Pages

Thursday, February 17, 2011

Hot


 තවත් ඉන්දීය ධීවරයින් 24 ක් අත්අඩංගුවේ
Feb 17,2011
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතව සිටි තවත් ධීවරයින් පිරිසක් පේදුරුතුඩුව මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ ධීවරයින් 24 දෙනෙකු මෙසේ ඊයේ අත් අඩංගුවට ගත් බවයි.

ඔවුන් පැමිණි ධීවර යාත්‍රා 7ක් ද පොලිසිය භාරයට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් ධීවරයින් පිරිස මේ වන විට ඉලවාලි පොලිසියේ රඳවා සිටින අතර ඔවුන් අද(16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ගාමිණි සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මේ අතර පෙරේදා දිනයේදී ද මෙලෙස ඉන්දීය ධීවරයින් 112 දෙනෙකු පේදුරුතුඩුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

තමන්ගේ ප්‍රශ්න වැඩියි-  ජාතික ප්‍රශ්න ගැන හිතන්න බෑ
තමන්ගේ ප්‍රශ්න වැඩියි- ජාතික ප්‍රශ්න ගැන හිතන්න බෑ
Feb 17,2011
එක්සත් ජාතික පක්ෂ නායකයින් පක්ෂය තුළ පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා උත්සාහ දරමින් සිටින බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පවසයි.

විපක්ෂයේ දේශපාලකයින්ට වෙනත් න්‍යාය පත්‍රයක් නොමැති බව ඔහු පවසයි.

මේ හේතුවෙන් ඔවුන්ට රටේ ජාතික ප්‍රශ්න කෙරෙහි අවධානයක් යොමු කිරීමට තරම් කාලයක් නොමැති බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පෙන්වාදෙයි.

එහි අවසන් ප්‍රතිඵලය එළඹෙන මැතිවරණයෙන් ද එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කිරීම බව ඔහු සඳහන් කරයි. 
ඒ බෝම්බය ව‍ගේද මේ බෝම්බය..
ඒ බෝම්බය ව‍ගේද මේ බෝම්බය..
Feb 17,2011
යුද්ධය නිමා වී අවුරුදු දෙකක් ගත වූ තැන දැන් කොටි බෝම්බය වෙනුවට ආණ්ඩුවේ බෝම්බය තියෙන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මේ වන විට දැන් ආණ්ඩුවේ බෝම්බය පත්තු වෙන්නට යන බවද හෙතෙම සඳහන් කර සිටියේ අද(17)ගම්පහ දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමේදීය.

යුද සමයේ කොටි බෝම්බය මාස දෙකකට පමණ වරක් හන්දියකදී තැබූ පසු තිහ හතළිහක් මිය යන බවත්,තවත් තුන් හතර දෙනෙකු තුවාල වන බවත් කියා සිටි විපක්ෂ නායකවරයා ප්‍රශ්නය එතනින් නිමා වන බවද අවධාරණය කර සිටියේය.

එසේ වුවද ආණ්ඩුවේ මෙම බෝම්බය හැමතැනම හැමදාම හැම ගෙදරකටම බලපාන බවද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

කොටි බෝම්බයෙන් මැරිලා තුවාල වෙලා කෑලි හොයාගන්න බැරි වී ගියත් ප්‍රශ්නය එතැනින් ඉවර බවත්,එසේ වුවද මෙම බෝම්බයෙන් නොමරා මරන බවද අප සෑම සියලු දෙනාටම මැරෙන්න සිදුවී ඇති බවද වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
 
චෝක්ලට් හා පැණි බීම විෂ වී දැරිය මරුට-අම්මා තවමත් රෝහලේ
Feb 17,2011
චොක්ලට් හා පැණි බීම විශේෂයක් විෂ වීමෙන් පොළොන්නරුව රෝහලට ඇතුළත් කරනු ලැබූ කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇගේ මව තාමත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.‍‍

පොළොන්නරුව සිංහපුර ප්‍රදේශයේ පදිංචි ගිම්හානිකා කුමාරි රාජපක්ෂ නමැති 11 හැවිරිදි දැරියක් මෙසේ මරුමුවට පත්ව ඇති අතර ඇගේ මව වන කුමාරි හේරත් යන අය රෝහල් වාට්ටු අංක 1 හි ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.

