Pages

Tuesday, November 16, 2010

එදා දැනුණු බය කවදාවත් අමතක වෙන්නේ නෑ.. නදීශා හේමමාලි

එදා දැනුණු බය කවදාවත් අමතක වෙන්නේ නෑ..
(ජනප්‍රිය ටෙලි නාට්‍ය හා සිනමා රංගන ශිල්පිණියක, නිවේදිකාවක, නර්තන ශිල්පිණියක මෙන්ම හඬ කැවීම් ශිල්පිණියක ලෙස සිය කලා හැකියාවන් රසික ඔබ වෙත ඉදිරිපත් කරන කලා ශිල්පිණියක් මෙවර අප හා ආලින්දයට එකතුවේ. සොඳුරු පියාපත්, ආදරයට වෙස් බැන්දා වැනි ටෙලි නාට්‍ය සඳහාත්"ජූලියා"චිත්‍රපටය සඳහාත් මෑතකදී ඇය සිය රංගන දායකත්වය ලබාදුන් ඇය නදීෂා හේමමාලිය.)



*සම්පූර්ණ නම-

අරස මරක්කල නදීෂා හේමමාලි

*උපන්දිනය-

1985. 08. 10-

*පදිංචිය-

පැලවත්ත, බත්තරමුල්ල

*අධ්‍යාපනය ලැබූ පාසල්-

ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලය, අම්බලන්ගොඩ

ගුරුකුල මහා විද්‍යාලය, කැලණිය

ධර්මාශෝක විද්‍යාලය, කැලණිය

*නදීශා, ඉදිරියේදී කලා කටයුතු වලට ඔබ දායකවෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද?

සුපුරුදු පරිදි මේ දිනවලත් ඉතාමත්ම කාර්යයබහුලයි. ඉන්දීය තෙළිගු චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු අවසන් වුණා. ඒ හින්දා දැන් ටිකක් හිත නිදහස්. ඒ ඇරෙන්න මම මගේ නිෂ්පාදන කටයුත්තක් කරන්න කටයුතු සූදානම් කරගෙන යනවා. ඒ වගේම ව්‍යාපාර කටයුතුත් සිදුකරගෙන යනවා. මේ දවස් වල ඒ වැඩ කටයුතු තමයි සිදුකරගෙන යන්නේ.

*ආරංචියක් ලැබුණා අපිට මෑතකදී ඔබ ව්‍යාපාර කටයුත්තකටත් අත ගැහුවා කියලා?‍

දැනට මම"රීල් ඇන්ඩ් ට්‍රැක්"ලෙස ආයතනයක් පවත්වාගෙන යනවා. ඊට අමතරව මෑතකදී මම තවත් මගේ වෙළඳ සහයකයෙකු සමග එක්ව වෙළඳ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ආයතනයක් පටන්ගත්තා.මේ දිනවල යෙදෙන ව්‍යාපාර කටයුතු ඒවා තමයි.

*එතකොට ඔබේ බලාපොරොත්තුව ඉදිරියේදී කලා කටයුතු වලින් ඈත්වීමද?

දැන් යම් කාලයක් මම මේ ක්ෂේත්‍රයේ වැඩකරනවා. මම හිතනවා කාන්තාවන් විදිහට අපි ජීවිතයට එකතු කළ ගත යුතු දෙයක් තමයි කළමනාකරණය කියන්නේ. එය නිවැරදිව පුරුදු පුහුණු කරගත යුතු දෙයක්. මම මේ වනවිට සාර්ථකව කාලය කළමනාකරණය කරගෙන තිබෙනවා. ඒ නිසා මම කලා කටයුතු හෝ ව්‍යාපාර කටයුතු වලින් ඈත්වීමක් මම දකින්නේ නෑ.

*නදීශා, අපට දැනගන්න ලැබුණා ඔබේ ආදරය හිමිකරගත්ත වාසනාවන්තයෙක් ඉන්නවා කියලා. ඒ ගැනත් අපි කතාකරමු?

වාසනාවන්තයෙක් ඉන්නවා. ඒ ඇති. ඔහු ගැන වැඩි විස්තර කියන්න අවශ්‍ය වෙන්නේ නෑ.

*ඔහු ඔබේ ජීවිතයට ළංවුණේ කොහොමද?

එය ප්‍රශ්නාර්ථ ලකුණක්

*ඔහු ඔබේ ප්‍රථම ප්‍රේමයද?

නැහැ, කොහෙත්ම නෑ

* නදීශා, ඔබ තීරණය කරලා තියෙනවද විවාහයෙන් පස්සේ කලා කටයුතු වලින් ඈත්වෙන්න?

