Pages

Thursday, March 17, 2011

Sri Lanka Hot News Last update 17/03/2011

 


 ජනපති මැදමුලනදී ඡන්දය දෙයි
ජනපති මැදමුලනදී ඡන්දය දෙයි
Mar 17,2011
 ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සුළු මොහොතකට පෙර මැදමුලන, ඩී. ඒ. රාජපක්ෂ විද්‍යාලයේදී සිය ඡන්දය භාවිත කර තිබේ.

2011 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අද(17) පෙරවරු 7ට ආරම්භ වූ අතර පස්වරු 4දක්වා එම කටයුතු සිදු කිරීමට නියමිතය.

පළාත් පාලන ආයතන 234 ක් සඳහා මෙම මැතිවරණය පැවැත්වෙන අතර ඊට මහ නගර සභා 3ක්, නගර සභා 30ක් සහ ප්‍රාදේශීය සභා 201ක් අයත්ය.

මධ්‍යස්ථාන 7,396 ක දී ඡන්ද විමසීම සිදුකෙරෙන අතර ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබ සිටින ඡන්ද දායකයින් ගණන 9, 444,455 කි.
බේරුවල හිටපු නගරාධිපති කාන්තාවකට පහරදීලා
Mar 17,2011
බේරුවල නගර සභාවේ හිටපු නගරාධිපති සහ ඔහු සමඟ පැමිණි ආධාරකරුවන් පිරිසක් විසින් බේරුවල සාවියා පාරේ පිහිටි තම නිවස තුළදී තමාට පහර දී වදහිංසා සිදුකළ බවට විසිහත් හැවිරිදි කාන්තාවක් විසින් බේරුවල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
එම පැමිණිල්ලට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය පැය කිහිපයක් තුළදී සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් නවදෙනා ඊයේ (16) සවස කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළුතර අතිරේක මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා නියෝග කෙළේය.
බේරුවල පොලිිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රෝෂාන් උදයංග මහතා විසින් අදාළ සිද්ධියට සම්බන්ධ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර පැමිණිලි පාර්ශ්වයේ කාන්තාව වෙනුවෙන් නීතිඥ විරාජ් ජයනෙත්ති මහතා ඇතුළු නීතිඥ පිරිසක් පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී නොසිටියේය.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන හිටපු නගරාධිපතිවරයා මේ වනවිට ප්‍රදේශය අතහැර ගොස් ඇති බවත් හිංසනයට ලක්වූ කාන්තාව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ. සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර බේරුවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි

