Pages

Friday, February 25, 2011

Sri Lanka Hot News Last update 25/02/2011

  

ඕස්ට්‍රේලියාවට පහසු ජයක්
ඕස්ට්‍රේලියාවට පහසු ජයක්
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර අද(25) පැවති තරගයෙන් නවසීලන්තය පරදා කඩුලු 07 ක ජයක් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.

ඉන්දියාවේ නාග්පූර්හි දී පැවති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 206 ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 03 ක් පමණක් දැවී ලකුණු 207 ක් රැස්කරමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමත්විය. 
සෑම භාණ්ඩයක්ම පිටරටින් ගෙනවිත් ආර්ථිකය විනාශ කරන්න බෑ
සෑම භාණ්ඩයක්ම පිටරටින් ගෙනවිත් ආර්ථිකය විනාශ කරන්න බෑ
මෙරටට අවශ්‍ය සෑම භාණ්ඩයක්ම පිටරටින් ගෙනවිත් මෙරට ආර්ථිකය විනාශ කළ නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අතීතයේ පැවති ඇතැම් රජයන් ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කිරීම හේතුවෙන් මෙරට ආර්ථිකයට විශාල බලපෑමක් ඉන් සිදුවු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

අද(25) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

දේශීය නිෂ්පාදකයා ‍පිළිබඳ දැඩි විශ්වාසයක් තබා කටයුතු කිරීම තුළින් ආර්ථික ජයග්‍රහණය ලබාගත හැකි බව ජනාධිපතිවරයා කියා සිටියි.

මෙරට නිෂ්පාදකයා දේශීය වෙළෙඳපළට පමණක් නොව ජාත්‍යන්තර වෙළෙඳපළ ජයගත හැකි ආකාරයේ පුද්ගලයෙකු බවට පත් කළ යුතු බව මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා පැවසුවේය.

ජීවිත හා ළමා කාලය හැර අහිමි වූ සියලු දේ ලබාදීමට සූදානම්

ජීවිත හා ළමා කාලය හැර අහිමි වූ සියලු දේ ලබාදීමට සූදානම්

Feb 25,2011

උතුරේ ජනතාවට අහිමි වූ ජීවිත සහ ඔවුන්ගේ වටිනා ළමා කාලය හැර ඔවුන්ට අහිමි වූ අනෙකුත් සෑමදෙයක්ම ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇති බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකරන බව ද ඔහු පෙන්වාදෙයි.

එමෙන්ම අතීතය පවතිනුයේ පසුතැවීමට නොව වර්තමානය හා අනාගතය වෙනුවෙන් පාඩම් ඉගෙනීම බව වත්මන් රජයේ විශ්වාසය බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

යාපනය කාර්මික විද්‍යාලය, උසස් තාක්ෂණ ආයතනයක් බවට පත්කිරීම වෙනුවෙන් පැවති අද(25) උත්සව අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම කරුණු ප්‍රකාශ කළේය.

අද දිනය දෙවැනි වන්නේ 1974 වසරේ ඔක්තොම්බර් මස 06 වන දිනට පමණක් බවත්, එදින එවකට අග්‍රාමාත්‍යවරිය විසින් යාපනය විශ්ව විද්‍යාලය විවෘත කළ බවත් හෙතෙම පෙන්වාදුන්නේය.

අඳුරු යුද්ධය පැවති කාලය තුළ පවා උතුරේ ජනතාව අවධානය යොමුකරණු ලැබුවේ සිය දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව බව ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

යුද ගැටුම් පැවති වසර 30 ක කාලය තුළ උතුරේ දරුවන් වෙත ළඟා නොවූ තාක්ෂණය, ප්‍රාග්ධනය හා තාක්ෂණය එම දරුවන්ට ලබාදීමට වත්මන් රජය කටයුතු කරන බවද උත්සව අවස්ථාවට එක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙහිදී කොරියානු ආධාර මත රුපියල් මිලියන 133 ක වියදමින් ඉදිකෙරුණු උසස් තාක්ෂණික ආයතනයේ නව ගොඩනැගිල්ලක් ද විවෘත කරනු ලැබූ අතර එම අවස්ථාව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති චවී කී ෂුල් මහතා ද එක්විය. 