මම වෘත්තීයමය කලා ශිල්පිණියක් නෙවෙයි. ඉතින් මම හිතන්නේ මට ඒ ප්‍රශ්නය අදාළ වෙන එකක් නෑ කියලා. මම කලා කටයුතු වල නිරතවෙන්නේ විනෝදාංශයක් විදිහටයි. ඉතින් මම හිතන්නේ නෑ මම විවාහ වුණත් කලා කටයුතු වලින් ඉවත්වෙන්න පුළුවන් කියලා. කලාව මම ගෞරව කරන, ආදරය කරන දෙයක්. ඉතින් මම කලාවෙන් ඉවත්වෙන්න අදහසක් නෑ. මම තෝරගෙන ඉන්න කෙනා කොහොමවෙයිද දන්නේ නෑ. නමුත් මම හිතන්නේ හොඳ තේරුම් ගැනීමක් තියෙන කෙනෙක් සමගයි මම විවාහ වෙනවා නම් විවාහ වෙන්නේ. ඉතින්, මම හිතන්නේ නෑ එය මට බාධාවක් වෙයි කියලා.

*ඔබ යම් කලා කටයුත්තකට දායකවෙද්දී ඔබේ පෙම්වතා සමග කතාබහ කරලා ඒ සම්බන්ධව තීරණයකට එළඹෙනවද?

මේ තාක් දුරට මම හැමදෙයක්ම කළේ මගේ තනි කැමැත්තට. මම ස්වාධීනව කටයුතු කරන කෙනෙක්. මම හැමදෙයක්ම කරන්න කලින් හොඳට හිතලා බලනවා. මට අපහසුතාවයක් ඇතිවන අවස්ථා වලදී මම මව්පියන්ගෙන්, ඥාතීන්ගෙන් වගේම මගේ මිතුරු මිතුරියන්ගෙන් උපකාර ගන්නවා. ඊට අමතරව මම බොහෝදුරට ස්වාධීනව ක්‍රියාකරන කෙනෙක්. මම ලැබෙන නිර්මාණ හැමදෙයක්ම බාරගන්නේ නෑ. තෝර බේරගෙන වැඩකරන කෙනෙක්. මම මටම වාරණයක් ඇතිකරගෙන තියෙනවා.

*ඔබ මේ වෙද්දි ලබලා තියෙන ජනප්‍රියත්වය ගැන ඔබට මොනවගේ හැඟීමක් ද තියෙන්නේ?

ජනප්‍රියත්වය මම ඉතාමත් සතුටින් බාරගන්න දෙයක්. නමුත් සමහර අවස්ථාවලදී එය කරදරයක් වෙන අවස්ථා තියෙනවා. පෞද්ගලිකත්වයක් නෑ කියලා හිතෙන අවස්ථාවන් තියෙනවා. නමුත් මම කුඩා අවධියේ කලා ශිල්පිණියක් වෙන්න ආසාවක් ඇතිවුණේ ජනප්‍රිය තරු දැකලා. ඉතින් මම හිතනවා ජනප්‍රියත්වය ආභරණයක්. ඒ වගේම ආශිර්වාදයක්.

*නදීශා, කටකතා සම්බන්ධව ඔබට මුහුණදෙන්න සිදුවෙලා තියෙන්නේ මොන වගේ අත්දැකීම් වලටද?

කටකතා හොඳවෙන්නත් පුළුවන්. නරක වෙන ඒවත් තියෙනවා. මම හිතන විදිහට. . . මම ජනප්‍රිය පුද්ගලයෙක්. ඉතින් මිනිස්සු කතාකරන්න කැමතියි. මම විශ්වාස කරන දෙයක් තමයි ඵල ඇති රුකට ගල් ගහනවා කියන එක. ඉතින් හොඳ හෝ නරක හෝ මම ඒ හැමදෙයක්ම මට හොඳක් විදිහටයි පිළිගන්නේ.

*මේ මාතෘකාව ගැනම කතාකරද්දී අපේ සමාජයේ පැතිරිලා තියෙන මතයක් තමයි කිසියම් කලාකරුවෙක් ලබන ජනප්‍රියත්වයත් එක්ක කලාකරුවන්ට සාර්ථක පෞද්ගලික ජීවිතයක් ගත කිරීම අපහසුය කියන මතය. ඔබ එකඟවෙනවද ඒ මතයට?‍

නිවැරදිව කාලය කළමනාකරණය කළොත්, තමන් කරන දේ ගැන නිවැරදි අවබෝධයක් ඇතිව කළොත් මම හිතන්නේ ඔය ප්‍රශ්නයට මුහුණදෙන්න සිද්ධවෙන්නේ නෑ.

*කලා ශිල්පිණියක් ඔබ විසින් පනවගත්ත සීමා හෝ කොන්දේසි තියෙනවද?

මම පිටපතක් හොඳින් කියවලා ඒ චරිතය හොඳින් වටහාගන්නවා. ඒ වගේම අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්යය මණ්ඩලය සමග ඒ ගැන කතාකරනවා. ඇඳුම් පැළඳුම් ඇතුළු අනෙක් හැමදෙයක්ම චරිතයට අනුකූලව හදාගන්නවා. මම කවදාවත් නදීෂා හේමමාලි ඒ චරිතයට ගෙනියන්න සූදානම් කෙනෙක් නෙමේ. චරිතය ඒ ආකාරයෙන්ම නිරූපණය කරන්න උත්සාය කරන කෙනෙක් මම. මම හැමවෙලාවකම හිතන්නේ චරිතය ගැන. අපේ රටේ සංස්කෘතියත් එක්ක ගොඩනැඟුණු සීමාවන් තිබෙනවා. එතනින් එහාට යන්න අමාරුයි. මම ලංකාවේ හැදුණු කෙනෙක්. ඒ නිසා ඒ අවස්ථා වලදී තැනට සුදුසු විදිහට ක්‍රියා කරනවා.