හමුදා සේවයේ යෙදුනු දැරියගේ පියා විසින් චොක්ලට් විශේෂයක් හා පැණි බීම වර්ගයක් ගෙනවිත් දුන් බවත්ඊයේ රාත්‍රීයේ ම මෙම ආහාර ගත් දැරිය වමනය කරන්නට පටන් ගැනීමෙන් පසු ප්‍රතිකාර සඳහා රෝහලට ගෙන යාමට ත්‍රීවිලර් රථයක් කැඳවාගෙන ඒමට දැරියගේ පියා පිටත්ව ගොස් තිබේ.

ත්‍රීවිලර් රථ රියදුරෙකුද කැටුව පියා එන විට ඇගේ මව වන 34 වියැති කුමාරි හේරත් යන අයද දැරිය අසලම සිහිසුන්ව වැටී සිටි නිසා දෙදෙනාම රාත්‍රීයේ රෝහල් ගත කර ඇතැයි සඳහන් වේ.

එසේ වුවද දැරිය රෝහල් ගත කරන අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවත්,දැරියගේ මව මේ වන විටත් ප්‍රතිකාර ලබන බවත් සඳහන් වේ. 
හානියට පත් වැව් හදන්න සිංගප්පූරුවෙන් කෝටි 2ක්
ජල ගැලීම්වලින් හානියට පත් කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකක (රුපියල් දස ලක්ෂ 22 ක්) මුදලක් සිංගප්පූරුවේ ගෝල්ඩන් පැගෝඩා විහාරස්ථානය මඟින් ශ්‍රී ලංකාවට පිරිනමයි.
එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මාස්ටර් ෂී ෆෂාඕ හිමිපාණන් විසින් මේ මුදල ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරනු ලැබ ඇති අතර අදාළ මුදල් ආධාරය කොළඹ හුණුපිටිය ගංඟාරාමාධිපති ආචාර්ය ගලබොඩ ඥාණිස්සර හිමියන් වෙත බාර දීම ඊයේ (16) සිදු කෙරිණි.
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය හා සිංගප්පූරුවේ ගෝල්ඩන් පැගෝඩා විහාරස්ථානය අතර තිබෙන සම්බන්ධතා හේතුවෙන් මේ ආධාර මුදල ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකිව තිබේ.
පසුගිය දිනවල ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, මඩකළපුව ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක කුඩා වැව් කැඩී ගිය අතර ඒ වැව් ප්‍රතිසංස්කරණය සඳහා මේ මුදල යොදවන බව හුණුපිටිය ගංඟාරාමාධිපති ආචාර්ය ගලබොඩ ඥාණිස්සර හිමියෝ පැවැසූහ. පසුගිය නියඟ පැවැති කාල සමයේ දී ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැව් 16 ක් ප්‍රතිසංස්කරණය කිරීමට සිංගප්පූරුවේ ගෝල්ඩන් පැගෝඩා විහාරස්ථානය උපකාර කළ බව සිහිපත් කළ ඥාණිස්සර හිමියෝ ඔවුන් ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ කෘතවේදීත්වය පිරිනමන බවද අවධාරණය කළහ

ලෝක ක්‍රිකට් සැණකෙළියේ මහා මංගල්‍යය අදින් ඇරැඹේ

ලෝක ක්‍රිකට් සැණකෙළියේ මහා මංගල්‍යය අද බංග්ලාදේශයේ බංගබන්දු ජාතික ක්‍රීඩාංගණයේ දී උත්සවශ්‍රීයෙන් ආරම්භ වේ.
ආසියානු කළාපයේ මෙවර පැවැත්වෙන 10 වැනි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශයට හිමිව ඇත.
ටෙස්ට් ක්‍රිකට් රටවල් 10ක් හා ටෙස්ට් තත්ත්වය බලාපොරොත්තුවෙන් සිටින රටවල් 4ක් සහභාගීවන ලෝක කුසලාන තරගාවලියට තරග 49ක් ඇතුළත් වේ. මේ තරග ක්‍රීඩාංගණ 13කදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ අලුතින් ම ඉදි වූ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය, පල්ලේකැලේ හා ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සුදානම් කොට ඇත.
අද පැවැත්වෙන සමාරම්භක උළෙලට සියලු කණ්ඩායම් එක්වන අතර බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා මහත්මිය ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් පවුලේ ඥාතීන් දෙදෙනෙක් කළුරිය කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පවුලේ ඥාතීන් දෙදෙනෙක් කළුරිය කරයි
Feb 17,2011
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන චාමර සිල්වාගේ සහෝදරිය අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය අද අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

