Pages

Thursday, February 10, 2011

Hot News

අපේම ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ ක්‍රීඩා කිරීමට ලැබීම ලොකු හයියක්

-කුමාර් සංගක්කාර
Feb 10,2011
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වීමට නියමිත ලෝක කුසලාන තරග බොහොමයක් ලාංකීය ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ මව්බිමේදීම ක්‍රීඩා කිරීමට ලැබීම ගැන තම කණ්ඩායම ඉතාමත් ප්‍රබෝධවත්ව සිටින බව නායක කුමාර් සංගක්කාර ඊයේ පැවසීය.
”තරගාවලිය ආරම්භයේදීම හොඳින් ක්‍රීඩා කිරීම අපට ඉතා වැදගත්. තරගයෙන් තරගයට අපි අපේ ශක්තිය ගොඩනඟා ගත යුතුයි. එය පීඩනය ලිහිල් කර ගෙන විවේකයක් ගැනීමට කණ්ඩායමට උපකාර වෙනවා. අවසාන ඉලක්කය අප්‍රේල් 2 වැනිදා අවසාන තරගයට මුම්බායි හි සිටීමයි” කොළඹ හිල්ටන් හෝටලයේ ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී සංගක්කාර කීවේය.
”ලෝක කුසලාන තරග පැවැත්වෙන නව ක්‍රීඩාංගණ දෙකක් වන පල්ලෙකැලේ හා හම්බන්තොට එතරම් වේලාවක් ගතකරන්න අපට අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් තරග බිමට පිවිසෙන්න ක්‍රීඩකයන් ඉතාමත් උනන්දුවෙන් බලා සිටිනවා” යැයි ද ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා කියා සිටියේය.
නිරතුරුවම ඇදහැළුණු වර්ෂාව නිසා, එම ක්‍රීඩාංගණවල පුුහුණුවීමේ කණ්ඩායමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.
”පල්ලේකැලේ හා හම්බන්තොට ක්‍රීඩා පිටිවල විදුලි ආලෝක මධ්‍යයේ ගොඩක් පුහුණුවෙන්න අපට ලැබුණා නම් අප බොහොම කැමතියි. නමුත් වර්ෂාව ඊට හරස් වුණා.”
තරගාවලිය පැවැත්වෙද්දී අනෙක් කණ්ඩායම් මෙන්ම තම කණ්ඩායම ද එම තණතිලි අධ්‍යයනය කරන බව කී සංගක්කාර වැදගත් ම දෙය වනුයේ කණ්ඩායමේ දස්කම් ඒ අයුරින් දිගටම රඳවා තබාගැනීම බව ප්‍රකාශ කළේය.
ප්‍රධාන වෙනස්කම් කණ්ඩායමේ සිදු නොකෙරෙනු බවත්, පිතිකරු පෙළ පෙර පරිදිම නොවෙනස්ව තිබෙනු ඇති බවත් ඔහු කීවේය.
”පන්දු යැවීමේදී නම් අපි වෙනස්කමක් දෙකක් කරන්න ඉඩ තියෙනවා” යැයි ද සංගක්කාර වැඩිදුරටත් කියා සිටියේය.
35,000 දෙනෙකුට අසුන් ගත හැකි හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව ලබන 20 වැනිදා කැනඩාව සමඟ සිය ප්‍රථම 2011 ලෝක කුසලාන තරගයට සහභාගි වීමට නියමිතය.
මෙහිදී අදහස් දැක්වූ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් පැවසුවේ ලෝක කුසලාන තරගමාලාවේදී විශේෂයෙන් සිය පිතිහරඹ රටාවේ වෙනසක් සිදු නොවනු ඇති බවය.
”මටම ආවේනික වූ රටාව අනුව මම පිත්ත හසුරුවනවා. ලෝක කුසලාන තරගමාලාව කියා එහි වෙනසක් සිදුවන්නේ නැහැ. අතිරේක පීඩනයක් හිතට නොගෙන මගේ සුපුරුදු විලාසයෙන් පන්දුවට පහර දීලා රට වෙනුවෙන් උපරිම සේවයක් ඉටුකිරීම තමයි මගේ බලාපොරොත්තුව වන්නේ. පළමු ඕවර 10 දී මට වැඩිපුර පිත්ත හැසිරවීමට අවස්ථාවක් ලැබුණොත් විශාල ලකුණු ප්‍රමාණයකට ශ්‍රී ලංකා පිල රැගෙන යාම මගේ අරමුණයි” ඩිල්ෂාන් පැවැසීය.
පළමුවරට ලෝක කුසලාන තරගමාලාවකට සහභාගි වීමට ලැබීම තම සිහිනයක් සැබෑවීමක් බව පැවැසූ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායම වෙනුවෙන් උපරිම දස්කම් දැක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව සඳහන් කළේය.
ලෝක කුසලාන තරගමාලාවට පෙර ලකුණු අතරට පැමිණීමට හැකිවීම පිළිබඳ සතුටට පත්වන බව ආරම්භක පිතිකරු උපුල් තරංග ප්‍රකාශ කළේය.
.

