Pages

Sunday, February 27, 2011

Sri Lanka Hot News Last update 27/02/2011

  5:30pm

සොහොනට බලු කුණු දැම්මාට දකුණු ඉන්දීය විරෝධය
සොහොනට බලු කුණු දැම්මාට දකුණු ඉන්දීය විරෝධය
එල්.ටී.ටී.ඊ නායක වී.ප්‍රභාකරන්ගේ මව වූ පාර්වතී අම්මාල් මිය ගේ සොහොනට බලු මළකුණු ගෙන විත් දැමීමට විරෝධය පාමින් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අසල සාමකාමී විරෝධතාවයක් පැවැත්වීමට දකුණු ඉන්දීය ද්‍රවිඩ නායකයින් තීරණය කර තිබේ.

චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වසා දමන ලෙස ඉන්දීය ආණ්ඩුවට බලකරමින් එම්.ඩී.එම්.කේ මහ ලේකම් වයිකෝ ගේ සහභාගිත්වයෙන් මෙම විරෝධතාවය පවත්වන්නට නියමිත බව ඉන්දීය මාධ්‍ය උපුටා දක්වයි.

ඒ අනුව හෙට(28)චෙන්නායි,මයිලපූර්හි තාගේෂ්වර උද්‍යානයෙන් සාමකාමී විරෝධතා පා ගමනක් ආරම්භ කෙරෙන බවත්,එහි නායකත්වය ගනු ලබන්නේ පී.නැදුමාරන් බවත්නක්කීරන් වෙබ් අඩවිය සඳහන් කරයි.

පාර්වතී අම්මාල් මිය ගේ අදාහන කටයුතු සිදු කළ දින රාත්‍රීයේ කිසියම් වූ සන්නද්ධ පිරිසක් විසින් වෙඩි තබා මරා දමන ලද බල්ලන් තිදෙනෙකුගේ මළ කුණු සොහොනට ගෙනවිත් දමා තිබු බව මාධ්‍ය මගින් අනාවරණය කෙරිණි.

මෙම සිදුවීම ම්ලේච්ඡ ක්‍රියාවක් බවත්,මෘත දේහය දහනය කළ සොහොන මැදින් වාහනයක් එහා මෙහා පදවාගෙන ගොස් තිබීම නිසා මිනී අළු විසිරී තිබුණු හෙයින් ඇගේ මරණය වෙනුවෙන් නිසි පරිදි චාරිත්‍රානුකූලව අවසන් කටයුතු සිදුකරන්නට අවස්ථාව නොලැබුණු බවත්ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ ශිවාජිලිංගම් මහතා මීට පෙරාතුව ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් මෙම නින්දිත ක්‍රියා මාර්ගයට එරෙහිව දකුණු ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉවත් කරගත යුතු බවට බල කරමින් හෙට දිනයේ විරෝධතා පා ගමන සඳහා සියලු කටයුතු සූදානම් බවත්,ඉන්දියාවේ වෙසෙන සියලු ද්‍රවිඩ ජනයා ඊට සහභාගි වෙනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවත් සංවිධායකයින් සඳහන් කර තිබේ. 

බාධක නොතැකූ රියදුරා දුම්රිය ඇංජිමේ ගැටී එතැනම මියයයි
බාධක නොතැකූ රියදුරා දුම්රිය ඇංජිමේ ගැටී එතැනම මියයයි
Feb 27,2011
 කොළඹ-හලාවත දුම්රිය මාර්ගයේ කඳාන වැලිගම්පිටිය ප්‍රදේශයේදී දුම්රිය ඇංජිමක හැපී අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

අද සවස 4.00 ට පමණ ගණේමුල්ල ප්‍රධාන මාර්ගයෙන් පැමිණි අත් ට්‍රැක්ටරයක් දුම්රිය මාර්ගය වසා තිබියදී මුරකපොල්ල නොතකා ඉඩකඩ තිබූ තැනකින් අත් ට්‍රැක්ටරය ඇතුළු කරවූ බවත්,එහිදී ඒ වන විට දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් පැවති දුම්රිය ඇංජිමක ගැටුණු බවත් අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

අත් ට්‍රැක්ටරය පැදවූ තැනැත්තා ඒ මොහොතේම එතැනදීම මිය ගිය බව සඳහන් වේ.

ඊයේ රාත්‍රීයේද මෙම ස්ථානයේ දී තවත් අයෙකු දුම්රියේ ගැටී මරුමුවට පත් වූ අතර මීට සති දෙකකට ඉහතදී තවත් කාන්තාවක්ද මෙම ස්ථානයේදීම අනතුරට ලක්වී මිය ගොස් ඇත.
මාර්තු 1 ට පෙර කටවුට් නොකවුට්ලු..?
Feb 27,2011
පළාත් පාලන මැතිවරණයට අදාළව ප්‍රදර්ශනය කර ඇති පෝස්ටර් , කටවුට් සහ බැනර් සියල්ල මාර්තු මස 1 වැනි දිනට පෙර ඉවත් කළ යුතු බව පොලිස් මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

දිවයිනේ ප්‍රදේශ රැසක පළාත් පාලන මැතිවරණයට අදාළව පෝස්ටර් , කටවුට් සහ බැනර් විශාල වශයෙන් ප්‍රදර්ශනය කර ඇති බව පොලිස් මැතිවරණ මහලේකම් කාර්යාලය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා ප්‍රකාශ කළේය.

මෙය මැතිවරණ නීතීය උල්ලංඝණය කිරීමක් වන බැවින් එම සියලු දෑ ඉවත් කිරීමට මේ වන විටත් උපදෙස් ලබා දී ඇති බව ගාමිණි නවරත්න මහතා පවසයි.