තැපැල් ඡන්ද පත්‍රිකා අද දෙපාර්තමේන්තුව වෙත බාරදෙයි

තැපැල් ඡන්ද පත්‍රිකා අද දෙපාර්තමේන්තුව වෙත බාරදෙයි

Feb 25,2011

ලබන මාර්තු මස 17 වැනිදා පැවැත්වීමට නියමිත තැපැල් ඡන්ද පත්‍රිකා අද(25) දිනයේ තැපැල් දෙපාර්තමේන්තුව වෙත බාරකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

රක්ෂණ තැපෑල යටතේ ඡන්ද පත්‍රිකා ඒ ඒ ආයතන වෙත යොමු කිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා ලබන මස 8 සහ 9 යන දෙදින නම් කර තිබේ.

ඒ අනුව අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයට සහ පැෆ්රල් සංවිධානයට අවසර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

ඊට අමතරව ඒ ඒ දේශපාලන පක්ෂවල එක් නියෝජිතයෙකු සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබාදී තිබේ.
 

ඕස්ට්‍රේලියා-නවසීලන්ත ගැටුම අදයි

Feb 25,2011
ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර තරගය අද (25) ඉන්දියාවේ නාග්පූර් හි විදර්බා ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. සිය අසල්වාසී ප්‍රතිවාදියා වන ඕස්ට්‍රේලියාව සමඟ තරගයට අද නවසීලන්තයට මුහුණදීමට සිදුවී ඇත්තේ එතරම් සතුටුදායක මානසික තත්ත්වයකින් නොවේ. පසුගියදා නවසීලන්තයේ සිදුවූ දරුණු භූ®මිකම්පාව හේතුවෙන් ඔවුහු දැඩි සංවේගයට පත්වී සිටින අතර කණ්ඩායමේ භෞත චිකිත්සවේදී ඩේල් ෂැක්ල් හා පුහුණු උපදේශක බ්‍රයන් ස්ට්‍රෝහෑම් පෙරළා ක්‍රයිස්ට්චර්ච් නුවර බලා පිටත් වී සිටිති. ඒ විපතට පත් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හා එක්වීම සඳහාය.
මේ අනුව නවසීලන්ත කඳවුරේ වැදගත්ම සාමාජිකයන් දෙදෙනකුගේ සහයකින් තොරව අද තරගය සඳහා සුදානම් වීමට ඔවුනට සිදුවී ඇත. නමුත් කෙන්යාව සමඟ චෙන්නායි හි පැවැති තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් හිමිකර ගත් නවසීලන්තයේ පිතිහරඹ අංශය හා පන්දු යැවීමේ අංශය ප්‍රබල තත්වයක පසුවන බැවින් අද තරගයේ දී ඕස්ට්‍රේලියාවට දැඩි පීඩනයක් එල්ල කිරීමට නවසීලන්තය සමත්වනු ඇත. ලෝක සූරයන් ලෙස මෙවර තරගමාලාවට සහභාගි වන ඕස්ට්‍රේලියාව අහමදාබාද් හි පැවැති ඔවුනගේ මුල්ම තරගයෙන් සිම්බාබ්වේ පරදවා ලකුණු 91ක ජයක් අත්කර ගත්තේය.
තරගයෙන් ජය ලැබූවත් පිතිහරඹ අංශය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව නායක රිකී පොන්ටින් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කෙළේය. ඒ අනුව අද තරගයේ දී ඕස්ට්‍රේලියාවට නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ සිය පිතිහරඹ වර්ධනයේ තත්වය උරගා බැලීමට සිදුවනු නිසැකය. ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ දෙපිල අතර තරග 7ක් පවත්වා ඇති අතර ඉන් තරග 5ක ජය හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටියි. නවසීලන්තය තරග 2ක ජය හිමිකර ගත්තේය.