දැයට කිරුළ නරඹන්න ලක්‍ෂ 20ක ජන ගඟක්

බුත්තල දැයට කිරුළ ප්‍රදර්ශනය නැරඹීමට ඊයේ (9) දහවල් වන විට ලක්ෂ 20 කට අධික ජනකායක් පැමිණි බව වාර්තා වෙයි.
ප්‍රදර්ශනයේ 6 වැනි දිනය වන ඊයේ (09) ප්‍රදර්ශනය නරඹන පිරිස වැඩිවීම නිසා අමතර දොරටු 300 ක් විවෘත කළ බව දැයට කිරුළ ජාතික මෙහෙයුම් කමිටුවේ ලේකම් උදය රංජිත් සෙනෙවිරත්න මහතා පවසයි. පසුගිය 4 වැනිදා දැයට කිරුළ ප්‍රදර්ශනය ආරමිභ වීමෙන් පසු වැඩිම පිරිසක් පැමිණියේ පෙරේදා (08) සහ ඊයේ (09) දිනවලය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තුන් වතාවක් ප්‍රදර්ශන භූමියට පැමිණීම තවත් සුවිශේෂී සිද්ධියකි.
ප්‍රදර්ශනයට පැමිණි ජනාධිපතිවරයා එය නැරඹීමට පැමිණි පිරිස් සමඟ සුහද කතාබහක යෙදීමට ද අමතක නොකළේ ය.
කෘෂිකර්ම, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රදර්ශන මධ්‍යස්ථාන සහ ජනමාධ්‍ය කලාපය නැරඹීමට විශාල පිරිසක් එක් වූ බවද වාර්තාවේ.
ප්‍රදර්ශනයේ අවසන් දිනය අද (10) යි
අගමැති දි. මු. ජයරත්න, කථානායක චමල් රාජපක්‍ෂ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයෝ ලෙස සහභාගී වෙති.

ගැඹුරු මුහුදේ තෙල් කණින්න දැවැන්ත නාවික යාත්‍රාවක්

කොළඹ නැව් තටාකාංගණයේ හපන්කමක්
Feb 10,2011
 
කොළඹ නැව් තටාකාංගණය නිපදවූ නවතම නෞකාවට ‘ග්‍රේට් ෂිප් රෝහිණී’ ලෙස නම් තැබීමේ උළෙල ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නැව් තටාකාංගණයේ දී පැවැත්විණි. එහිදී ඇමැතිවරයා නැව් තටාකාංගණයේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ මංගල පී. බී. යාපා මහතාගෙන් යමක් විමසන අයුරු .
ගැඹුරු මුහුදේ තෙල් සහ ගෑස් කැණීම් කටයුතු කිරීමට හැකි දැවැන්ත නාවික යාත්‍රාවක් නිෂ්පාදනය කිරීමට කොළඹ නැව් තටාකාංගණය සමත් වී තිබේ.
ආසියානු නාවික කර්මාන්තයේ තවත් සාර්ථක පියවරක් ඉදිරියට තබමින් අති නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් බහුකාර්ය නෞකාවක් ලෙස මෙය නිෂ්පාදනය කර ඇත.
කිලෝමීටර් 3 ක් ගැඹුරු මුහුදේ තෙල් ළිං පරීක්‍ෂා කිරීමටත්, වැල්ඩින් කටයුතු හා තෙල් නළ පරීක්‍ෂා කිරීමටත් මෙමඟින් හැකියාව ඇති අතර, ඒ සඳහා අති නවීන රොබෝ යන්ත්‍ර ද උපයෝගී කර ගනී. නොසෙල්වී වැඩ කළ හැකි බහුකාර්ය නෞකාවක් වීම ද මෙහි තවත් විශේෂත්වයකි.
මේ නෞකාව නිෂ්පාදනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 26 කට ආසන්න මුදලක් වැය වී ඇති අතර, මෙය කොළඹ නැව් තටාකාංගණය නිෂ්පාදනය කළ දැවැන්ත තෙවැනි නෞකාව ද මෙය වේ.
 
“ග්‍රේට් ෂිප් රෝහිණී” නෞකාව.
ඡායාරූප - සුමනචන්ද්‍ර ආරියවංශ
ග්‍රේට් ෂිප් ඉන්දියානු සමාගමේ හිමිකාරීත්වයෙන් යුත් මේ නෞකාවට “ග්‍රේට් ෂිප් රෝහිණී” නමින් නම් තැබීමේ උත්සවය ඊයේ (09) පෙරවරුවේ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නැව් තටාකාංගණයේ දී සිදුවිණි.
එමෙන්ම මෙය කොළඹ නැව් තටාකාංගණය නිපදවූ 217 වැනි නාවික යාත්‍රාව වන අතර, ආසියාවේ නිෂ්පාදනය කර ප්‍රථම වතාවට බ්‍රසීලයේ තෙල් කැණීම් සඳහා ලබා දෙන බහුකාර්ය නෞකාව ද වේ.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක, ඉන්දියානු මහකොමසාරිස් අශෝක් කාන්ත්, කොළඹ නැව් තටාකාංගණයේ සභාපති ඒ. නකැචි, කළමනාකාර අධ්‍යක්‍ෂ මංගල යාපා, වෛද්‍ය චන්ද්‍රිකා යාපා, ග්‍රේට් ෂිප් ඉන්දියා ආයතනයේ සභාපති භාරත් ෂේත්, කළමනාකාර අධ්‍යක්‍ෂ රවී ෂේත් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
.

No comments:

Post a Comment