Pages

Monday, October 11, 2010

මට කිසිම කටකතාවක් හැදිලා නෑ.. ඕශදී හේවාමද්දුම

මට කිසිම කටකතාවක් හැදිලා නෑ..
(ටෙලි නාට්‍ය රංගන ශිල්පිණියක් ලෙස වඩා ජනප්‍රිය වූ ඇය මේ දින වල ගායන ශිල්පිණියක් ලෙස ද ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙයි. ඇය රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය අතර කාව්‍යා, රාත්‍රිය වී, පූජා, දිව්‍යා, වැනි ටෙලි නාට්‍ය වඩාත් ජනප්‍රියත්වයට පත්විය.මෙවර අලින්දයට ගොඩවදින ඇය ඕෂදී හේවාමද්දුමයි.)



*ඕෂධී, මේ දවස් වල රංගනයෙන් තරමක් ඈත්වෙලා ඉන්න බවක් පේන්න තියෙනවා. ඉදිරියේදී ඔබේ ටෙලි නාට්‍ය හෝ වෙනත් නිර්මාණ ප්‍රේක්ෂකයින්ට දැකගන්න ලැබෙයිද?

මේ දවස් වල මම ගායනය පිළිබඳ හැදෑරීම් කරනවා. ඒ වගේම මේ මාසේ අලුත්ම නිර්මාණයක රූගත කිරීම් වලට සහභාගි වෙනවා. කොළඹින් පිට. ඒ අතරම පෞද්ගලික නාලිකාවක නිවේදිකාවක් විදිහටත් සේවය කරනවා. ඒ නිසා මේ දවස් වල තරමක් කාර්යය බහුලයි.

*විවාහය නිසාද ඔබ දැන් කලා කටයුතු වලින් තරමක් ඈත්වෙලා ඉන්නේ?

විවාහය නිසා කලා කටයුතු වල සීමා වීමක් සිදුවුණා. විවාහයට කලින් තිබුණු කාර්ය බහුලත්වයට මම කැමති වුණේ නෑ. ගෙදර ඉන්න වැඩි ඉඩ කඩක් සලසගන්න අවශ්‍ය නිසා. ඒ එක්කම මම රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය 7, 8 ක් පමණ විකාශය වෙන්න තරමක ප්‍රමාදයක් තියෙනවා. මේ දවස් වල විකාශය වෙන්නේ"ඇබෑර්තු ඇත"ටෙලි නාට්‍ය පමණයි.

*ඕෂධී, ඔබ යම් නිර්මාණයක් තෝරාගැනීමේදී ඔබේ සැමියා සමග කතාබහ කරලා ඒ සම්බන්ධව තීරණයකට එළඹෙනවද?

අනිවාර්යයෙන්ම. මට නිර්මාණයකට ආරාධනා ලැබුණම මම ඒ ගැන මගේ සැමියාට කියනවා. නමුත් ඔහුගේ අනවශ්‍ය ඇඟිලි ගැසීම් නෑ. මට නීති පනවලා නෑ. ඔහු දන්නවා මම විවාහ වෙන්න කලින් ඉඳලම තෝරාබේරා ගත් ක්‍රමයක් තියෙනවා. මම ඒ ක්‍රමය දිගටම අනුගමනය කරනවා කියලා. නමුත් යුතුකමක් විදිහට මම ඕනෑම නිර්මාණයකට කතාකළාම ඒ ගැන ඔහුට කියනවා. ඔහුගෙන් මගේ නිර්මාණ කටයුතු වලට බොහොම හොඳ සහයෝගයක් ලැබෙනවා. පහුගිය කාලය තුළ මම බොහොම කාර්යබහුල වෙලා හිටියේ. ඒ නිසා ඔහු බොහොම දුෂ්කරතාවලට මුහුණ දුන්නා. ඒ විදිහට ඔහු මට විශාල සහයෝගයක් ලබාදුන්නා. නිවාඩු තියෙන වෙලාවට ඔහු මාත් එක්ක රූගත කිරීම් වලට එනවා. ලොකු කැපකිරීමක් ඔහු මම වෙනුවෙන් කරනවා.

*ඔබේ සැමියා පිළිබඳව කතාකළ නිසා ඔබේ ආදර කතාව ගැනත් මතක් කරමු?

