Pages

Tuesday, November 30, 2010

මම රම්බරීට ණයගැතියි...

(මෑතකාලීනව නිර්මාණය වූ තරමක් වෙනස් පදමාලාවක් සහිත "රම්බරී"ගීතය එම පද මාලාව මෙන්ම එහි රූප රචනාව ද ප්‍රේක්ෂකයින් අතර ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගනු ලැබීය. එමෙන්ම එය 2010 දෙරණ මියුසික් වීඩියෝ අවෝඩ්ස් හි ජනප්‍රියතම ගීත රූප රචනය ලෙස ද සම්මානයට පාත්‍රවිය. අද දෙරණ ආලින්දය සමග මෙවර එක්වී සිටින්නේ එම ගීතයේ හිමිකරුය.ගායන ශිල්පි ලහිරු පෙරේරාය.)

ඡායා -දිනේෂ් නලින්ද

සම්පූර්ණ නම

කුරුගමගේ ලහිරු නිල්නුවන් පෙරේරා.

උපන්දිනය

1984. 04. 18

පදිංචිය

කෙහෙල්බද්දර, උඩුගම්පොළ

පවුලේ සාමාජිකයින්

අක්කා, අම්මා, තාත්තා

අධ්‍යාපනය කටයුතු

ශ්‍රී බෝධි විද්‍යාලය, ගම්පහ

ඩී. එස්. සේනානායක විද්‍යාලය, කොළඹ

SAE, සිංගප්පූරුව

*කොහොමද ලහිරු, මේ දවස් වල ලැබෙන ප්‍රතිචාර?

ප්‍රතිචාර වැඩිකමට මහත්වෙනවා. බොහොම සතුටුයි. මට වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණේ රම්බරී ගීතයෙන්. ඊට පෙර මගේ ගීතයක් නිර්මාණය වුණා මන බැන්දූ -හද රැන්ඳූ කියලා. ඉන්පසුවත් තවත් ගීත 3ක් පමණ නිර්මාණය වුණා. නමුත් එම ගීත ප්‍රචාරය වුණේ නෑ. ඒ නිර්මාණ හිතට අවංකවයි කළේ. රම්බරීත් එවැනි නිර්මාණයක්. අවංකකම වැඩි නිසාද කොහෙද එය මිනිසුන්ට දැනුණා. මට හිතෙන විදිහට 40% විතර බැන්නා. 60%ක් විතර හොඳ කිව්වා. මට ගායන ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණේ රම්බරී නිසා. රම්බරී කියන්නේ මගේ දෛවය වෙනස් කළ ගීතයක්. හැමදාම කියනවා වගේ මම රම්බරීට ණයගැතියි.

*මේ දවස් වල ක්ෂේත්‍රයේ වැඩ කටයුතු ගැනත් කතාකරමු?

ලංකාවේ ඇල්බම් විකුණන ක්‍රමය හා ඇල්බම් මිලදීගන්න ක්‍රමය නිසා මම තීරණය කරලා තියෙනවා ඇල්බම් නිකුත් කරන්නේ නෑ කියලා. ඇල්බම් කළාම තමන්ට ඒ ගීතයට තියෙන අයිතිය රෙකෝඩ් ලේබල් එකට යනවා. ඉන්පස්සේ ආදායම් උපයන්නේ එයයි. ගායකයාට තැනක් නැතුව යනවා. ඒ නිසා මම ඇල්බම් 1ක් කරන්නේ නෑ. සමාවෙන්න. මම එක් ගීතය බැගින් එළිදක්වන්නයි හිතාගෙන ඉන්නේ. ඉදිරියේදී මම රූප රචනාත් සමග සංයුක්ත තැටියක් සහ ශබ්ද සංයුක්ත තැටියක් කරන්න බලාපො‍රොත්තු වෙනවා. ඒ නිකුත්කරන්නෙත් මගේ වියදමින් එය කරන්න පුළුවන් වුණු දාටයි. ළඟදිම මම වැලන්ටයින් දිනය වෙනුවෙන් ආදර ගීතයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ මූණට ඒක ගැළපෙයිද දන්නෙත් නෑ. ඒ වෙනුවෙන් ටිකක් කෙට්ටු වෙන්නත් උත්සාහ කරනවා.

*ලහිරු, ඔබේ සංගීත ජීවිතය ඇරඹෙන්නේ කොහොමද?

සංගීතයට ඇති දැඩි කැමැත්ත නිසයි මම ක්ෂේත්‍රයට පිවිසුණේ. ඒ වගේම අමුතු අමුතු දේවල් දැකගන්න තියෙන අධික ආශාව සහ වාසනාව නිසයි.

*මේ වනවිට සංගීතය වෘත්තිය විදිහට ඔබ තෝරගෙන තිබෙනවාද?

