 ක සිර දඬුවමක් නියමකර තිබේ.

2009 වසරේ ජනවාරි මාසයේ ඩන්ඩෙනොන්ග් නරගයේ ස්ටුවඩ් පාරේදී කෙයිත් ස්වෑන් නම් 31 හැවිරිදි මෙම රියදුරාගේ රථයේ ගැටී අනතුරට ලක්වූ තිරුවඩිවේල් ශ්‍රීකාන්තරාජා නම් ශ්‍රී ලාංකිකයා මරණයට පත්ව තිබේ.

රියදුරා සතුව වාහන බලපත්‍රයක් ද නොතිබී ඇති අතර ඔහු වෙත අපරීක්ෂාකාරී වාහන ධාවන ඉතිහාසයක්ද පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

දෙදරු පියෙකුද වන ස්වෑන් අදාළ අනතුර සිදුවන අවස්ථාවේ නිදිමතින් පසුව ඇති බවත්, සිරුරට හෙරොයින් නැමැති මත්ද්‍රව්‍ය භාවිතයට ගෙන සිටි බවත් අනාවරණය වී තිබේ.

පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු මෙම රියදුරා දින 535 කාලයක් පොලිස් රැඳවුම් භාරයේ පසවී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ චෝදනාවට කෙයිත් ස්වෑන් වරදකරු බව තීරණය කළ අධිකරණය ඔහුට වසර 08 ක සිර දඬුවමක් නියම කර ඇති අතර වසර 07 ක කාලයක් වාහන ධාවනයේ යෙදීම ද තහනම් කර තිබේ. 
එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 17 දෙනාට ඇප නෑ
Mar 04,2011
බහුදින ධීවර යාත්‍රාවකින් විදේශ ගත වීමට උත්සහ කළ අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 17 දෙනා ඇප මත මුදා හැරීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

රැඳවුම් භාරයේ පසුවූ අදාළ සැකකරුවන් පිරිස ඊයේ(03) රහස් පොලිසිය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

එහිදී සැකකරුවන් ඇප මත නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතීඥවරුන් ඉල්ලා සිටිය ද එම සැකකරුවන් සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු මෙතෙක් අවසන් කර නොමැති බව රහස් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

ඒ අනුව සැකකරුවන් ඇප මත නිදහස් කිරීම ප්‍රතික්ෂේප කළ අධිකරණය ඔවුන් ලබන 17 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කරනු ලැබීය.

පසුගිය දා බහුදින ධීවර යාත්‍රාවක් උපයෝගී කරගනිමින් ගාල්ල ප්‍රදේශයෙන් ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සහ කිරීමේ දී නාවික හමුදාව විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන රහස් පොලිසියට භාර දී තිබුණි.

අදාළ සැකකරුවන් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සබඳතා පවත්වා ඇති බවට පරීක්ෂණවල දී තොරතුරු අනාවරණය වී ඇති බව ද සඳහන්ය. 
ක්‍රිකට් කණ්ඩායමෙන් කො‍න්දේසි විරහිතව සමාව ඉල්ලයි
Mar 03,2011
ස්වාධීන රූපවාහිනී සේවය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් කොන්දේසි විරහිත සමාව ඉල්ලීමක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පවසයි.

එමනිසා අදාළ නාලිකාවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකරන බව ඩී. එස්. ද සිල්වා විදෙස් මාධ්‍යයක් වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබේ.

පසුගිය සෙනසුරාදා දින(26) ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පැවති ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් තරග පාවාදීමක් සිදුකර ඇති බවට හැඟවෙන ප්‍රකාශයන් ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වූ කිසියම් වැඩ සටහනකදී සඳහන් කර තිබිණි.

මෙම සිදුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අධෛර්යමත් කිරීමට දරන ලද උත්සාහයක් බව විශ්වාස කරන බව ද ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක මහේල ජයවර්ධන මූල්‍යමය වාසි වෙනුවෙන් සිතාමතාම අදක්ෂ අයුරින් ක්‍රීඩා කළ බවට අදාළ රාජ්‍ය රූපවාහිනී මාධ්‍යයක් සිදුකළ විස්තර විචාරයකදී කිසියම් අදහසක් ඉදිරිපත් කර තිබිණි.

මෙම චෝදනාව සම්බන්ධව සියලුම නෛතික පියවර ගැනීම සඳහා සිය නීතිඥයා විසින් අවශ්‍ය ලේඛනයක් සැලසුම් කරමින් සිටින බව මහේල ජයවර්ධන ප්‍රකාශ කළේය.

කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති මෙම ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම, පකිස්ථාන කණ්ඩායමට ලකුණු 11 න් පරාජයට පත්විය.

No comments:

Post a Comment