ආදර කතාව ආරම්භ වුණෙත් ටෙලි නාට්‍යයකින්මයි."දිව්‍යා"ටෙලි නාට්‍යයේ ඔහු කැමරා අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කළා. මම රඟපෑවා. මුල් දවස් වල අපි දෙන්නා කතාකළෙත් නෑ. ලොකු හිතවත්කමක් තිබුණේ නෑ. ඔහුත් වැඩිපුර කතාබහට කැමති කෙනෙක් නෙමෙයි. මුලින්ම අපි හඳුනගත්තේ මගේ යෙහෙළියක් මාර්ගයෙන්. ඊට පස්සේ අපි අතර හිතවත්කමක් ඇතිවුණා. පස්සේ මගේ යෙහෙළියම තමයි අපි දෙන්නව එකතු කළේ කිව්වොත් හරියට හරි.

*විවාහක කාන්තාවක් විදිහට ඔබේ පෞද්ගලික ජීවිතයේ බොහොම වගකීම් තියෙනවා. ඔබේ පෞද්ගලික ජීවිතය වගේම වෘත්තීය ජීවිතයත් සාර්ථක විදිහට පවත්වාගෙන යාමට ඔබ කොහොමද ඔබේ දින චර්යාව සැලසුම් කරගෙන තිබෙන්නේ?

කළමනාකරණය කියන දෙය මුල සිටම මගේ ජීවිතයේ තිබුණු දෙයක්. විවාහය‍ට පෙර වගකීම් අඩු නිසා මට වෘත්තිය ජීවිතයට වැඩි අවධානය යොමුකරන්න පුළුවන් වුණා. දැන් ටිකක් මම කම්මැලි වෙලා. ඒ වගේම මම ආසයි වැඩිපුර කාලයක් නිවසේ ගතකරන්න. මම කලා වැඩ කටයුතුයි නිවසේ වැඩ කටයුතුයි බෙදාගෙන කරන්නේ. මාසයක් වැඩ කළොත් මාසයක් ගෙදර ඉන්නවා. ඒ වගේම නිර්මාණයකට දින බාරගනිද්දි මගේ සැමියාට විවේකී දවස් ගැනත් බලනවා. ඒ නිසා පෞද්ගලිකව අපට එකට ජීවත්වෙන්න ලැබෙන කාලයත් වැඩියි. ඒ වගේම හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්නත් අවස්ථාව තියෙනවා‍. විවේකීව ගෙදර ඉන්න දවසට අපි දෙන්නම ටිකක් වැඩිපුර නිදාගන්නවා. මගේ සැමියාගේ තේ එක උදේට අනිවාර්යයෙන්ම මගේ අතින් තමයි හැදෙන්නේ. හවස් වරුවේ වෙලාවක් තිබුණොත් අපි එළියට යනවා.

*ඔබ බොහොම කාර්යබහුල වන අවස්ථා වලදී විවාහක ජීවිතයට වඩා තනිකඩ ජීවිතය හොඳයි කියලා හිතෙන අවස්ථා එහෙම නැද්ද?

කවදාවත් එහෙම හිතිලා නෑ. විවාහක ජීවිතය හොඳයි කියලා හිතෙනවා තනිකඩ ජීවිතයට වඩා. මොකද මට වෘත්තිය ගැන දන්න සැමියකු මට ලැබිලා තියෙන නිසා. ඔහුගේ මගේ වෘත්තිය තේරුම්ගෙන තිබෙනවා. ඔහු මට කවදාවත් කියන්නේ නෑ මම මේ මේ දේවල් කළ යුතුයි කියලා. ඔහුගේ ඥාතීන්ගේ විවිධ උත්සව වලට මට යන්න බැරිවෙන අවස්ථා තියෙනවා. නමුත් ඒ ගැන ඔහු වටහාගෙන තියෙනවා. තනිකඩ ජීවිතයට වඩා මට දැන් බෙදාගන්න වැඩියි. විවාහ ජීවිතය මට පහසුවක් වෙලා තියෙනවා.

*කටකතා සම්බන්ධව ඔබේ අත්දැකීම් ගැන කතාකළොත්?