මම වෘත්තීය වශයෙන් ශබ්ද පරිපාලනය අංශයේ වැඩ කළා ගායකයකු වීමට පෙර. තවමත් මගේ ප්‍රධාන වෘත්තිය එයයි. මම කැලණියේ ස්ටුඩියෝ එකක් කරනවා. මම විදේශගතව ඒ සම්බන්ධව අධ්‍යාපනය ලැබුවා. මම ගායනයේ යෙදුණේ විනෝදාංශයක් විදිහට. මම එයින් අදායමක් ලබනවා. සමහර අවස්ථා වලදී ශබ්ද පරිපාලන කටයුතු වලටත් වඩා. මේ වනවිට ගායනයත් මගේ වෘත්තියක් වෙලා තියෙනවා.

*ඔබේ නිර්මාණ ජාත්‍යන්තර මට්ටමට ගෙනයන්න ඔබේ අදහසක් නැද්ද?

ගොඩක් කැමතියි. ඒත් එක්කම කැමතියි ලංකාවේ හැමකෙනෙක්ම ලහිරු පෙරේරා කිව්වම අඳුනගන්නවට. ඒක තමා ප්‍රධානතම ආසාව. මාව තවම දන්නේ බොහොම සුළු පිරිසයි දන්නේ. රම්බරී කිව්වම තමයි බොහෝ දෙනෙක් මාව හඳුනගන්නේ. නමුත් මගේ මූලික උත්සාහය ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර වෙසෙන ජනතාවගේ හදවත් වලට ඇතුළුවීමයි. මම ජාත්‍යන්තරයට යයිද කියන්න බෑ. මම ලද දෙයින් සතුටුවෙන කෙනෙක්. බොහොම පොඩි පොඩි ආශාවන් මගේ තියෙන්නේ. ජාත්‍යන්තරයට යන්න ලැබුණොත් හොඳයි. නැතිවුණා කියලා දුක්වෙන්නේ නෑ.

*සංගීත ක්ෂේත්‍රයේ නවකයින්ට විවිධ චෝදනා එල්ලවෙනවා. මේ සම්බන්ධව ඔබ මුහුණ දුන් අත්දැකීම් මොන වගේද?

ඒවාටම තමයි මුහුණපාන්න සිද්ධවෙලා තියෙන්නේ. රම්බරී ගීතයත් මම සහ ගීත රචකයා කිව්ව දෙයක් තමයි මේ ගීතයට මුල, මැද, අගක් නෑ කියන දෙය. එය අපි හිතට එකඟව කිව්ව ඇත්තක්. අපිට එහි අර්ථය ගැන බොරු කියන්න පුළුවන්. නමුත් අපි මෙය හිතට එකඟව කළ නිර්මාණයක්. මේ ගීතය ගීත රචකයාගේ හිතට ගලා ආ පද මාලාවක්. ඒ වගේම මගේ හිතට ගලා ආ තනුවක්. මෙය උපුටාගත් දෙයක් නෙමෙයි. අපි එකතුවෙලා කළ නිර්මාණයක්. අපේ දෙයක්. ඊට ලැබුණු ප්‍රතිචාරත් හොඳයි. මේ තේරුමක් නැති ගීතය නිසා මට බොහෝ දේවල් ලැබුණා. ඒවා බලාගෙන ඉන්න බැරි කට්ටියකුත් ඉන්නවා. කොච්චර චෝදනා ආවත් ඒ නිර්මාණය නිවැරදි නම් එය හොඳ නිර්මාණයක් බව තමයි කියන්න තියෙන්නේ.

*ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර අතරින් රසිකාවියන්ගෙන් ආදර යෝජනා ලැබිලා නැද්ද?

රසිකාවියන්ගෙන් ආදර යෝජනා ලැබිලා නෑ. මොකද මගේ පළමුවැනි සම්මුඛ සාකච්ඡාව තිබුනෙත් ටීවී දෙරණෙ. එතනදී පෙම්වතියක් ඉන්නවද කියලා මගෙන් අහපු ප්‍රශ්නෙට මම කිව්වේ ඔව් මට පෙම්වතියක් ඉන්නවා කියලා. එදා ඉඳන්ම මම කිව්වා මට පෙම්වතියක් ඉන්නවා කියලා. ඒ වගේම මම ලබන වසරේ විවාහවෙන්නත් තීරණය කරල තියෙනවා. ඉතින් මට ආදර යෝජනා ලැබුණෙත් නෑ. ඒ වගේම එහෙම ආදර යෝජනා එන්න තරම් ලස්සන පුද්ගලයෙකුත් නෙමෙයි මම.

*පෙම්වතිය ගැන අපි කතාකරමු?