33 හැවිරිදි නෙළුම් සිල්වා වන ඇය චාමර සිල්වාගේ වැඩිමහල් සහෝදරියයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අනුර තෙන්නකෝන් මහතාගේ මෑණියන් ද අද අභාවප්‍රාප්ත වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියි
.
ඉන්දීය ධීවරයින් වැරැද්ද පිළිගත්තා-ඇමති දේවානන්ද කියයි
ඉන්දීය ධීවරයින් වැරැද්ද පිළිගත්තා-ඇමති දේවානන්ද කියයි
Feb 16,2011
ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් සමාව ඉල්ලා ඇතැයි සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.

ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු තමා වහාම ගොස් මෙම පිරිස හමුවී කතා බහ කළ බව අමාත්‍යවරයා අද දෙරණට‍ කියා සිටියේය.

එහිදී තමන් අතින් වරදක් සිදුවූ බවට ඉන්දීය ධීවරයින් ප්‍රකාශ කළ බවත්,එකී වරදට සමාව දී නිදහස් කරන ලෙස මෙම පිරිස් ඉල්ලා සිටි බවත් දේවානන්ද මහතා සඳහන් කළේය.

කෙසේ වුවද ඉන්දීය ධීවරයින්ද අපගේ අසල්වැසියන් ලෙස සලකා කටයුතු කළ යුතු බවද,මොවුන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියා කිරීම අපගේ යුතුකම හා වගකීම වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේය.

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධිවරයින් 112 දෙනෙකු මේ වන විට පේදුරුතුඩුව හා කන්කසන්තුරේ පොලිස් ස්ථාන භාරයේ පසුවේ.

ශ්‍රී ලංකාව විසින් අභුත චෝදනා නඟා තම ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇතැයිද,එසේ අත්අඩංගුවට ගෙන ඇති ධිවරයින් නිදහස් කරන ලෙසද ඉල්ලා උද්ඝෝෂණය කළ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කරුණානිධි ගේ දියණිය වන රාජ්‍ය සභා මන්ත්‍රීනි එම්.කේ කනිමොහ්ලි ඇතුළු දහසකට අධික පිරිසක් මේ වන විට ඉන්දීය පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. 

 ශ්‍රී ලංකාවට එරෙහිව උද්ඝෝෂණයේ යෙදුණු මහ ඇමති දියණිය ඇතුළු දහසක් අත්අඩංගුවේ..!
ශ්‍රී ලංකාවට එරෙහිව උද්ඝෝෂණයේ යෙදුණු මහ ඇමති දියණිය ඇතුළු දහසක් අත්අඩංගුවේ..!
ඡායා රූ-නක්කීරන් වෙබ් අඩවියෙන් උපුටා ගැනුණි.

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝණය කළ බවට චෝදනා නඟා ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන් කරමින් හා ශ්‍රී ලංකා රජයේ ක්‍රියා කලාපයට එරෙහිව ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම්(ඩී.එම්.කේ)විසින් පවත්වන ලද උද්ඝෝෂණයේ දී විරෝධතාකරුවන් දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කරුණානිධි ගේ දියණිය වන එම්.කේ කනිමොහ්ලි ද අත්අඩංගුවට පත්වූවන් අතර වන බව ඉන්දීය මාධ්‍ය උපුටා දක්වයි.

අද(16)පෙරවරුවේ රාජ්‍ය සභා මන්ත්‍රීවරියක වන එම්.කේ කනිමොහ්ලි ගේ නායකත්වයෙන් චෙන්නායිහි,මයිලපූර්-නායේෂ්වරා උද්‍යානයෙන් ආරම්භ වූ මෙම විරෝධතා පා ගමන ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දක්වා පැමිණ ති‍බේ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් අමතා අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයාගේ දියණිය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවන් විසින් දිගින් දිගටම ඉන්දීය ධිවරයින්ට සිදුකරන අකටයුතු කම් පිළිබඳ නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට වගකිවයුත්තන් කටයුතු කර නොමැති බවයි.