මම දන්න විදිහට පෞද්ගලිකව මට කිසිම කටකතාවක් හැදිලා නෑ. මට ඒ ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා. මම නොදැනුවත්ව නම් මම දන්නේ නෑ. නමුත් දැනුවත්ව දරුණු විදිහට මට කටකතා හැදිලා නෑ. මම කටකතා හැදෙන විදිහට හැසිරෙන්නේ නෑ. අනවශ්‍ය විදිහට වැඩ කරන අයත් එක්ක මම ඇසුරු කරන්නේ නෑ. සීමා සහිත හිතවත්කමක් මට ක්ෂේත්‍රයේ අයත් සමග තියෙන්නේ. මගේ අනවශ්‍ය හිතවත්කම් නෑ. මම හිතන්නේ හිතවත්කම් වැඩිවෙන තරමට ප්‍රශ්න ඇතිවෙනවා වැඩියි. මම විවාහ ජීවිතයට ඉහළ තැනක් දෙන කෙනෙක්. විවාහ වුණාට පස්සේ ඊට මුල් තැන දෙන්න ඕන. නමුත් නොගැළපෙනවා නම් වෙන්විය යුතුයි. එක්ව ජීවත්වෙනවා නම් වැරදි කරන එක හරි නෑ.

*ඕෂධී, මේ දක්වා ඔබ ටෙලි නාට්‍යය බොහොමයක විවිධ චරිතයන් නිරූපණය කරලා තියෙනවා. ඉතින් ඒ චරිත දිහා බලද්දි ඔබට හිතෙන විදිහට ඔබට නම් කරන්න පුළුවන්ද යම් චරිතයක් ඔබේ සාමාන්‍ය ජීවිතයට වඩාත්ම සමීප චරිතය විදිහට?

මගේ ජීවිතයට විවිධ පැති වලින් සමීප චරිත තියෙනවා. එක් එක් චරිත සමග ගැළපීම්,නොගැළපීම් දෙකම තියෙනවා. මගේ ජීවිතයමයි කියලා පෙන්වාදිය හැකි චරිත නම් හුඟක් අඩුයි. ජීවිතයට හුඟක්ම සමීප චරිතයක් නෑ.

*ඕෂධී, රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ඒ විදිහට ඔබේ සිහිනයක් සපුරාගැනීමක් විදිහටද?

එය අහඹු සිදුවීමක්. මම අවුරුදු 8 ඉඳන් ගුවන් විදුලි සංස්ථාවේ ළමා ශිල්පිණියක් ලෙස කටයුතු කළා. නමුත් මගේ මව්පියන් මාව ඒ දෙයට යොමුකළේ කලාව වෘත්තිය කරගන්න නෙමෙයි. මම උසස් පෙළට ඉගෙන ගත්තෙත් වාණිජ විෂයන්. මම මගේ උපාධිය කරන්න බලාපොරොත්තුවෙන් සිටින අතරයි මට කලා ක්ෂේත්‍රයට ආරාධනා ලැබෙන්නේ. එයින් ස්ථාවර වීම සමගයි ඒ වැඩ කටයුතු නතර වෙන්නේ. අදටත් මට ආසාවක් තියෙනවා ව්‍යාපාර ක්ෂේත්‍රයට අත ගහන්න. කලාව අමතර දෙයක් විදිහට පූර්ණ කාලීනව කරන්න මගේ බලාපොරොත්තුවක් තිබුණේ නෑ.

*රංගන ශිල්පියෙකු විදිහට ඔබ යම් නිර්මාණයකට දායකවීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවගේ දෙයක්ද?

කලාවට පිවිසෙද්දි මගේ කිසිම බලාපො‍රොත්තුවක් තිබුණේ නෑ. එය අහම්බයක් නිසා. නමුත් මගේ වාසනාවට මට ජනප්‍රියත්වය බොහොම ඉක්මනට ළඟාවුණා. මම සම්මානයට පවා පාත්‍ර වුණා බොහොම අඩු වයසෙන්. මගේ මේ වයසත් එක්ක කලා ක්ෂේත්‍රයේ බලාපොරොත්තු නොවුණු දේවල් මට ලැබුණා. ජනතාවගේ ආදරය අති විශිෂ්ට විදිහට මට ලැබුණා. මගේ හැකියාව පිළිබඳව ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර මට හොඳටම ප්‍රමාණවත්.

*ඕෂධී, ඔබ කිසියම් නිර්මාණයක් බාරගන්න එහෙමත් එය ප්‍රතික්ෂේප කරන්න ඔබ විසින් පනවගත්ත සීමා හෝ කොන්දේසි තියෙනවද?

