Pages

Friday, February 18, 2011

Feb 18,2011
(කොළඹ-ලංකාපුවත්) මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්ව ඇති සූර්යාගේ සිදුවී ඇති විශාල පිපිරීම සමඟ ඇතිවූ භූගෝලීය චුම්බක කැළඹීම රේඩාර් සන්නිවේදනයටත්, විදුලි බලාගාරවලටත්, චන්ද්‍රිකා තාක්ෂණයටත් බලපාන බව නාසා ආයතනය ප්‍රකාශ කළ බව ඒ.එෆ්.පී පුවත් සේවය පවසයි.
කෙසේ වෙතත් ආතර් සී. ක්ලාක් ආයතනයේ ප්‍රකාශකයෙක් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්‍රියාවලියට මෙය කිසිසේත්ම බලපෑමක් ඇති නොකරන බවයි.
එහි බලපෑම ඇති වන්නේ ස්කැන්ඩිනේවියානු රටවලට හා උත්තර ධ්‍රැවය ආසන්නයේ පිහිටි රටවලට බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

විශාල සුළඟක් හේතුවෙන් හිරුගේ ප්ලාස්මා පටලයෙන් නික්මුනු බ්‍රහස්පති ග්‍රහලෝකය තරම් වූ විශාලත්වයකින් යුතු කොටසක් මඟින් මෙම බලපෑම ඇතිවී තිබේ.
මෙම තත්වය හේතුවෙන් දැනටමත් චීනයේ දකුණු ප්‍රදේශයේ සන්නිවේදන කටයුතු අඩාල වී ඇත.
සූර්යාගෙන් වෙන් වී ගිය මෙම කොටස පසුගිය අගහරුවාදා ග්‍රිනීච් වේලාවෙන් අළුයම 01.56ට සිදුවූ බව ඇමරිකානු අජටාකාශ ආයතනය විසින් දැනුම් දී තිබේ.
මෙසේ හටගන්නා භූ චුම්බක කැළඹීම සාමාන්‍යයෙන් පැය 24 සිට 48 දක්වා කාලයක් පවතින බවත් සමහරක් අවස්ථාවලදී එය දින කිහිපයක් පවතින බවත් ඇමරිකානු ජාතික දේශගුණික ආයතනය සඳහන් ක‍රයි.
මේ හේතුවෙන් ගුවන් ගමන්, නාවික ගමන්, කෙටි තරංග රේඩියෝ සේවාවන්ටද බලපෑම් ඇතිව තිබේ.


රිමාන්ඩ් භාරයේ සිටි ඉන්දීය ධීවරයින් 136 ක් නිදහස්
Feb 18,2011
රිමාන්ඩ් භාරයේ පසුවූ ඉන්දීය ධීවරයින් 136 දෙනෙකු නිදහස් කරන ලෙස පේදුරු තුඩුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කර ඇති බව පේදුරු තුඩුව පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතව සිටීම යන චෝදනාව මත මෙම ධීවර පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි. 
ශ්‍රී ලංකා -පකිස්ථාන තරගයේ ප්‍රවේශපත් අලෙවිය හෙට ඇරඹෙයි
ශ්‍රී ලංකා -පකිස්ථාන තරගයේ ප්‍රවේශපත් අලෙවිය හෙට ඇරඹෙයි
Feb 18,2011
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර තරගය නැරඹීම සඳහා මහජනතාව සඳහා නිකුත් කෙරෙන රුපියල් 50 ප්‍රවේශපත් හෙට(19) සිට නිකුත්කෙරෙයි.

අදාළ ප්‍රවේශ පත් හෙට පෙරවරු 8 .30 සිට මාළිගාවත්ත, පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයෙන් මිලදී ගත හැකිය.
කච්චතිව් නැවත ඉන්දියාවට පවරාගත යුතුයි -ජයලලිතා
කච්චතිව් නැවත ඉන්දියාවට පවරාගත යුතුයි -ජයලලිතා
Feb 18,2011
ඉන්දීය ධීවරයින් සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැටලු සම්බන්ධව ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා වහා මැදිහත් විය යුතු බව ඉන්දීය ඒ. ඩී. එම්. කේ පක්ෂයේ මහ ලේකම් ජයලලිතා ජයරාම් මහත්මිය පවසයි.

