Pages

Monday, February 7, 2011

රනිල් රට හැර ගියේ සංගීත ක්ෂේත්‍රය එපා වූ නිසයි


රනිල්ගේ ආදරණීය බිරිඳ නිරාශා
 මෙරට විසූ අසහාය ගායක මිල්ටන් මල්ලවාරච්චි ගේ වැඩිමහල් පුත් රනිල් මල්ලවාරච්චි පසුගිය අවදියේ දකින්නට නොලැබුණු තරම්.
කෝ මේ රනිල්? ඔහු විදේශ රටක පදිංචියට ගිහින්. හේතුව? .. අපි රනිල්ගේ ආදරණීය බිරිය නිරාශා මල්ලවාරච්චිගෙන් විමසුවා.
රනිල් හදිසියේම විදෙස්ගත වෙන්න තීරණය කළේ ඇයි?
හදිසියේම තීරණය කළ දෙයක් නෙමෙයි. යම් යම් දේවල් ගැන රනිලුත් මමත් සෑහෙන කලකිරීමකින් හිටියේ. අපිට අපේ දරුවන්ගේ අනාගතය ගැන තීරණයක් ගන්න ඕනෑ වුණා.
ඇයි එහෙම හිතුණේ?
රනිල්ට මේ රටේ සංගීත ක්ෂේත්‍රය එපා වුණා. එයාට ගොඩක් අසාධාරණකම්වලට මුහුණ දෙන්න වුණා. මමයි මුලින්ම තීරණය කළේ අපේ දරුවන් වෙනුවෙන්, අනාගතේ වෙනුවෙන් අපි මේ රටින් බැහැර වෙන්න ඕනේ කියලා. පසුව රනිලුත් ඒකට එකඟ වුණා.
දැන් කොහේද පදිංචිය?
ඔස්ට්‍රේලියාවේ මෙල්බන්වල. දැන් අවුරුද්දක් පමණ වෙනවා අපි එහෙ පදිංචියට ගිහිල්ලා.
රනිල්ගේ පවුලේ අය මේ තීරණයට එකඟ වුණාද?
රනිල්ගේ අම්මා, නංගි සහ මල්ලි හැමෝම ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. ඉතින් එයාලා හැමවෙලේම කිව්වේ අපිටත් එහෙට එන්න කියලයි.
මෙවර ලංකාවට ආවේ?
දුවටයි පුතාටයි මේ දවස්වල නිවාඩු. අපි දැන් ඔස්ටේ‍්‍රලියාවේ පදිංචියට ගිහින් වසරක් පමණ වෙනවා. මේ අපේ ගෙවල් දොරවල් කිසිම දෙයක් පිළිවෙළක් කරලා නෙමෙයි ගියේ. ඉතින් මේ පාර අපි ආවේ ඒවා පිළිවෙළක් කරලා යන්නයි.
ඉතින් රනිල්ට එහේ ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට හැකිවී තිබෙනවාද?
ඔව්. දැනට රනිල් ඔහුගේ මිතුරකු සමඟ එක්වී ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා.
ඒ කියන්නේ රනිල් නැවතත් සංගීත කටයුතුවලට සම්බන්ධ නොවේවිද?
එහෙම වෙන එකක් නැහැ. මේ පාර ලංකාවට ආවමත් ඔහු සංගීත ප්‍රසංග දෙක තුනකට සහභාගී වුණා. කවුරුන් හෝ ආරාධනා කළොත් ඔහු එය පිළිගනීවි. එහෙත් වෘත්තීය සංගීතඥයකු වෙන්න දැන් ඔහුට ඕනෑකමක් නැහැ. එයින් අපිට අපේ අනාගතය ගොඩනඟා ගන්න බැහැ.
 ඔස්ට්‍රේලියාවේදී ඔහු සංගීත කටයුතුවල නියැලෙන්නේ නැද්ද?
පසුගිය වසරේ සංගීත ප්‍රසංගයක් කළා. ඒකට ප්‍රියංකර පෙරේරා, අමල් පෙරේරා, සතිෂ් පෙරේරා සහ රනිල් එකතු වෙලා තමයි ඒ ප්‍රසංගය පැවැත්වුණේ. ඔස්ට්‍රේලියාවේදී වුණත් තාත්තාගේ ගීත ගායනා කරන්න ආරාධනා කළහොත් එයා අනිවාර්යයෙන්ම සහභාගී වෙනවා.
ලංකාවේ හිටියා නම් අභියෝගවලට මුහුණ දෙමින් හෝ රනිල්ට ගායකයකු විදිහට දිගු ගමනක් යන්න අවස්ථාවක් තිබුණා යැයි හිතුණේ නැද්ද?
රනිල් අභියෝගවලට බය වුණේ නැහැ. ඒ අභියෝගවලට නොබියව ඔහු මුහුණ දුන්නා. නමුත් සාධාරණයන් ඉටු නොවෙන තැන ඇතිවෙන්නේ කලකිරීමක්. කලාකරුවකුට වටිනාකමක් තියෙන්න ඕනේ.
නමුත් ඒ වටිනාකම, මේ රටේ හැම කලා කරුවකුටම නැහැ. මේ වෙනස හොඳින්ම තේරෙන්නේ අපි ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිය පසුයි. ඒ රටේ හැම මනුස්සයෙක්ටම වටිනාකමක්, ගෞරවයක් තියෙනවා. හැම දේම සාධාරණ විදිහටයි සිදුවෙන්නේ. එහෙම බලද්දි මගේ නම් හැඟීම ලංකාවේ කලාකරුවො පව් කියන එකයි.
රනිල් විදෙස් රටක පදිංචියට යාමත් සමඟම පියාගේ ගීත මංකොල්ල කෑමට තවත් පහසුවෙනවා නේද?
මින් පෙරත් අපි ඊට අවශ්‍ය නීතිමය පියවර අරගෙනයි තිබුණේ. නමුත් ගීත සොරකම් කරන අය කොහොම හරි කරනවා. වරක් රනිල් ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික නාලිකාවකට විරුද්ධව උසාවියට පවා ගියා. නමුත් අවසානයේදී අපිට යුක්තිය ඉටුවුණේ නැහැ. ඒ සිදුවීමෙන් පසුව තමයි රනිල් ගොඩක් කලකිරීමට පත් වුණේ.
නැවත ලංකාවට පදිංචියට එන්න අදහසක් නැද්ද?
නැවතත් අපි ඒවිද නැද්ද කිය ලා රනිලුත් මමත් තාම තීරණය කරලා නැහැ. අපේ පුතා පවන්, දුව අනුපචා තාම අධ්‍යාපනය ලබනවා. ඉතින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට මූලික තැනක් දිය යුතුයි. ඔවුන් සමාජයේ හොඳ පුරවැසියන් කිරීමයි අපේ අරමුණ. ඉතින් දැනට ලංකාවේ පදිංචියට ඒම ගැන අදහසක් නැහැ.

No comments:

Post a Comment