කෙසේ වුවද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතා ව්‍යාපාරය පවත්වාගෙන යන අතරතුරදී තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කරුණානිධි ගේ දියණිය වන,රාජ්‍ය සභා මන්ත්‍රී එම්.කේ කනිමොහ්ලි,ඩී.කේ.එස් ඉලංගෝවන්,ජේ.ඇන්බලහොන් යන උදවියද සමග දහසකට වැඩි පිරිසක් ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව නක්කීරන් වෙබ් අඩවිය පෙන්වාදෙයි.

ඒ සමගම සාමකාමීලෙස විරෝධතාවයේ යෙදුණු මෙම පිරිස අත්අඩංගුවට ගැනීම තමා කිසි සේත්ම අනුමත නොකරන බව සඳහන් කරමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කර ඇති බවද සඳහන් වේ.

ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා රජය විසින් අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම ඉන්දීය ධීවරයින්ට එරෙහි ශ්‍රී ලංකා නාවික හමුදා විසින් මෙතෙක් ගෙන ඇති ක්‍රියා මාර්ග වලම ඉදිරි පියවරක් බවටද,ඉන්දීය ධීවරයින්ට එල්ල කර ඇති චෝදනා අසත්‍ය බවද මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කළ ඩී.එම්.කේ විසින් චෝදනා කර තිබේ..

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 112 දෙනෙකු ඊයේ(15) රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බව නිවේදනය කෙරුණු අතර මෙම පිරිස සම්බන්ධයෙන් ‍මේ වන විට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් ඉන්දීය ධීවර කටයුතු අමාත්‍යංශය දැනුවත් කර තිබේ. 

තරුණියට හදි කළ කොස්තාපල් දැලේ
තරුණියට හදි කළ කොස්තාපල් දැලේ
Feb 16,2011
ගිරාඳුරු කෝට්ටේ වෙළඳසැලක සේවය කළ 20 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගිරාදුරු කෝට්ටේ පොලිසියේ කොස්තාපල්වරයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අදාළ තරුණිය මහියංගණය , ‍සොරබොර වැව පාරේ නිවසකට රැගෙන ගොස් ලිංගික අතරවරයට ලක් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මේ අතර හාළි - ඇල සානියාවත්ත ප්‍රදේශයේ කාන්තාවකට තියුණු ආයුධයකින් ඇන තුවාල සිදු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ජංගම දුරකථනයක් උකස් කර ලබා ගත් යළි නොගෙවීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම සිදුවීම සිදුව ඇති බව බදුල්ල පොලිසිය පවසයි. 