රූපවාහිනියකට පහර දුන් පොන්ටින්ට දැඩි අවවාද

Feb 25,2011

සිම්බාබ්වේ පිල සමඟ පැවැති තරගයේ ඕස්ට්‍රේලියානු ඉනිමේදී දුවද්දී දැවීයාමට හසුවීමෙන් කෝපයට පත් ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් ක්‍රීඩක විවේකාගාරයේ තිබූ රූපවාහිනියකට පහරදීමේ සිදුවීමෙන් තරග තහනමකට හා දඩ මුදලකට යටත් නොවී ගැලවීමට පොන්ටින්ට හැකි විය.

අයි. සී. සී. නීති සංග්‍රහයේ 2. 1. 2 වගන්තිය බිඳ දමමින් පොන්ටින් විසින් කරනු ලැබූ මේ පහරදීම සම්බන්ධව ඔහුගේ තරග මුදලින් 50 %ක දඩයක් නියම කිරීමට හැකියාව තිබුණද අයි. සී. සී. ය ඔහුට අවවාද කිරීමෙන් පමණක් සෑහීමකට පත් විය. “එය හිතාමතා කළ දෙයක් නොවන බව කියමින් රිකී වරද පිළිගත්තා. සිද්ධිඩ වූ සැනින් ඔහු සමාවත් ඉල්ලා සිටියා. ඒ වගේම සිදුවූ අලාභය ගෙවීමටත් එකඟ වුණා” ඒ තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළ රොෂාන් මහතා ප්‍රකාශ කළේය.


රටවල් කිහිපයකට අවමානයක් වූ ක්‍රිකට් ගීතය ජනපති නියමයෙන් අත්හිටුවයි

Feb 25,2011
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එළිදැක් වූ ගීතය ප්‍රචාරය කිරීම අත්හිටුවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර ඇත. එම ගීතයේ පද රචනයෙන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන රටවල් කිහිපයකට අවමානයක් සිදුවන හෙයින් මේ තීරණය ගෙන ඇත.
අත්හිට වූ ගීතය වෙනුවට වෙනත් ගීතයක් නිර්මාණය කර ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඩී. එස්. ද සිල්වා මහතා  පැවැසීය.  මේ අතර ක්‍රීඩාංගණවලට සංගීත භාණ්ඩ හා ප්‍රදර්ශන පත්‍රිකා ගෙනයෑම වළකාලමින් පනවා තිබූ නීතිය ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

ලක්ෂ 14ක් වටිනා සඳුන් දැව කිලෝ 714ක් පොලිස් අත්අඩංගුවේ

Feb 25,2011
තලාතුඔය පොලිස් වසමේ බූටාවත්ත අංගිලිය ප්‍රදේශයේ නිවෙසක තිබී සුදු හඳුන් දැව කිලෝ ග්රෑම් 714ක් පොලිසිය පෙරේදා (23) අත්අඩංගුවට ගෙන තිබේ. මේ දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 14ක් පමණ වන බව පොලිසිය පවසයි. සැකකරු කාලයක් තිස්සේ මේ සුදු හඳුන් ජාවාරම සිදුකර තිබෙන බවට පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
සැකකාර ව්‍යාපාරිකයා පුද්ගලයින් කිහිපදෙනෙකු යොදවා සඳුන් දැව එක් රැස්කර හොරණ ප්‍රදේශයට ඒවා අලෙවිකර තිබෙන බව තළාතුඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න ගම්මන්පිල මහතා පවසයි. මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි මොහොට්ටිගෙදර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙයි.
ජනතාව වෙනුවෙන් නීති පද්ධතියට නව ප්‍රතිසංස්කරණ ගෙනඑනවා
Feb 24,2011
දීර්ඝ කාලයක් අධිකරණවල නඩු විභාග වීමෙන් ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා මෙරට නීති පද්ධතියට නව ප්‍රතිසංස්කරණ ගෙන එන බව අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥ සංගමයේ නව නිල කාමරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා ඊයේ(23) මේ බව ප්‍රකාශ කළේය.

