Pages

Saturday, February 12, 2011

Hot


දැයට කිරුළේ ආරක්ෂක අංශ සාමාජික ගැටුම ගැන පරීක්ෂණ අරඹයි

Feb 12,2011
බුත්තල දැයට කිරුළ ප‍්‍රදර්ශන භූමියේ ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් අතර ඇති වූ ගැටුම පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

යුද හමුදා පොලිසිය හා බුත්තල පොලිසිය ඒකාබද්ධව මෙම පරීක්ෂණ සිදු කරන බව සඳහන්ය.

දැයට කිරුළ ප‍්‍රදර්ශන භූමියේ යුද හමුදා ප‍්‍රදර්ශන කුටිය අසලදී යුද හමුදා භට පිරිසක් සහ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් විශේෂ බලකා සාමාජිකයින් පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇත.

එහිදී ආරක්ෂක අංශ සාමාජිකයින් 05 දෙනෙකු සහ සාමාන්‍ය වැසියෙකු තුවාල ලැබීය. තුවාල ලැබූවන් බුත්තල රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ.

සිරිපා වන්දනා සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්
සිරිපා වන්දනා සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්

Feb 12,2011

ශී‍්‍ර පාද වන්දනා සමය සහ දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක් කි‍්‍රයාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ලබන 16 වැනිදා සිට 19 වැනිදා දක්වා මෙම විශේෂ දුම්රිය කි‍්‍රයාත්මක කෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල දක්වාත්, බණ්ඩාරවෙල සිට කොළඹ කොටුව දක්වාත් මෙය කි‍්‍රයාත්මක වනු ඇත.

ලබන 16 සහ 18 යන දෙදින තුළ කොළඹ කොටුවෙන් පෙරවරු 8.35 ත්, 17 සහ 19 යන දින වල බණ්ඩාරවෙලින් පෙරවරු 6.40 ත් මෙම විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බව සඳහන්ය.

මෙම විශේෂ දුම්රිය වල දුම්රිය ආරක්ෂක හමුදාව විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කෙරෙන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

වයෝවෘද්ධ කතක් දූෂ්‍යකොට මරා දමලා

Feb 12,2011
කැස්බෑව මගම ඩිපෝවට නුදුරින් හොන්නන්තර ප්‍රදේශයේ නිවසක ජීවත්වූ 72 හැවිරිදි සිරිමාවතී ඒකනායක නමැති අවිවාහක කාන්තාවක් පසුගිය 10 දා රාත්‍රියේ නිදි ඇඳ මතදීම මරා දමා ඇත. ඒ අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ මියගිය අය සමග ඇගේ ඥාති දියණියක් පමණකි.
11 දා නිවසේ පැවැත්වීමට නියමිතව තිබූ දානමය පුණ්‍ය කටයුත්තක් සඳහා ගෙවත්ත පිරිසුදු කිරීමට පැමිණි පුද්ගලයකු සෝදිසි කිරීමේදී මරා දමා තිබූ ගෙහිමි කාන්තාවගේ සිරුර හමුවී ඇත. මෙම කාන්තාව ගෙල මිරිකා දූෂණය කොට මරා දමා ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. නිවසේ කිසිදු සොරකමක් වී නැතැයි පොලිසිය පවසයි. කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්‍ෂා කළ අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පිළියන්දල පොලිසියට නියෝග කළේය.

පැරෂුට් අනතුරින් සෙබළෙක් මිය යයි

Feb 12,2011
පැරෂුට් පුහුණු අභ්‍යාසයක යෙදී සිටි ශ්‍රී ලංකා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල්වරයෙක් ගුවනේදී හදිසි අනතුරකට පත්වීමෙන් මිය ගොස් තිබේ. මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා තිබෙන්නේ කොමාන්ඩෝ බලකායේ ඌව කුඩා ඔය පුුහුණු පාසලේ ලාන්ස් කෝප්‍රල් පී. ඩී. ඒ. හේරත් යන අයයි. ඊයේ (11) පෙරවරු 10.30 ට පමණ එම අනතුර සිදුවී ඇත. එම අවස්ථාවේ පොලවෙන් අඩි 5000ක උඩ ගුවනේ සිට මේ අභ්‍යාසලාභියා පැරෂුට් එකක් ආධාරයෙන් බිමට බැසීම ආරම්භ කර ඇත.
ඒ අවස්ථාවේ අත් වැරදීමක් නිසා පැරෂුටය විවෘත වී නැත. එහි ලණුව ඔහුගේ පයේ පැටලී ඇත. පසුව ඔහු වීරවිල වැවට වැටී මිය ගොස් තිබූ බව යුද හමුදාව පවසයි. යුද හමුදාව ප්‍රකාශ කරන්නේ ඉතිහාසයේ ප්‍රථම වරට මෙවැනි පුහුණුවකදී පුහුණුකරුවකු මිය ගිය අවස්ථාව මෙය බවයි. ලාන්ස් කෝප්‍රල් හේරත් විරුවා සමඟ නිලධාරීන් තිදෙනෙක් සහ සාමාන්‍ය සෙබළුන් හත් දෙනෙක් එම පුහුණුවේ යෙදී සිට ඇත. මොහු අනුරාධපුර රන්ගස්වැව රන්මලේ පදිංචි අයෙකි