ලකුණු 1000ක් ලැබූ නිවෝද්ට අරවින්දගෙන් තිළිණයක්
 
පාසල් ක්‍රිකට් තරගවාරයේ පළමුවෙන්ම ලකුණු 1000ක් වාර්තා කළ ශ්‍රී ජයවර්ධනපුර මහා විදුහලේ ක්‍රිකට් නායක නවෝද් ඉලුක්වත්තට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා අතින් විශේෂ තිළිණයක් ප්‍රදානය කළ අවස්ථාව. තරගයකදී නොදැවී ලකුණු 207ක් ලබාගත් නවෝද් ශ්‍රී ජයවර්ධනපුර පාසල් ක්‍රිකට් ඉතිහාසයේ මෙවැනි දක්ෂතාවක් දැක් වූ පළමු ක්‍රීඩකයා ද වෙයි.
එක්සත් ජනපදයට ඇෆ්ගන් යුද වියදම දිනකට ඩොලර් මිලියන 300ක්
Feb 16,2011
ඉරාකයෙන් එක්සත් ජනපද හමුදා ඉවත්කැරගැන්මෙන් 2012 සඳහා වන ආරක්ෂක පිරිවැයේ අඩුවීමක් සිදුවන නමුදු ඇෆ්ගන් යුද්ධය නිසා එක්සත් ජනපදයට, දිනකට ඩොලර් මිලියන 300ක් පමණ වැය කිරීමට සිදුව ඇතැයි ප්‍රකාශ වී තිබේ. පෙන්ටගනයේ යෝජිත අයවැයට අනුව ඉරාක – ඇෆ්ගන් යුද වියදම් 2012 වන විට පූර්ව වසරේ පැවති ඩොලර් බිලියන 41.5න් බිලියන 17.8 දක්වා අඩුවනු ඇතැයි සඳහනි.
2011 අවසාන වන විට ඉවත්කර ගන්නා 50,000ක සෙබළ ප්‍රමාණය සමගින් සිදු කරන ‘නවඋදා මෙහෙයුම’ සඳහා ඩොලර් බිලියන 10.6ක් වෙන්කර තිබේ. ඇෆ්ගන් යුද්ධය සඳහා වෙන්කර ඇති මුදල ඩොලර් බිලියන 107.3කි. එය ඉල්ලා තිබුණු ප්‍රමාණය වන බිලියන 113.5න් සුළු අඩුවීමක් පමණි.
ක්‍රිකට් ලෝක කුසලාන තරගවලට දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක්
Feb 16,2011
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග ඇතුළු මේ දිනවලදී පැවැත්වෙන පෙරහුරු තරග සඳහා පොලීසිය යුද හමුදාවේ ද සහාය ඇතිව දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කර තිබේ. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පොලිස්පති මහින්ද බාලසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු , නියෝජ්‍ය පොලිස්පතිවරු, පොලිස් අධිකාරිවරු ඇතුළු පොලිසියේ විශාල පිරිසක් මේ ආරක්ෂක වැඩපිළිවෙළට සහාය වෙති. ඊයේ (15) සිට මේ ආරක්ෂක වැඩපිළිවෙළ ආරම්භ විණි.
ලබන මාර්තු 29 වැනිදා දක්වා එය ක්‍රියාත්මක වෙයි. ආරක්ෂක හේතු මත පොලිසියේ සහ හමුදාවේ යොදවන ප්‍රමාණය හෙළි නොකෙරේ. තරග සඳහා පැමිණෙන විදේශීය ක්‍රිකට් කණ්ඩායම්වලට පූර්ණ ආරක්ෂාවක් සලසා ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා කීය. ආරක්ෂක වැඩපිළිවෙළ අදියර තුනකින් ක්‍රියාත්මක වේ. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, පොලිස්පති මහින්ද බාලසූරිය මහතා ඇතුළු ආරක්ෂක නිලධාරීන් එක්ව සිදුකළ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මේ දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත.වැඩි මිලට ‘හාල්’ වික්ක මුදලාලිලා 22ක් කොටු වෙති
Feb 16,2011

රජයේ අනුමත මිලට වඩා වැඩි මිලට වතු කම්කරුවන්ට සහල් අලෙවි කළ වෙළෙඳුන් විසි දෙදෙනකු නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරිය මඟින් ඊයේ (15දා) අත්අඩංගුවට ගෙන තිබේ. හැටන්, කොටගල, තලවාකැලේ, වලපනේ, පදියපැලැල්ල හා මතුරට ප්‍රදේශවල කළ වැටලීම්වලදී මේ වෙළෙඳුන් අත්අඩංගුවට ගත් අතර, මිල සඳහන් නොකර වැඩි මිලට සහල් විකුණන ලද බවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලද පැමිණිලිවලට අනුව වැටලීම් සිදු කැර තිබේ.
වතු කම්කරුවන්ට වෙළෙඳුන්ගෙන් සිදුවන අපහසුතා සහ අසාධාරණයට එරෙහිව පාරිභෝගික සේවා අධිකාරිය මගින් අඛණ්ඩව මේ වැටලීම් සිදුකරන බවත්, අත්අඩංගුවට ගත් වෙළෙඳුන් මේ 28 වැනි දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී. පි. ජී. කුමාරසිරි මහතා ප්‍රකාශ කළේ ය.