ඇය නීපමා. එයා නමේ ඉතුරු කොටස කියන්න එපා කියලා කිව්වා. නීපමා කියන්නේ පමාවක් නෑ කියලා නෙමේ. උපමාවක් නෑ කියන එකයි. ඇය ඉගෙන ගත්තේ විශාකා විද්‍යාලයේ. අපි යාළුවුණේ ගම්පහ පොතුපිටිය මිස්ගේ රසායනික විද්‍යාව පන්තියේදී‍. ඊට කලින් අපි සාමාන්‍ය පෙළ පන්ති වලට ගියා. ඒ කාලේදී අපි, අපි දෙන්නව දැකලා තිබුණා. ඊට පස්සේ පොතුපිටිය මිස්ගේ පන්ති ගියේ. ඉගෙනගන්න කියලා ගියාට ඇත්තටම ඉගෙනගත්තේ නෑ. මම ඇයට මුලින්ම ගීතයක් කිව්වා කෙතරම් කිව්වත් වැටහෙන්නේ නෑ කියලා. ගීතය ලිව්වෙත් මම. දැන්නම් කියද්දි ලැජ්ජයි. දැන් අපි දෙන්නගේ ආදර කතාවට වසර 8ක් ගතවෙලා. මම ගායකයෙක් වෙන්න කලින් ඉඳලම ඇය මා එක්ක හිටියා. ඉතින් එයා මාව ගොඩක් තේරුම් අරන් ඉන්නේ. ඇය දැනට රජයේ බැංකුවක සේවය කරනවා.

*ජනප්‍රියත්වයත් එක්ක පෞද්ගලික ජීවිතය සාර්ථක කරගන්න අපහසුයි කියන මතයට ඔබ එකඟද?

මම තවම විවාහ වෙලා නැහැනේ. මට හිතෙනවා මම මේ යන විදිහ අනුව මට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. එයාට හංගන්න දෙයක් මට නෑ. එයාටත් මගෙන් හංගන්න දෙයක් නෑ. අපි දෙන්නගේ ක්ෂේත්‍ර 2 වෙනස්. ඒක ලොකු දෙයක්. ඒ ගැන මම සන්තෝෂ වෙනවා. මේ ක්ෂේත්‍රයෙන්ම කෙනෙක් හොයාගත්තොත් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. මම මේ ක්ෂේත්‍රයට එන්න කලින් ඉඳලමයි මගේ පෙම්වතියව දන්නේ. ක්ෂේත්‍රයට ඇවිත් වසර 3 ක් විතර ඉඳන් ඇයව ඇසුරු කරනවා. ජනප්‍රියත්වයක් එක්ක වසර 2ක් විතර ඉඳන් මම ඉන්නවා. අපි දෙන්නා අතර ජනප්‍රියත්වය නිසා කිසිම ප්‍රශ්නයක් ඇතිවෙලා නෑ. ඉතින් විවාහයෙන් පස්සෙත් ඒ දේවල් ඒ විදිහටම තියෙයි කියලා හිතෙනවා. ඒක විවාහවෙලාම බලන්න ඕන. විවාහ වෙලා අවුරුද්දකින් විතර සම්මුඛ සාකච්ඡාවක් තියන්න. එතකොට මම කියන්නම්.

*කටකතා සම්බන්ධ අත්දැකීම් මොනවගේද?

ගැහැණු ළමයි සම්බන්ධ කරලා මට කිසිම කටකතාවක් නෑ. කවුරුත් විශ්වාස කරන එකක් නෑ. නැත්නම් කටකතා තියෙනවා. මම මාධ්‍යවේදීන්ට කතාකරන්න දන්නේ නෑ, ඉන්න අයත් එක්ක තරහෙන් ඉන්නේ, මම බොහොම අධිතක්සේරුවකින් ඉන්නෙ. ඔය වගේ දේවල්. නමුත් ඒ කිසිකෙනෙක් මාත් එක්ක පෞද්ගලිකව කතාකළ අය නෙමෙයි. මාත් එක්ක වැඩ කළ අය දන්නවා මම කවුද කියලා. ඒ වගේ බොහොම සුළු කටකතා තමයි හැඳිලා තියෙන්නේ. ඒ හැරුණම නිළියක් හෝ ගායිකාවක් සම්බන්ධ කරලා කිසිම කටකතාවක් නෑ.

HARD TALK

*කලාකරුවන් දේශපාලනයට පිවිසීම ඔබ අනුමත කරනවද?

අනුමත කරනවා.

*ගායන හැකියාවට අමතරව ඔබේ ජීවිතයට ඔබ ලබාගන්න කැමති වෙනත් කලා හැකියාවක්?

ඡායාරූපකරණය

*ඔබේ ජීවිතයේ ඔබ අත්විඳි කිසියම් අත්දැකීමක් වෙනස්කරගන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ වෙනස්කරන අත්දැකීම මොකක්ද?

කිසිම අත්දැකීමක් වෙනස්කරන්න කැමති නෑ.

*ඔබේ සහකාරියගෙන් ඔබ පළමුවෙන්ම බලාපොරොත්තු වූ ගුණාංගය?

අවංක බව

*ගායන ශිල්පීන් සිය ගීත නිර්මාණ වාණිජ අරමුණු වෙනුවෙන් යොදාගැනීම ඔබ අනුමත කරනවාද?

අනුමත කරනවා.

No comments:

Post a Comment