Pages

Thursday, November 25, 2010

මම තවම හරියට තීරණයක් අරගෙන නෑ.

(ඇය අප මුලින්ම හඳුනාගනු ලැබුවේ නර්තන ශිල්පිණියක ලෙසය. පසුව රංගන ශිල්පිණියක ලෙස සිය කලා ජීවිතය වඩාත් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට ඇය සමත්විය.රිදී තාරකා,සුදු හංසි, සුබා යන සිනමා නිර්මාණ සඳහාත් මෑතකදී ඇය සිය රංගන දායකත්වය ලබා දී තිබුණි. මෙවර ආලින්දය හැඩ කරන ඇය මුතු තරංගාය.) 
මම තවම හරියට තීරණයක් අරගෙන නෑ.
ඡයා රූ-ප්‍රදීප් නිශාන්ත 

*සම්පූර්ණ නම 

මාකුඹුරගේ දෝන මුතු තරංගා ශ්‍රී නිලුපුලි පීරිස්. 

*උපන්දිනය 

අප්‍රේල් 30 

පළමු වෘත්තිය 

නිරූපණ ක්ෂේත්‍රය 

*අධ්‍යාපනය ලැබූ පාසල් 

රෝමානු කතෝලික මිශ්‍ර පාසල, කඩවත 

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, කඩවත 

පවුලේ සාමාජිකයින් 

අම්මා, තාත්තා, නංගි, මම *කොහොමද මේ දවස්වල ජීවිතේ? 

පසුගිය කාලේ තරමක් කාර්යයබහුල වෙලා හිටියේ. මේ දවස් වල නම් ටිකක් විවේකීව ඉන්නවා. 

*රංගනය පැත්තෙන් මේ දවස් වල ඔබ තරමක් නිහඬයි නේද?‍ 

මේ දවස් වල මම නිර්මාණ තරමක් තෝරා බේරාගෙනයි රඟපාන්නේ. ඉස්සර වගේ එක දිගටම රඟපාන්නේ නෑ. ඒ කාලේ රංගනය නිසා හුඟක් කාර්යයබහුල වෙලා හිටියේ. දැන්නම් මම ගොඩක් තෝරගෙන වැඩ කරන්නේ. ඒ නිසයි මම ටෙලි නාට්‍ය වල දකින්න නොලැබුණේ. නමුත් මම රඟපාපු නාට්‍ය 07 ක් පමණ ඉදිරියේදී එන්න තියෙනවා. 

*ඒ වගේ තෝර බේරාගෙන රංගනයේ යෙදෙන්න විශේෂ හේතුවක් තියෙනවද? 

එහෙම විශේෂ හේතුවක් නම් නෑ. කාට වුනත් ඕනම දෙයක් ටික කාලයක් කරද්දි එපා වෙනවා. ඒ දේවල් ඔළුවට ලොකු බරක් වෙනවා. මට වගේම මගේ පවුලේ අයටත්. මුලදී නම් හිතුවේ දිගටම නාට්‍ය එන එක හොඳයි කියලා. දැන් හිතෙනවා තෝරා බේරාගෙන රංගනයේ යෙදුණා නම් මගේ දක්ෂතා මීට වඩා ඉදිරිපත් කරන්න තිබුණා කියලා. කරපු හැම නාට්‍යයක්ම වගේ දක්ෂතාවය පෙන්වන්න ලැබුණ ඒවා නෙමෙ‍යි. තව ඉදිරියට එන්න තියෙන නිර්මාණ වල මගේ දක්ෂතා දැකගන්න පුළුවන්. තෝරා බේරාගෙන කරන එක මගේ සෞඛ්‍යටත් හොඳයි. ඒකයි මම මේ දවස් වල ඒ වගේ සීමාවක් යොදාගෙන තියෙන්නේ. 

*ඔබ එයින් අදහස් කරන සීමාව මොකක්ද? 

ගොඩදෙනෙක් හිතන්නේ මට ගැළපෙන්නේ ආදර චරිත කියලා. නමුත් මම හිතනවා නපුරු චරිත එහෙමත් මට කරන්න පුළුවන් ඇති කියලා. තරමක මහළු චරිතයක්. මම කැමතියි ප්‍රේමවන්තියකගේ තැනින් මිදෙන්න. එවැනි චරිත කිහිපයක් ලැබුණා. ඒවා විකාශය වුනොත් ඉදිරියේදී දැකගන්න පුළුවන්. 

*ඒ හැරුණු විට ඔබ යම් නිර්මාණයක් තෝරාගැනීමේදී යම් සීමාවක් තිබෙනවද? 

ටෙලි නාට්‍ය වලදී නම් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඇතැම් අවස්ථා වලදී මම මගේ ඇඳුම් ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. මම දැනගෙන ඉන්න ඕන මට ගැළපෙන්නේ මොකක්ද කියලා. චිත්‍රපට වලදී නම් සීමාවක් නෑ. නමුත් මුතු තරංගාගේ සීමාවක් තියෙනවා. එතනින් එහාට මම මොන දේ ආවත් බාරගන්නේ නෑ. ටෙලි නාට්‍ය වත් චිත්‍රපටවත් බාරගන්නේ නෑ. 