පාසල් දරුවන්ට ඉංගී‍්‍රසි කතා කරවන්න අලුත් වැඩපිළිවෙළක්

Feb 12,2011
පාසැල් සිසුන්ට ඉංගී‍්‍රසි කතාබහ හුරු කිරීම සඳහා බ්‍රිතාන්‍ය කවුන්සිලය සමඟ එක් වී විශේෂ වැඩසටහනක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. මේ වැඩසටහන සඳහා බ්‍රිතාන්‍ය කවුන්සිලයෙන් වියදම් කරන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කීවේය. “Spoken English”  නමින් හැඳිනවෙන මේ වැඩසටහන පස්වරු 5.00 සිට 5.30 දක්වා රූපවාහිනියෙන් විකාශය කිරීමට ද නියමිත බවත් ඇමැති වරයා පැවැසීය.
වැඩසටහන ගුවන් විදුලියේ විසුරුවා හැරීමටත් ජාතික පුවත් පතක වැඩසටහනේ මුද්‍රිත පිටපත පළ කිරීමට තීරණය කර තිබෙන බවද අමාත්‍යවරයා කීවේය. දුරස්ථ අධ්‍යාපන වැඩසටහනක් වශයෙන් මෙය ඈත ගම් දනව්වලට ලබාදීමටත් අදහස් කර තිබේ. ඉතා ඉක්මනින්ම මේ වැඩසටහන ක්‍රියාත්මක කැරෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේ ය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමූහිකත්වයක් නෑ
Feb 11,2011
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවාවන් ඉටුකිරීමේ දී සාමූහිකත්වයෙන් ‍‍තොරව කටයුතු කිරීම දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වෙනත් කිසිදු අමාත්‍යාංශයක නොමැති තරමේ සාමූහිකත්වයෙන් තොර තත්ත්වයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දක්නට ලැබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වගකීම් ඉටුකිරීමේ දී රාජකාරී මට්ටම ඉක්මවා යුතුකම් ඉටුකිරීමට කැප විය යුතු බව හෙද හෙදියන් 746 දෙනෙකු පළමු ශ්‍රේණියට උසස් කිරීම නිමිත්තෙන් පැවති උත්සවයකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් දකුණු ආසියාවේ හොඳම සෞඛ්‍ය සේවාව හිමි රට වශයෙන් මෙරට නම් කර තිබෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේම සිටින යහපත් පුද්ගලයින් හේතුවෙන් බව ‍අමාත්‍යවරයා අවධාරණය කරයි.
 ෆොන්සේකාගේ පෙත්සම තවදුරටත් විභාගයට ඉඩ ඇද්ද? -තීන්දුව 25 වනදා
සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමි කිරීමට එරෙහිව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම තවදුරටත් විභාග කිරීමට අවසර දෙන්නේද නැද්ද යන තීන්දුව ලබන 25 වන දින ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය අද(11) නිවේදනය කරනු ලැබීය.

යුදාධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිළිගත් අධිකරණයක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී ඇති නිසා මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළ යුතු බව අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ෆර්සානා ජබීල් මහත්මිය පෙන්වාදුන්නාය.

