Pages

Saturday, February 26, 2011

Sri Lanka Hot News Last update 26/02/2011


ජූලියන් අසාන්ජ් ස්වීඩනයට පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍යය තීන්දු කරයි

Feb 26,2011
මහත් ආන්දෝලනයට ලක් වී සිටින ‘විකිලීක්ස්’ වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ් ස්වීඩනයට පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් තීන්දු කර තිබේ. මීට එරෙහිව දිගු කාලීන නීතිමය සටනකට එළඹෙන බවට අසාන්ජ් සපථකර ඇත. ලිංගික අපචාර සම්බන්ධයෙන් අසන්ජ්ට එරෙහිව නඩු පැවරීමට නියමිතය. එහිදී අසාන්ජ්ට අසාධාරණ නඩු විභාගයකට මුහුණදීමට සිදුවනු ඇති හෙයින්, එය මානව හිමිකම් කඩකිරීමක් වනු ඇතැයි අසාන්ජ් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අවධාරණය කරයි.
මෙම තීන්දුවට එරෙහිව දින 7 ක් ඇතුළත අසාන්ජ්ට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉඩකඩ ඇත. එසේ නැතහොත් අභියාචනා කාලසීමාව නිමවීමෙන් අනතුරුව දින 10 ක් ඇතුළත ඔහු ස්වීඩනයට පිටමං කරනු ඇත. ඇමෙරිකන් යුද සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රහස්‍ය ලිපිලේඛන දහස් ගණනින් හෙළිදරව් කිරීමෙන් අසාන්ජ් සමස්ත ලෝකයම සසල කිරීමට සමත් විය. අසාන්ජ් පිළිබඳ තීන්දුවක් ගැනීම හුදෙක්ම බ්‍රිතාන්‍යයට සහ ස්වීඩනයට බාර බව ඇමෙරිකාව පවසා ඇත.

චීනයේ තිරිඟු වගා විනාශවීමෙන් ලොව පුරාම ආහාර මිල ඉහළට
Feb 26,2011
චීනයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් තිරිගු වගා විනාශවී ලොව පුරාම ආහාර මිළ තවත් වැඩි විය හැකි බව ආර්ථික විද්‍යාඥයෝ පවසති. ලෝකයේ ප්‍රධානතම තිරිගු නිෂ්පාදකයා මෙන්ම පාරිභෝගිකයාද චීනයයි. ලබන මාසයේදී වැසි නොලැබුණහොත් ඉදිරි අස්වැන්න නොලැබී යනු ඇති බව ගොවීහු පවසති. චීනයේ ආහාර අර්බූදයක් ඇතිවී, පිටරටවලින් ආහාර මිලදී ගැනීමට චීනය පෙළඹුනහොත් ආහාරවල මිල ගණන් ගෝලීය මට්ටමින් විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි විශ්වාස කෙරේ. නියං ආධාර වශයෙන් චීන රජය යුවාන් බිලියන 13 ක් වෙන්කර තිබේ. මේ අතර, යුවාන් බිලියන 10 ක ණය මුදලක් ගොවීන්ට සැපයීමට චීන මහ බැංකුව ඉදිරිපත්වී සිටී.
වැස්ස නොලැබුණොත් පසුගිය වසර හා සසදන විට ලැබෙන අස්වැන්න අඩකින් පමණ අඩුවනු ඇතැයි සඳහන්ය. ෂැන්ඩාං ප්‍රාන්තය වැනි ප්‍රාන්තවලට පසුගිය සැප්තැම්බරයේ සිට සැලකිය යුතු වර්ෂාවක් ලැබී නැතැයි කාලගුණ දෙපාර්තමේන්තු බලධාරීහු පවසති. චීනයේ ගොවීන් සාමාන්‍යයෙන් වසරකට ගොවිතැනින් උපයන ආදායම යුවාන් 1,000 පමණ වේ. එමෙන්ම. ජනතාව යැපෙන්නේද එම අස්වැන්න මතයි. දගින් දිගට පවතින නියඟය තිරි ගු වගාවට පමණක් නොව සෙසු බෝග වගාවන්ට ද බලපානු ඇත. මින් ඉදිරියට මෙවැනි අර්බූදකාරී තත්ත්වයක් ඉස්මතුවීම වැලකීම සඳහා, චීනය විසින් මේ සම්බන්ධයෙන් දිගු කාලීන ක්‍රියාමාර්ග ගත යුතු බව විශේෂඥයන්ගේ මතයයි.

අට හැවිරිදි සිසුවියට හදි කළැයි ‘ආගම උගන්වන’ සර් අත්අඩංගුවට
Feb 26,2011
නුවරඑළිය ඩයගම ප්‍රදේශයේ විදුහලක අට හැවිරිදි දැරියක අතවරයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි ගුරුවරයකු ඊයේ (25) අත්අඩංගුවට ගැනිණි. කොළඹ පොලිස් මූලස්ථානයේ ළමා කාන්තා කාර්යාංශයට ලද තොරතුරක් මත නුවරඑළිය පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගත්තේය.
ඔහු අදාළ විදුහලේ ආගම විෂය උගන්වන ගුරුවරයකු බවත්, ඔහු මාස කිහිපයක් තිස්සේ දැරිය අතවරයට ලක් කැර ඇති බවත් පොලිසිය අනාවරණය කැරගෙන ඇත. මේ සම්බන්ධයෙන් එහි විදුහල්පතිවරයාගෙන් ද පොලිසිය ඊයේ (25) ප්‍රශ්න කොට ඇත. නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණී මතුරට මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂක වජිර මල්වඩම්ගේ, කාන්තා උප පොලිස් පරීක්‍ෂිකා සාගරිකා, කාන්තා පොලිස් කොස්තාපල් දිසානායක (8501) යන මහත්ම මහත්මීහු පරීක්‍ෂණ පවත්වති.

No comments:

Post a Comment