*විලාසිතා සම්බන්ධව ඔබේ අනන්‍යතාවය මොනවගේද? 

මම පුංචි කාලේ ඉඳන්ම ඇඳුම් ගැන විශාල උනන්දුවක් දැක්වුවා. යන හැම තැනටම ටිකක් විශේෂ විදිහට යන්න උත්සාහ කරනවා. මම මුලින්ම තෝරාගත්තෙත් නිරූපණ ක්ෂේත්‍රයයි. ඉතින් මම විශේෂ තැනක් දෙනවා විලාසිතා වලට. නමුත් මට ගැළපෙනවා නම් විතරයි. ගැළපෙන දේ තෝරගෙන ගැළපෙන තැනට යන්න මම පරිස්සම් වෙනවා.

*ක්ෂේත්‍රයේ තරගකාරිත්වය ඔබට බලපාන්නේ කොහොමද? 

මට නාට්‍ය නොලැබුණත් මම දුක්වෙන්නේ නෑ. අපිටත් ආධුනික කාලයක් තිබුණා. මම ප්‍රවීණයි කියනවා නෙමෙයි. නමුත් මම කෙටි කාලයක් හෝ ක්ෂේත්‍රය තුළ රැඳී සිටි නිසා මම කැමතියි අලුතින් එන අය දකින්න. ආධුනිකයින් ඉදිරියට ආ යුතුයි. කාලයක් තියෙනවා අපිටත් පිටුපසට යන්න. අපි නිර්මාණ තෝරාගත්තට කමක් නෑ. ඒත්, අලුතින් එන අයට ඊර්ෂ්‍යා නොකර. වර්තමානයේ හුඟක් ආධුනික ශිල්පීන් ඉන්නවා. මම ප්‍රවීණයින් සමගත් රංගනයේ යෙදිලා තියෙනවා. ඔවුන්ගෙන් මම උපදෙස් ලබාගන්නවා. ඒ නිසා මේ වනතෙක් මට එහෙම අභියෝගයක් ඇතිවෙලා නෑ. 

*නිළිකම කියන්නේ වටිනාකමින් අඩු වෘත්තියක් කියන මතය ඔබ පිළිගන්නවද? 

වටිනාකමින් අඩුවෙන්න විදිහක් නෑ. නිළි වෘත්තිය ගෞරවනීය වෘත්තියක්. ඇතැම් පිරිස් නිසා ඒ ගෞරවනීය බව නැතිවෙනවා. ඒ නිසා වෙන්න ඇති ඔය මතය ගොඩනැඟී තියෙන්නේ. අපිට තියෙන ගෞරවය ඇතැම් තැන්වලදී නොලැබී යන අවස්ථා තිබෙනවා. හේතුව එක්කෙනෙක් දෙදෙනෙක් කරන වැරදි. ඒ තත්ත්වය මුල් කාලයේදී මට ලොකුවට බලපෑවා. වටිනාකම කියන දේ නැතිකරලා ගිය මටත් යම් යම් අත්දැකීම් වලට මුහුණදෙන්න සිද්ධවුණා. නමුත් මම මොළේ පාවිච්චි කළ නිසා ඒ ගොඩක් දේවල් වලින් ගැලවුණා. කලාව කියන්නේ පූජනීය දෙයක්. 

*කටකතා සම්බන්ධව ඔබේ අත්දැකීම් මොනවගේද? 

මම දන්නේ නෑ. මටත් කටකතා එන්න ඇති. මම හිතන්නේ මට කතාවක් හැදෙනවා නම් එහෙම වෙන්නේ මගේ ජනප්‍රියත්වය නිසයි. කටකතා කියන්නේ මාව ජනප්‍රිය කරවන්න කවුරු හෝ කරන දෙයක්. ඒ පුද්ගලයා අදහස් කරන්නේ ඒ තුළින් මට ලැජ්ජාවක් ඇතිකරන්න නම් ඒකෙන් වෙන්නේ මට කැළලක් ඇතිවීම නෙමෙයි. මාව තවත් ජනප්‍රියවීමයි. 

*ආදරය ගැන ටිකක් කතාකරමු? 

ආදරය කියන්නේ තමන්ව ජීවත් කරවන දෙයක්. මම බලාපොරොත්තු වෙන්නේ මම ආදරය කරනවට වඩා මට ආදරය කරන කෙනෙක්. ඒ වගේම මාව කවදාවත් දාල නොයන කෙනෙක්. ඒ වගේම ආදරය රැ‍‍ඳෙන්න එක දෙයයි කරන්න ඕන. එයාගේ වැරදි මොනවද කියලා දැනගෙන මම ජීවත්වෙන එකයි. ඒ වැරදි පුළුවන් නම් හදන්න උත්සාහ ගන්නවා. නැත්නම් එයාගේ වැරදි මොනවද කියලා තමන් තේරුම් අරගෙන ජීවත්වීම තමයි ආදරයේ රඳාපැවැත්ම. 