එහෙත් යුදාධිකරණය පිළිගත් අධිකරණයක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ ද මෙම පෙත්සමේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට අදාළ තවත් පරිබාහිර කරුණු ගණනාවක් විභාග කිරීමට ඇති නිසා මෙම පෙත්සම තවදුරටත් විභාග කළ යුතු බව සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම තවදුරටත් විභාග කරන්නේද නැද්ද යන තීන්දුව ලබන 25 වන දින ප්‍රකාශ කරන බව නිවේදනය කර ඇත. 
ඊ නිව්ස් ගින්න - තවත් සැකකරුවෙක් රිමාන්ඩ්
Feb 11,2011
ලංකා ඊ නිව්ස් වෙඩ් අඩිවිය පවත්වාගෙන කාර්යාලයෙහි ඇතිවූ ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන තවත් පුද්ගලයෙකු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

"භූතයා" යන නාමයෙන් හැඳින්වෙන මෙම සැකකරු ඊයේ(10) රාත්‍රියෙහි නුගේගොඩ කොට්ඨාශ භාර පොලිස් නිලධාරීන් පිරිසක් විසින් බේරුවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජය‍කොඩි මහතා පවසයි.

පසුව එම නිලධාරීන් විසින් මෙම සැකකරු අද(11) තලංගම පොලිසියට බාර දි ඇති අතර පොලිසිය විසින් ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

අධිකරණය මගින් සැකකරු ලබන 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති අතර මොහු අදාළ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් දෙවන සැකකරු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වාදුන්නේය. 
ඉන්දු -ශ්‍රී ලංකා බෝට්ටු සේවය ඇරඹෙන්නේ මාර්තු මාසයේදියි
ඉන්දු -ශ්‍රී ලංකා බෝට්ටු සේවය ඇරඹෙන්නේ මාර්තු මාසයේදියි
Feb 11,2011
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මගී හා භාණ්ඩ ප්‍රවාහන බෝට්ටු සේවය මාර්තු මස දෙවන සතියේදී ආරම්භ කිරීමට නියමිත බව වරාය හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

කෙසේවෙතත් එම සේවය අද(11) දිනය තුළ ආරම්භ කිරීමට නියමිත බව ඊයේ(10) ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති මෙම පෞද්ගලික බෝට්ටු සේවය ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද ගැටුම් තත්ත්වය නිසා වසර 02 ක කාලයක් ඇනහිට පැවතිණි.

කොළඹ නගරය හා තමිල්නාඩුවේ තූත්තුකුඩිය අතර මෙම බෝට්ටු සේවය ආරම්භ කිරීමට නියමිතව ඇත. 
මුරලිදරන් ග්ලොස්ටර්ෂයර් පිලට

Feb 11,2011
සුපිරි දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් එංගලන්තයේ ග්ලෝස්ටර්ෂයර් ප්‍රාන්තයේ විස්සයි 20 ක්‍රිකට් පිලට ක්‍රීඩා කිරීමට වසර 2 ක ගිවිසුමකට එළඹුණු බව එම ප්‍රාන්ත පිල නිවේදනය කළේය.
ඉදිරියේදී එංගලන්තයේ ප්‍රාන්ත තරගවාරයේ විස්සයි 20 තරගාවලි 2 කට ඔහු ක්‍රීඩා කරනු ඇතැයි එම නිවේදනයේ සඳහන් විය. ලෝක කුසලාන තරගමාලාවත්, ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගමාලාවත් නිමාවූ පසු 38 හැවිරිදි මුරලි ග්ලොස්ටර්ෂයර් පිල හා එක්වීමට නියමිතය.
.

ප්‍රවීණ රංගන ශිල්පී විනී වෙත්තසිංහ අභාවප්‍රාප්ත වෙයි

Feb 11,2011
ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම අංග රචනා ශිල්පියෙකු වන විනී වෙත්තසිංහ මහතා ඊයේ (10 වැනිදා) පෙරවරුවේ හදිසියේ අභාවප්‍රාප්ත විය. මිය යනවිට 51 වැනි වියේ පසුවූ විනී වෙත්තසිංහ මහතා ගුරු උපදේශිකා ශ්‍රියානි මංගලිකා මහත්මියගේ සැමියා වේ. එක්දරු පියෙකු වන ඒ මහතා ප්‍රථමයෙන් රංගනයට පිවිසියේ සරත් කුලාංගගේ ‘මිදිවැල’ වේදිකා නාට්‍යයෙනි.
ජනක් පේ‍්‍රමලාල්ගේ ‘රාජ කපුරු’, ‘අබුද්දස්ස කෝලම’ ඇතුළු වේදිකා නාට්‍ය රැසක රඟපෑ විනී, එච්. ඩී. පේ‍්‍රමරත්නගේ ‘සෙයිලම’ චිත්‍රපටයේ රඟපාමින් සිනමාවට ප්‍රවිෂ්ට විය. නාලන් මෙන්ඩිස්ගේ ‘දු දරුවෝ’, ‘නෑදෑයෝ’ දයාරත්න රටගෙදරගේ ‘බෝගල සවුන්දිරිස්, පේ‍්‍රමකුමාර් ජයවර්ධනගේ ‘පිනිබර යාමය’ ඇතුළු ටෙලිනාට්‍ය රැසක හේ විවිධ චරිත නිරූපණය කෙළේය.
වෘත්තියෙන් ගුරුවරයකු වන විනී වෙත්තසිංහ මහතාගේ දේහය ඔහුගේ නිවස පිහිටි බණ්ඩාරගම මිල්ලනිය දාමින්ගමුව නිවසේ දැනට තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට 12 වැනිදා සෙනසුරාදා සවස 2 ට මිල්ලනිය පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.