මාර්තු මස 1 වැනි දිනට පෙර එවැනි සියලු පෝස්ටර් , කටවුට් සහ බැනර් ඉවත් කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

එසේ නොකළහොත් එම සියලු දෑ ඉවත් කිරීමට පොලිසිය කටයුතු කරන බව ද ගාමිණි නවරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 
දැව ජාවාරම ජයට ගෙන ගිය පොලිස් සැරයන් මාට්ටු
දැව ජාවාරම ජයට ගෙන ගිය පොලිස් සැරයන් මාට්ටු
Feb 27,2011
පොලිස් සැරයන්‍වරයෙකුගේ මූලිකත්වයෙන් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය දැව ජවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට අනුරාධපුර අඩවි වන කාර්යාලයේ නිලධාරීන් සමත් වී තිබේ.

රුපියල් ලක්ෂ 2 ට අධික තේක්ක දැව තොගයක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටිය දී මෙම පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේ ලොරි රථයේ සිටි අනුරාධපුර නගරයේ ලී වෙළදසැලක සේවකයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පොලිස් සැරයන්වරයා ව්‍යාජ බලපත්‍ර යොදා ගනිමින් කාලයක සිට මෙලෙස දැව ජාවාරමේ නිරත වී ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් පොලිස් සැයන්වරයා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර උඩමළුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර ඇති බව සඳහන්වේ.. 

ජූලියන් අසාන්ජ් ස්වීඩනයට පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍යය තීන්දු කරයි

Feb 26,2011
මහත් ආන්දෝලනයට ලක් වී සිටින ‘විකිලීක්ස්’ වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ් ස්වීඩනයට පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් තීන්දු කර තිබේ. මීට එරෙහිව දිගු කාලීන නීතිමය සටනකට එළඹෙන බවට අසාන්ජ් සපථකර ඇත. ලිංගික අපචාර සම්බන්ධයෙන් අසන්ජ්ට එරෙහිව නඩු පැවරීමට නියමිතය. එහිදී අසාන්ජ්ට අසාධාරණ නඩු විභාගයකට මුහුණදීමට සිදුවනු ඇති හෙයින්, එය මානව හිමිකම් කඩකිරීමක් වනු ඇතැයි අසාන්ජ් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අවධාරණය කරයි.
මෙම තීන්දුවට එරෙහිව දින 7 ක් ඇතුළත අසාන්ජ්ට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉඩකඩ ඇත. එසේ නැතහොත් අභියාචනා කාලසීමාව නිමවීමෙන් අනතුරුව දින 10 ක් ඇතුළත ඔහු ස්වීඩනයට පිටමං කරනු ඇත. ඇමෙරිකන් යුද සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රහස්‍ය ලිපිලේඛන දහස් ගණනින් හෙළිදරව් කිරීමෙන් අසාන්ජ් සමස්ත ලෝකයම සසල කිරීමට සමත් විය. අසාන්ජ් පිළිබඳ තීන්දුවක් ගැනීම හුදෙක්ම බ්‍රිතාන්‍යයට සහ ස්වීඩනයට බාර බව ඇමෙරිකාව පවසා ඇත.

චීනයේ තිරිඟු වගා විනාශවීමෙන් ලොව පුරාම ආහාර මිල ඉහළට
Feb 26,2011
චීනයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් තිරිගු වගා විනාශවී ලොව පුරාම ආහාර මිළ තවත් වැඩි විය හැකි බව ආර්ථික විද්‍යාඥයෝ පවසති. ලෝකයේ ප්‍රධානතම තිරිගු නිෂ්පාදකයා මෙන්ම පාරිභෝගිකයාද චීනයයි. ලබන මාසයේදී වැසි නොලැබුණහොත් ඉදිරි අස්වැන්න නොලැබී යනු ඇති බව ගොවීහු පවසති. චීනයේ ආහාර අර්බූදයක් ඇතිවී, පිටරටවලින් ආහාර මිලදී ගැනීමට චීනය පෙළඹුනහොත් ආහාරවල මිල ගණන් ගෝලීය මට්ටමින් විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි විශ්වාස කෙරේ. නියං ආධාර වශයෙන් චීන රජය යුවාන් බිලියන 13 ක් වෙන්කර තිබේ. මේ අතර, යුවාන් බිලියන 10 ක ණය මුදලක් ගොවීන්ට සැපයීමට චීන මහ බැංකුව ඉදිරිපත්වී සිටී.
වැස්ස නොලැබුණොත් පසුගිය වසර හා සසදන විට ලැබෙන අස්වැන්න අඩකින් පමණ අඩුවනු ඇතැයි සඳහන්ය. ෂැන්ඩාං ප්‍රාන්තය වැනි ප්‍රාන්තවලට පසුගිය සැප්තැම්බරයේ සිට සැලකිය යුතු වර්ෂාවක් ලැබී නැතැයි කාලගුණ දෙපාර්තමේන්තු බලධාරීහු පවසති. චීනයේ ගොවීන් සාමාන්‍යයෙන් වසරකට ගොවිතැනින් උපයන ආදායම යුවාන් 1,000 පමණ වේ. එමෙන්ම. ජනතාව යැපෙන්නේද එම අස්වැන්න මතයි. දගින් දිගට පවතින නියඟය තිරි ගු වගාවට පමණක් නොව සෙසු බෝග වගාවන්ට ද බලපානු ඇත. මින් ඉදිරියට මෙවැනි අර්බූදකාරී තත්ත්වයක් ඉස්මතුවීම වැලකීම සඳහා, චීනය විසින් මේ සම්බන්ධයෙන් දිගු කාලීන ක්‍රියාමාර්ග ගත යුතු බව විශේෂඥයන්ගේ මතයයි.

No comments:

Post a Comment