මුල් කා‍ලයේ ඉඳන්ම මම කළු චරිත සුදු චරිත කියලා තෝරාගැනීමක් කළේ නෑ. මම ක්ෂේත්‍රයට ආව දා ඉඳලම තිබුණ මගේ සීමාව තමයි මම නිරුවත් සහ අඩ නිරුවත් දර්ශන වලට සම්බන්ධ වෙන්නේ නෑ. පුංචි තිරයට නම් අදාළ වෙන්නේ නෑ. මොකද ඇත්තටම සීමාවක් තියෙන නිසා. ඒ වගේම ලිංගික දර්ශන වලට සම්බන්ධ වෙන්නේ නෑ. මම හිතන්නේ ඒ දෙකම අදාළ වෙන්නේ චිත්‍රපට වලට. එය රූපවාහිනියට බලනොපාන නිසා එතරම් දෙයක් නෙමෙයි. මට පාර බැහැලා යන්න පුළුවන් චරිත විතරයි මම කරන්නේ. ඒ ඇරෙන්න සුදු කළු කියලා භේදයක් නම් නෑ. මට රඟපාන්න දෙයක් තියෙනවා නම් මම ඕනම චරිතයක් කරනවා. මුලින් කිව්ව සීමා මායිම ඇතුළෙ ඉඳන්.

*ඔබ යම් නිර්මාණයකට අයකරන නිශ්චිත මිලක් තියෙනවද?

නිර්මාණයෙන් නිර්මාණයට මම අය කරන මුදල වෙනස් වෙනවා. වෘත්තියක් විදිහට අපට ජනප්‍රිය රැල්ලේ නාට්‍ය කරන්න වෙනවා. කලාත්මක නිර්මාණ වලට දායකවෙන්නත් වෙනවා. ජනප්‍රිය රැල්ලේ ලොකු ප්‍රමිතියක් නැති දෙයක් නම් මම ලොකු මුදලක් අයකරනවා. එය ව්‍යාපාරයක් ලෙසයි කරන්නේ. එතනදී අපි අපගේ වටිනාකමට සරිලන මුදලක් ඉල්ලුවට වරදක් නෑ කියලා මම හිතනවා. හොඳ නිර්මාණයකදී පිටපත, චරිතය ගැන හිතලා අඩු මුදලක් අය කරනවා.

*ප්‍රෙක්ෂකයන් අතර මතයක් තිබෙනවා ඔබ තරමක් ආඩම්බරයි කියලා. ඔබ එය පිළිගන්නවද?

එය ප්‍රේක්ෂකයින් අතර නොවේ ක්ෂේත්‍රයේ තිබෙන මතයක්. ප්‍රේක්ෂකයින් හැම කෙනෙක් සමගම මම හොඳින් කතාබහ කරනවා. ඔය කතාව කියන්නේ ක්ෂේත්‍රයේ අය. අනවශ්‍ය සබඳකම් නැති නිසයි ඔය කතාව පැතිරිලා තියෙන්නේ. වෙන කතාවක් අහගන්නවට වඩා ඔය කතාව මට හොඳයි.

HARD TALK *ඔබ ඉතා කැමැත්තෙන් බාරගත් නිර්මාණයක් කුමන හෝ හේතුවක් මත ප්‍රතික්ෂේප කරන ලෙස ඔබේ සැමියා ඉල්ලා සිටියොත් ඔබ එය පිළිගන්නවද?

ඔව්.

*කලා ශිල්පීන් මුදල් වෙනුවෙන් ඔවුන් රංගනයෙන් දායක වූ යම් යම් චරිත වෙළඳ දැන්වීම් වලට යොදාගැනීම ඔබ අනුමත කරනවද?

ඔව්.

*කිසියම් දේශපාලන පක්ෂයක ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් සැකසුණු කලා නිර්මාණයකට දායකවෙන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ එය බාරගන්නවද?

ඔව්

*ඔබ හිතන විදිහට වඩාත් සාර්ථක ආදර විවාහයද? යෝජිත විවාහයද?

ආදර විවාහය

*රංගන ශිල්පිණියකට නිර්මාණයකට සම්බන්ධ වීමේදී විවිධ සංස්කෘතික සීමාවන්ට මුහුණදීමට සිදුවීම සාධාරණයි කියලා ඔබ හිතනවද?

හිතනවා.

-

No comments:

Post a Comment