*කලා ශිල්පිණියක් විදිහට මේ දක්වා ඔබ පැමිණි ගමන ගැන ඒ වගේම ඒ හරහා ඔබ ලබාගත් ජයග්‍රහණ ගැන ඔබට සෑහීමට පත්වෙන්න පුළුවන්ද?

මට ලැබුණ සම්මාන ගැන කතාකරද්දි සෑහීමට පත්වෙන්න බෑ. ඒ වගේම මගේ පෞද්ගලික මතය අනුව ලංකාවේ තිබෙන සම්මාන උළෙලවල් ගැන මම සෑහීමට පත්වෙන්නෙ නෑ. අපිට ලැබෙන ලොකුම සම්මානය, ලොකුම තෘප්තිමත් බව අපේ ප්‍රේක්ෂකයින්. ප්‍රේක්ෂකයින් අපිව ආදරයෙන් පිළිගන්නවා නම් අපිට ආදරයෙන් සලකනවා නම් ඒක තමයි ලොකුම දායාදය. මට පැමිණි ගමනේ මට ලැබුණු ප්‍රේක්ෂක ආදරය ගැන මම ඉතාම තෘප්තිමත් වෙනවා. ඔවුන්ගේ ප්‍රතිචාර මම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා.

*නදීශා, රංගන ශිල්පිණියක් විදිහට ඔබ විවිධ චරිත වලට පණ පොවලා තිබෙනවා. සාමාන්‍ය ජීවිතයේදී නදීශා හේමමාලි හඳුන්වාදෙන්න පුළුවන් මොන විදිහටද?

පොළවේ පය ගහලා ඉන්න, අවංක කෙනෙක්.

*ඔබ කැමරාව ඉදිරිපිට මේ දක්වා ඉදිරිපත් කළ රංගනයන් අතරින් ඔබට වඩාත්ම අපහසු වුණු එහෙමත් නැත්නම් ඔබට ප්‍රබල අභියෝගයක් වුණු දර්ශනයක් ගැන මතක් කරන්න පුළුවන්ද?

මට කරන හැම චරිතයක්ම අභියෝගයක්. මම මුලින්ම ටෙලි නාට්‍යය වල රඟපාන කාලේ"කටු කුරුල්ලෝ"ටෙලි නාට්‍යයේ ගැබිණි මවකගේ චරිතයක් නිරූපණය කරන්න ලැබුණා. මම ඇත්තටම එතකොට අපහසුතාවයට පත්වුණා. ඒ මම පාසල් යන කාලේ. මම ලැජ්ජාවට පත්වුණා. ඒ චරිතය කරන්න මට ගොඩක් අපහසු වුණා. පසුව අධ්‍යක්ෂවරයා මට ඒ සම්බන්ධව කාරුණිකව උපදෙස් ලබාදුන්නා. එදා මට දැනුණු බය මට කවදාවත් අමතක වෙන්නේ නෑ. මම එදා මගේ දින පොතේ ලිව්වා මම නැවත රඟපාන්නේ නෑ කියලා.

HARD TALK

*යම් නිර්මාණයක් බාරගැනීමේදී ඔබ මුලින්ම සැලකිලිමත්වෙන්නේ ඔබට ලැබෙන මුදල ගැනද එහෙම නැත්නම් අදාළ නිර්මාණයේ නිර්මාණාත්මක අගය ගැනද?

නිර්මාණාත්මක අගය ගැන

*ඔබ ඉතාමත් කැමැත්තෙන් බාරගත් කිසියම් නිර්මාණයක් ප්‍රතික්ෂේප කරන්න කියලා ඔබේ පෙම්වතා /සැමියා ඉල්ලීමක් කළොත් ඔබ ඒ ඉල්ලීම පිළිගන්නවද?

ආදරයෙන් කිව්වොත් පිළිගන්නවා.

*කලාකරුවන් දේශපාලනයට පිවිසීම නිවැරදියි කියලා ඔබ හිතනවද?

ඔව්.

*ඔබ හිතන විදිහට වඩාත් සාර්ථක ආදර විවාහයද? යෝජිත විවාහයද?

ආදර විවාහය.

*වෘත්තීය රංගන ශිල්පිණියක් යම් නිර්මාණයකට සම්බන්ධ වීමේදී විවිධ සංස්කෘතික සීමා ගැන සැලකිලිමත් විය යුතුයි කියලා ඔබ හිතනවද?

ඔව්

*රොෂාන් රණවක, රොෂාන් පිලපිටිය, රොෂාන් රවීන්ද්‍ර යන තිදෙනාගෙන් තිරයේ පෙම්වතා ලෙස ඔබට වඩාත් ගැළපෙන්නේ කවුද?

රොෂාන් රවීන්ද්‍ර

No comments:

Post a Comment