නබිනායක ජන්ම දිනය අදයි

නබිතුමාගේ ඉගැන්වීම් ආශ්චර්ය කරා යන ගමනට ඉමහත් පිටුබලයක්
-ජනපති
මුහම්මද් නබිතුමාගේ ඉගැන්වීම්වල හරයෙන් ජාතික සමගියට ලැබෙන ශක්තිය ආසියාවේ අශ්චර්ය කරා යන ගමනට සවිබලයක් වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසී ය. ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් සේ අනෙක් රටවල් ද එලෙස නිදහස් කර ගැනීමට අවස්ථාව උදාවේවායි මිලාද් - උන් - නබි උත්සවයට සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ප්‍රාර්ථනා එක් කරමින් කියා සිටියේ ය.එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
රටේ සාමය හා සමඟිය ස්ථාපිත කොට ඇති මොහොතේ අප නැවත නැවතත් සිහිපත් කළ යුතු වන්නේ ශුද්ධ වූ ශාස්තෘන් වහන්සේ ගේ ඉගැන්වීම් ය. එතුමන් සමාජයට සාමය හා සමගියේ මඟ පෙන්වමින් කළ අනුශාසනාවන් ය. එය අපගේ සමාජ සහජීවනයට මහත් වූ ආශීර්වාදයක් ද , ශක්තියක් ද වන්නේ ය. මුහම්මද් නබිතුමාගේ මූලික ඉගැන්වීම්වල හරය අන්‍යෝන්‍ය අවබෝධය, සහෝදරත්වය, එකිනෙකාට උපකාර කිරීම් හා සාධාරණත්වය යි.
මිලාද් - උන් - නබි උත්සව සමයේ දී මේ දේශනාවන්ට අනුව ජීවිතය හැඩගස්වා ගැනීමට ඉස්ලාමීය බැතිමතුන්ට අවස්ථාව උදා වෙයි. එය සිය පුද්ගලික ජීවිතයට පමණක් නොව සමාජයට ද මුහම්මද්තුමාගේ ආශීර්වාදය ලබා දෙන්නකි. එසේ ම එමගින් ජාතික සමඟියට ලැබෙන ශක්තිය ආසියාවේ ආශ්චර්ය කරා යාමට රට තබා ඇති පියවරට ඉවහල් වන බව මාගේ හැඟීමයි. ත්‍රස්තවාදය කළ තාඩන පීඩන වලින් අප රටේ සියලුම ඉස්ලාම් භක්තිකයින් අද සම්පූර්ණයෙන් නිදහස් ය. එසේ වුව ද ත්‍රස්තවාදයෙන් බැටකන පිරිස් ලොව තවමත් සිටිති. මේ උතුම් දිනයේ ලොව සියලු ඉස්ලාම් භක්තිකයින්ගේ ප්‍රාර්ථනාව ඔවුන්ට ද අප රටේ මෙන් නිදහස ලැබේවා යන්න ය. අපි ද ඒ ප්‍රාර්ථනාව සමඟ මහත් වූ සහෝදරත්වයෙන් යුතුව එක් වන්නෙමු.
 