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ඉන්දීය ධීවරයින්ට සිදුකෙරෙන පහරදීම් වහා නැවැත්වීමට වහා කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාවට විශාල අනතුරකට මුහුණදීමට සිදුවන බවට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවවාද කළ යුතු බවද ඒ මහත්මිය අවධාරණය කරයි.

ඉන්දීය විදේශ ලේකම් නිරූපමා රාඕ මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණ මෙම ඉන්දීය ධීවරයින් සම්බන්ධ ගැටලුව පිළිබඳව සාකච්ඡා කර පැමිණි පසුව ද ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සියගණනින් ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගන්නා බවට නිවේදනයක් නිකුත්කරමින් ඇය චෝදනා කරයි.

එමෙන්ම මෙම ගැටලුව සම්බන්ධව තමිල්නාඩු මහ ඇමති කරුණානිධි මහතා විසින් ඉදිරිපත් කරන ලිපි සම්බන්ධව ඉන්දීය මධ්‍යම රජය මගින් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බව ද පෙනීයන බව ජයලලිතා මහත්මිය සිය නිවේදනයෙන් පෙන්වාදෙයි.

මෙම ගැටලුවකට විසඳුමක් ලෙස කච්චතිව් දිවයින නැවත ඉන්දීයාවට පවරාගත යුතු බවත්, ඒ සම්බන්ධව ශ්‍රී ලංකාව සමග අත්සන් කර ඇති ගිවිසුම වහා අවලංගු කළ යුතු බවත්, ඇය අවධාරණය කර තිබේ.
සියලු පැණිබීම කර්මාන්තශාලා පරීක්ෂා කරන්නැයි නියෝගයක්
සියලු පැණිබීම කර්මාන්තශාලා පරීක්ෂා කරන්නැයි නියෝගයක්
Feb 18,2011
මෙරට පැණිබීම නිෂ්පාදනය කරන සියලුම කර්මාන්තශාලා පරීක්ෂාවට ලක්කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබේ.

පැණිබීම නිපදවන කර්මාන්තශාලාවල නිෂ්පාදනය, බෙදාහැරීම සහ වෙළඳසැල්වල අලෙවියට පෙර ගබඩා කර තැබීම යන අංශ කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වා පරීක්ෂා කිරීම් සිදුකරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

පො‍ළොන්නරුව ප්‍රදේශයේ දී කල් ඉකුත් වූ පැණි බීම පානය කිරීම හේතුවෙන් කුඩා දරුවෙකු මියගියේය.

මෙම සිද්ධිය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අදාළ නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව මහජන සෞඛ්‍ය නිලධාරීන් කැඳවා අද(18) දිනයේ දී මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනු ලැබීය.
 

පැණි බීම වර්ගයක් විස වී පොළොන්නරුවේ දැරියක් මිය යයි

පෝය නිවාඩුවට නිවෙසට පැමිණි පියා විසින් රැගෙන එන ලද පැණි බීම වර්ගයක් සමඟ චොකලට් කෑමට ගත් එකොළොස් හැවිරිදි පාසල් සිසුවියක් මියයාමේ ශෝකජනක පුවතක් පොළොන්නරුව සිංහපුර අක්කර අටසියය ජනපදයෙන් වාර්තා වේ. වවුනියාවේ යුද හමුදා කඳවුරක සේවය කරන හමුදා සෙබළෙකු වන සිසුවියගේ පියා එදින රාත්‍රී නිවෙසට පැමිණෙන විට පැණි බීම වර්ගයක් හා චොකලට් දරුවන්ට ගෙනවිත් තිබේ.
මේ පවුලේ දරුවන් තිදෙනකු සිටින අතර, මේ අවස්ථාවේ දී දරුවන් දෙදෙනකු නිදා සිටි අතර වැඩිමහල් දියණියත්, මවත්, මේ පැණි බීම හා චොකලට් ආහාරයටගෙන ඇත.  මේවා ආහාරයට ගෙන සුළු මොහොතක දී වමනය කරන්නට වූ හෙයින් පොළොන්නරුව මහ රෝහල වෙත ගෙන එන ලද නමුත් දැරිය මිය ගොස් ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ, ගිම්හාණී කුමාරි (11) නමැති දැරියකි. මියගිය ගැහැණු ළමයාගේ මව අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබති. පොළොන්නරුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වයි