අපොස සා/පෙළ ඉතිහාසයේ විශිෂ්ටතම ප්‍රතිඵල මෙවරයි

- ඇමැති බන්දුල ගුණවර්ධන
විභාග දෙපාර්තමේන්තුව ඊයේ (16) නිකුත් කළ අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල අනුව උසස් පෙළ හැදෑරීම සඳහා පාසල් අයදුම්කරුවෝ 195112ක් සුදුසුකම් ලබා ඇත.
ප්‍රතිශතය 62%කි. එයින් අයදුම්කරුවෝ 182630ක් ඍජුවම උසස් පෙළට සුදුසුකම් ලබා ඇති අතර පාසල් පාදක ඇගයීම් පදනම් කර ගනිමින් ලැබෙන අතිරේක සම්මානය නිසා තවත් 12482 දෙනකුට උසස් පෙළට සුදුසුකම් හිමිවී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා කියයි.
මවර ප්‍රතිඵල අනුව විෂයයන් නවයට ම ‘ඒ’ සමාර්ථ ලැබූ ගණන 3059කි. 2009 දී එම සංඛ්‍යාව 2039ක් විය. වර්ධනය 1020කි. ගණිතය හා මාධ්‍ය භාෂාව සමඟ විෂයයන් හයක් සමත් පාසල් අයදුම්කරුවන් ගණන 175000ක් වන බවත් 2009 දී එම සංඛ්‍යාව 140,000ක් වූ බවත් හෙතෙම කීවේය. පෙනී සිටි සියලුම විෂයයන් අසමත් සංඛ්‍යාව 14961 කි. ප්‍රතිශතය 4.82ක් වේ. එම සංඛ්‍යාව 2009 දී 20221ක් විය. එවර ප්‍රතිශතය වූයේ 4.82 කි.
ගණිතය සමත් ප්‍රතිශතය මෙවර 61.61කි. විද්‍යාව 59.80ක් හා ඉංගී‍්‍රසි 41.41කි. 2009 දී එම ප්‍රතිශතය පිළිවෙළින් 50.17, 44.31 සහ 37.35ක් ව තිබිණි.
2010 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පාසල් හා පෞද්ගලික අයදුම්කරුවෝ 542,000ක් පෙනී සිටියහ.
අ.පො.ස. සාමාන්‍ය පෙළ ඉතිහාසයේ මෙතරම් විශිෂ්ට සමාර්ථයක් වාර්තා කළ පළමු අවස්ථාව මෙය බව ප්‍රතිඵල නිකුත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වූ අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
වෙනදාට වඩා සති තුනකට පෙර ප්‍රතිඵල නිකුත් කළ හැකිවූ බවත් ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව හා විභාග දෙපාර්තමේන්තුව යන ආයතනවල සම්බන්ධය වැඩිකිරීම, ගණිතයධ්ධ් ප්‍රශ්න පත්‍රයට පැය භාගයක අතිරේක කාලයක් ලබාදීම, ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබා දී පාසල් සම්මන්ත්‍රණ 1250ක් පැවැත්වීම, පසුගිය ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර සාධාරණ මිලට අලෙවි කිරීම යනාදිය මෙම විශිෂ්ට ප්‍රතිඵල අත්කරදීමට හේතුසාධක වූ බවත් ඇමැතිවරයා කීය.
සියලු විෂයයන් අසමත් ගණන මෙවර 6000කින් අඩුව ඇත. බුද්ධ ධර්මය සමත් ප්‍රතිශතය 81%කි. එය 2009 දී 79%ක් විය. සිංහල භාෂාව සමත් ප්‍රතිශතය 78.34 සිට 82.89 දක්වා වැඩිවී තිබේ. ශිව ධර්මය හා ඉස්ලාම් ධර්මය සමත් ප්‍රතිශතය පිළිවෙළින් 81 හා 90.23ක් වේ.
2009 දී එම ප්‍රතිශත 96ක් හා 93ක් වැනි අගයකින් පැවැති බවත් කොමසාරිස් ජනරාල්වරයා කීවේය. 2009 දී ඉතිහාසය සමත් ප්‍රතිශතය 59.20ක් විය. මෙවර එය 73.68ක් දක්වා වැඩිවී ඇත. පුරවැසි අධ්‍යාපනය ද 67.55 සිට 77.50 දක්වා වර්ධනයක් පෙන්වයි.
සාමාන්‍ය පෙළ ඉහළම සාමාර්ථ ලැබූ විසිපස්දෙනා ගෙන් වැඩිදෙනා ගම්බද සිසුන් බව පැහැදිලිව ප්‍රකාශ කළ හැකි බවත් එම සිසුන්ගේ නම් ඉදිරියේ දී ප්‍රකාශ කරන බවත් එදිරිසිංහ මහතා කීය.
විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට ඊයේ (16) දහවල් නිකුත් කර ඇත. කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ විදුහල් සඳහා ප්‍රතිඵල ලේඛන එම විදුහල්පතින්ට හෙට (18) දෙපාර්තමේන්තුවට පැමිණ ලබා ගත හැකිය. සෙසු පාසල් සඳහා ප්‍රතිඵල ලේඛන ඊයේ රාත්‍රියේම තැපැල් කිරීමට පියවර ගන්නා ලද බවත් පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල මුද්‍රණය පටන් ගත් බවත් කොමසාරිස් ජනරාල්වරයා කීවේය.
මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්. එම්. ගුණසේකර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගි වූහ.

No comments:

Post a Comment