විවෘත විශ්ව විද්‍යාල නීතිවේදී පරීක්ෂණය ලබන ඉරිදා
විවෘත විශ්ව විද්‍යාල නීතිවේදී පරීක්ෂණය ලබන ඉරිදා
Feb 11,2011
අයහපත් කාලගුණය හේතුවෙන් කල්තබන ලද ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධි ප්‍රවේශ පරීක්ෂණය ලබන ඉරිදා දැනුම් දී ඇති පරිදි පැවැත්වෙන බව ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලය පවසයි.

ජනවාරි මස 10 වැනි දිනට ලබාදී තිබූ ප්‍රවේශපත්‍රයේ සඳහන් නියමිත වේලාවට විභාගය පැවැත්වෙන බව එම විශ්ව විද්‍යාලය දන්වා සිටියි. 
විපතට පත් ප්‍රදේශ ප්‍රතිසංස්කරණයට කෝටි 330 ක්
Feb 11,2011
ජලගැලීම්වලින් විපතට පත් ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් කෝටි 330 ක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

ජනවාරි සහ පෙබරවාරි මාසවල ඇති වූ අධික ජලගැලීම් හේතුවෙන් නැගෙනහිර, උතුරු මැද, ඌව, මධ්‍යම සහ උතුරු පළාත්වලට දැඩි බලපෑම් එල්ල විය.

මේ හේතුවෙන් පුද්ගලයන් 1, 250,000 ක් පමණ පීඩාවට පත්වූ අතර නිවාස සහ වගා බිම් රැසක් ද විනාශයට පත්ව තිබේ.

මේ අතර කැබිනට් මණ්ඩලය තවත් යෝජනා රැසක් සම්බන්ධයෙන් සිය අනුමැතිය ලබාදෙනු ලැබීය.

ඒ අනුව අවතැන් වූවන් නැවත පදිංචි කිරීම, මානුෂීය හා අනෙකුත් පහසුකම් සැපයීම ඇතුළු ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීම සඳහා පවත්වාගෙන යන ජාතික සම්බන්ධීකරණ ඒකකයේ කාල සීමාව වසරකින් දීර්ඝ කර තිබේ.

ඉන්දීය - ශ්‍රී ලංකා විස්තීර්ණ ආර්ථික හවුල් ගිවිසුම නැවත කෙටුම්පත් කිරීමට තීරණය කෙරුණි.

ඒ සම්බන්ධයෙන් මේ මාසයේ සිට යළිත් ඉන්දියාව සමග සාකච්ඡා කිරීමට කෙටුම්පතක් සකස් කිරීම සඳහා අන්තර් ආයතන කමිටුවක් පිහිටුවීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මේ අතර මෙරට විශ්ව විද්‍යාලවලට වාර්ෂිකව බඳවා ගනු ලබන විදේශීය සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීමට තීරණය විය.

ඒ අනුව 0 .5%ක් ව පැවති විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීමේ ප්‍රතිශතය මේ වසරේ සිට 5% දක්වාත් පසුව එය 10% දක්වාත් ඉහළ නැංවීමට නියමිතය.

බදු ගිවිසුම් යටතේ විදේශිකයන්ට දේපළ පවරා දීමේ දී බද්දක් අය කළ හැකි වන පරිදි 1963 අංක 11 දරණ මුදල් පනත සංශෝධනය කිරීමට ද කැබිනට් මණ්ඩලය එකඟ වී ති‍බේ.

මීට අමතරව එක්සත් ජාතීන්ගේ සාමසාධක ක්‍රියාවලියට ශ්‍රී ලංකාවේ දායකත්වය වැඩිකරගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට ද කැබිනට් මණ්ඩලය එකඟ වූ බව වාර්තා වේ.
 

No comments:

Post a Comment