මේ වන විට මෙරට නීති පද්ධතියට අලුත් ප්‍රතිසංස්කරණ ගෙන එමින් පවතින බව එහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

විභාග කිරීම ප්‍රමාද වී ඇති නඩු කඩිනමින් විභාග කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අමාත්‍ය රවුෆ් හකීම් මහතා එහිදි පෙන්වා දුන්නේය.

ඇතැම් නීතීඥවරුන් වෘත්තිමය තත්ත්වයට නොගැලපෙන අයුරින් කටයුතු කරන බවට පැමිණිලි ලැබී ඇති බව මෙම අවස්ථාවට එක්වු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා සඳහන් කළේය.
වරා‍යේ නැවතූ නැවකින් තෙල් මුදාහැරීම ගැන වාර්තාවක් ඉල්ලයි
Feb 24,2011
කොළඹ වරා‍යේ නවතා තිබු නෞකාවකින් සමුද්‍රයට තෙල් මුදාහැරීමේ සිද්ධියක් පිළිබඳව පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ශ්‍රී ලංකා සමුද්‍ර ආරක්ෂක අධිකාරියට නියෝග කර තිබේ.

එම අධිකාරිය මගින් ඉදිරිපත් කර තිබු වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය කළ අධිකරණය එම කටයුතු වලට සහය වන ලෙස වරාය පොලිසියට ද නියෝග කරනු ලැබීය.

කොළඹ වරාය දකුණු ප්‍රදේශයේ නවතා තිබු එම්.වි. චාට් නැමැති නෞකාව මඟින් තෙල් කාන්දු වී තිබීම නිසා එම ප්‍රදේශයේ සමුද්‍ර ජලය දූෂිත වී ඇති බව අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ල මගින් සඳහන් කර තිබුණි.

එය ශ්‍රී ලංකා සමුද්‍ර ආරක්ෂක පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ. 
කොටි සංවිධානයට යුරෝපා හවුලෙන් යළි තහනමක්
Feb 24,2011
එල්ටීටීඊ සංවිධානය යුරෝපා හවුල මඟින් යළිත් තහනම් කර තිබේ. ඒ අනුව එම සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායම් ලැයිස්තුවට ඇතුළත් කර ඇත. තහනම් ලැයිස්තුවට ඇතුළත් ත්‍රස්තවාදී කණ්ඩායම් පිළිබඳව කරනු ලැබූ පූර්ණ සමාලෝචනයකින් පසුව යුරෝපා හවුල මේ තීරණය ගෙන ඇත.
යුරෝපා කවුන්සල් රෙගුලාසියේ අංක 02 (03) වගන්තියට අනුව ත්‍රස්තවාදී කණ්ඩායම් යුරෝපා හවුලට අයත් රටවල ක්‍රියාත්මක වීම තහනම් කර තිබෙන අතර එම ත්‍රස්තවාදී කණ්ඩායම්වල වත්කම් ද තහනම් කර තිබේ.
මෙසේ කොටි සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායම් ලැයිස්තුවට ඇතුළත් කිරීම ගැන විස්තර විමසා බැලීමේ අවස්ථාව එල්.ටී.ටී.ඊ සංවිධානයට ලබා දී ඇත. යුරෝපා හවුලේ කවුන්සිලයේ රෙගුලාසි වලට අනුව මේ වන විට ත්‍රස්තවාදී කණ්ඩායම් 26ක් යළිත් තහනම් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. මෙසේ තහනම් ලැයිස්තුවට ඇතුළත් කිරීමට පෙර පූර්ණ සමීක්‍ෂණයක් සිදුකළ බවද යුරෝපා හවුල කියයි.
එසේ කිරීමේ දී තහනම් සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද නිරීක්‍ෂණයන් ද සැලකිල්ලට ගත් බවද යුරෝපා සංගමය පවසයි.

No comments:

Post a Comment