සහජීවනයෙන් අත්වැල් බැඳ සමෘද්ධිමත් රටක් බිහි කරමු
අගමැති
ඉස්ලාම් ධර්මයත්, නබි නායකතුමා පෙන්වාදුන් මාර්ගයත් අනුගමනය කරමින් එකිනෙකා සමඟ සාමයෙන් හා සහජීවනයෙන් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අත්වැල් බැඳගන්නා ලෙස නබි නායකතුමාගේ ජන්ම දින පණිවිඩයක් නිකුත් කරමින් අගමැති දි. මු. ජයරත්න මහතා පවසයි. මීට වසර ගණනාවකට පෙර අරාබිකරයේ තිබූ අඳුරු යුගය නිමා කරමින් නබි නායකතුමාගේ උපත සිදු වූ බවත්, වර්තමානයේ ද ශ්‍රී ලංකාවේ අඳුරු යුගය නිමාවී තිබෙන මොහොතක ජාති ආගම් භේද පසෙකලා ශ්‍රී ලංකාව ගොඩනැගීමට එක්වන ලෙසත් එම නිවේදනයේ සඳහන් වේ.
අපරාධ, ලේ වැගිරීම්, බොරුකීම්, සොරකම, ස්ත්‍රීන්ගේ චරිත පිළිබඳ මිත්‍ය ආරංචි පැතිරවීම යන පහත් දේ අල්ලා දෙවිදුන්ගේ භක්තිකයන්ට අකැප ලෙස නම් කර, අර්ථයෙන්, ධර්මයෙන් ඉස්ලාම් බැතිමතුන් ශුද්ධවන්තයින් කිරීම සඳහා නබි නායකතුමා අනගි මෙහෙවරක් කළ බව ද සඳහන් වේ. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ, ‘සත්‍යවාදී හා විශ්වාසදායක පුරුෂයා’ යන තේරුම රැගත් ‘අල් - අමීන්’ යන වදනින්, මුළු මහත් අරාබිකරයේ ම ගෞරවාදරයට පාත්‍ර‍්‍ර වූ ශුද්ධ වූ මුහම්මද් නබි නායකතුමන්, තම ජීවිත කාලය තුළ, කිසිදු දිනෙක බොරුවක් කියා නැති බවත්, සිය වෘත්තිය වූ වෙළඳාමේ දී පවා, කිසිදු වංචාවක් සිදුකර නොමැති බවත්, එතුමන්ගේ ජීවන චරිතය අධ්‍යයනය කිරීමේ දී පෙනී යයි.
ශුද්ධ වූ නබි නායකතුමන්ගේ දර්ශනය අනුගමනය කරන්නන් ලෙස, එතුමන්ගේ ජන්ම දිනය සැමරෙන මේ පූජනීය මොහොතේ සියලු ඉස්ලාම් බැතිමතුන්ගේ පරම අභිලාෂය විය යුත්තේ ද එතුමන්ගේ ඒ උදාර චින්තනය තම ඇවතුම් – පැවතුම් තුළ පිහිටුවා ගැනීම යැයි මම විශ්වාස කරමි. ඉස්ලාම් බැතිමතුන් වශයෙන් තමන්ගේ ජීවන තත්ත්වය කවරක් වුවද එය සත්‍යවාදීව හා ප්‍රතිපත්තිගරුක ලෙස පවත්වාගෙන යෑමටත්, තම යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීමටත් සෙසු ජාතීන් සමග සහජීවනයෙන් කටයුතු කිරීමටත්, එවිට ඔබට හැකිවනු ඇත.
.

බටහිර වෙරළ තීරය අස්වාභාවික ලෙස ඛාදනය වෙයි

Feb 16,2011
වසර 35 කට පසුව ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරය අස්වාභාවික ලෙස ඛාදනය වන බව වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි. වැල්ලවත්ත, බම්බලපිටිය, රත්මලාන, වෙඩිකන්න ප්‍රදේශවල මේ තත්ත්වය දක්නට ලැබන බව වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජනරාල් අනිල් ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළේය.
සාමාන්‍යයෙන් මෝසම් නොමැති වලාල කාලයේ වෙරළ ඛාදනයක් සිදු නොවන බැවින් මේ තත්ත්වය පිළිබඳ පරීක්‍ෂා කිරීම ආරම්භ කර ඇති බවත් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීය. වත්තල, පල්ලියවත්ත, පී‍්‍රතිපුර, උස්වැටකෙයියාව සහ මීගමුව පෝරුතොට වෙරළ විශාල ලෙස ඛාදනය වන බව පෙරේදා (14) සිදුකළ ක්ෂේත්‍ර පරීක්‍ෂණවලින් හෙළිවූ බව ද හෙතෙම පැවසීය.
මීට හේතු වන්නට ඇත්තේ මුහුදු මට්ටමේ ඉහළ යෑමක් ද, දේශගුණික විපර්යාසයක් ද, ලානිනා තත්ත්වය ද, එසේත් නැත්නම් වෙනත් හේතුවක් ද යන්න ස්ථිර වශයෙන් ප්‍රකාශ කිරීමට නොහැකි බව පැවසූ අධ්‍යක්‍ෂවරයා, ඒ පිළිබඳ සොයා බැලීමට අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇති බවත් ප්‍රකාශ කළේය. මේ ප්‍රදේශවල වෙරළ ඛාදනය අවම කිරීමට තාවකාලිකව වැලි ගෝනි යෙදීම සිදුකරන බවත්, මේ තත්ත්වය පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව වෙරළ ආරක්‍ෂණයට අවශ්‍ය පියවර වහාම ගන්නා බවත් හෙතෙම කීය.

No comments:

Post a Comment