*ඒ වගේ කෙනෙක් මේ වෙද්දි ඔ‍බට හමුවෙලා තියෙනවද?‍ 

මම ඒ ගැන ලබන අවුරෙද්දේ තමයි මාධ්‍යයට හෙළිකරන්නේ. මම තවම හරියට තීරණයක් අරගෙන නෑ. ඒ නිසා මව්පියන් එක්කත් එකතු වෙලා තීරණයක් අරන් හැමදෙයක්ම හරි ගියාට පස්සේ ලබන අවුරුද්දේ ඒ ගැන මාධ්‍යයට කියන්නම්. 

*නිළියක් නොවුණා නම් ඔබේ ජීවිතය මොන වගේ ක්ෂේත්‍රයකට යොමුවෙයිද? 

මම හිතන්නේ ගායිකාවක් වෙයි කියලා. පුංචි කාලේ ඉඳන් මගේ ආසාවක් තිබුණා ගායන ක්ෂේත්‍රයට. මගේ තාත්තා මාව නිතරම උනන්දු කළේ ගායනයට. මෑතකදී මගේ ගුරු පියාණන් මරණයට පත්වුණා. ඒ‍ නිසා මම තරමක් ගායනයෙන් ටිකක් ඈත්වුණා. නිළියක් නොවුණා නම් ගායිකාවක් වෙන්න තිබුණා. 

*වෘත්තීය ජීවිතය තුළ ඔබ වඩාත්ම සංවේදී වුණු අවස්ථාවක් මතකද? 

ගොඩක් අවස්ථා තියෙනවා. මම ඕනවට වඩා සංවේදී කෙනෙක්. එක් නාට්‍යයක ජවනිකාවකදී මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. මම රහසේ පැන ඇවිත් ඉඳිද්දි. මගේ තාත්තා මාව එක්ක යන්න එනවා. එහිදී අධ්‍යක්ෂවරයා විටින් විට ඇවිත් මගේ දෙබස වෙනස් කළා. මම තරමක් අපහසුතාවයට පත්වුණා. ඒ දර්ශනය පස්සේ නිවැරදිව රූගත වුණා. නමුත් මට පස්සේ හොඳටම ඇඬුණා. දර්ශනය ඉවර වෙලත් මම ඇඬුවා. ගොඩක් වෙලා යනකන් මගේ ඇඬිල්ල නැවතුණේ නෑ. 

*දැන් ඔබ ඉන්න තත්ත්වය ගැන ඔබ සෑහීමට පත්වෙනවද? 

පෞද්ගලික ජීවිතයේ මම සැහීමට පත්වෙන්නේ මම කාගෙන්වත් දෙයක් උදුරගෙන නෑ. මම අමාරුවෙන් ලබාගත් දෙයක් තමයි ඉතිරිකරගෙන තියෙන්නේ. මට ජනතා සම්මානය විතරයි තියෙන්නේ. වෙනත් සම්මාන ලැබිලා නෑ. මට ක්ෂේත්‍රයෙන් ලැබුණේ එච්චරයි. 

*ඔබ නිර්මාණයකට අයකරන මිල තීරණය කරන්නේ කොහොමද? 

චරිතයකට කියලා මගේ මිල තීරණය කිරීමක් නෑ. මගේ එක ගානක් තියෙනවා. ඒ මිල අනුවයි මම තීරණය කරන්නේ. නමුත් හොඳ නිර්මාණයක් නම් ඒ මිල අඩුකරන්න පුළුවන්. අඩුවට කරන්න නම් ඕන තරම් නාට්‍ය තියෙනවා. ඒත් ඒකෙන් වැඩක් නෑ. ඕනවට වඩා මිනිස්සුන්ට දකින්න ලැබෙනවා කියන්නෙත් කිසි වටිනාකමක් නෑ. 

HARD TALK *ජ්‍යොතිෂය විශ්වාස කරනවද? 

ඔව්. 

*කිසියම් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා දායකවෙන්න කියලා ආරාධනයක් ලැබුණොත් එම ආරාධනය බාරගන්නවද? 

කවදාවත්ම නෑ. 

*ඔබ හිතන විදිහට තිරයේ පෙම්වතා ලෙස ඔබට වඩාත්ම ගැළපෙන රංගන ශිල්පියෙක් නම් කරන්න 

ධනංජය සිරිවර්ධන. 

*වඩාත් සාර්ථක යෝජිත විවාහයද? ආදර විවාහයද? 

ආදර විවාහය. 

*වෘත්තීය රංගන ශිල්පිණියක් මුල්තැන දිය යුත්තේ තමන්ගේ වෘත්තීය ජීවිතයටද? පෞද්ගලික ජීවිතයටද? 

පෞද්ගලික ජීවිතයට.

No comments:

Post a Comment