චිත්‍රපට නිළියගේ මරණය ගෙල සිරකිරීමෙන් සිදු වූ බව මරණ පරීක්ෂණයෙන් හෙළිවේ

Feb 18,2011
රත්මලාන බොරුපන රාජසිංහ මාවතේ පදිංචිව සිටි චිත්‍රපටි නිෂ්පාදිකාවක් සහ නිළියක් ද වන විනූ වෙත්තමුණි (38) මහත්මියගේ මරණය සිදුව ඇත්තේ ගෙළ සිර කිරීමෙන් බවත් එය මනුෂ්‍ය ඝාතනයක් බවත් ඇයගේ මරණය සම්බන්ධයෙන් පැවති හදිසි මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය. කළුබෝවිල ශික්ෂණ මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දී ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණය එහි සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රසන්න හේවාමද්දුම මහතා විසින් පවත්වන ලදී.
ඝාතනයට ලක් වූ වෙත්තමුණි මහත්මියගේ ගෙළ ලේස් පටියකින් සිර කිරීම නිසා හුස්ම ගැනීමේ දී සිදු වූ අපහසුතාවයකින් මරණය සිදු වී ඇතැයි මරණ පරීක්ෂණයේ දී හෙළි විය. මෙයට අමතරව ඇයගේ ශරීරයේ කිසියම් ශ්‍රාවයක් තිබූ බවත් එම කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කළ බව අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී ප්‍රකාශකයෙක් පැවසීය. එසේම ඇයගේ කාමරයේ තිබී හමු වූ උපත් පාලන කොපු හයක්ච්.ව්.ඒ. පරීක්ෂණය සඳහා යොමු කිරීමට කටයුතු කළ බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
ලෝක කුසලානයට දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක්
ලෝක කුසලානයට දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක්
Feb 18,2011
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ‍ලෝක කුසලාන ක්‍රිකට් සංවිධායක කමිටුව පවසයි.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ ඒ අවට ප්‍රදේශ, කටුනායක සිට කොළඹ දක්වා මාර්ගය, විදේශීය ක්‍රිකට් කණ්ඩායම් රැදී සිටින හෝටල් සහ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළ ක්‍රියාත්මකය.

මේ සඳහා පොලිසිය සහ හමුදාවේ සහය ලබාගන්නා බව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකා තරග සංවිධායක කමිටුවේ අධ්‍යක්ෂ සුරාජ් දන්දෙනිය මහතා පැවසුවේය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග හෙට(19) ආරම්භ වන අතර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු තරගය අනිද්දා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රී‍ඩාංගණයේ දී පැවැත්වෙයි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම කැනඩාවට‍ එරෙහිව තරග වැදීමට නියමිතය. 
සෞදියේදී වධ හිංසනයට ලක්වූ මෙරට කතක් යළි දිවයිනට
සෞදියේදී වධ හිංසනයට ලක්වූ මෙරට කතක් යළි දිවයිනට
Feb 18,2011
සෞදි අරාබි‍යේ ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් සිටියදී වධ හිංසනයට ලක්ව දිවයිනට පැමිණි කාන්තාවක් ශල්‍යකර්මයකට ලක්කර තිබේ.

ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අදාළ කාන්තාවගේ සිරුරට ඇතුළත් කර තිබූ කම්බි කූරක් ශල්‍යකර්මයකින් ඉවත් කර ඇති බව ගාල්ල පොලිසිය පැවසීය.

ගාල්ල, හියාරේ, ඇටඹගස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක ‍වන මෙම කාන්තාවගේ සිරුරේ තවත් ඇණ 3ක් පමණ ඇති බව වෛද්‍යවරුන් පවසයි.

සෞදි අරාබියේ තමා සේවය කළ නිවසේ ‍ගෙහිමියා විසින් තමන්ට ලිංගික අතවර කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් මෙලෙස ඇණ සහ කම්බිකූරු ශරීර ගතකළ බව අදාළ කාන්තාව පොලිසිය වෙත ප්‍රකාශ කර තිබේ. 
ජනපති කොමිසම දකුණෙන් සාක්ෂි විමසයි
ජනපති කොමිසම දකුණෙන් සාක්ෂි විමසයි
Feb 18,2011
උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසම දකුණු පළාතේ ජනතාවගෙන් සාක්ෂි සටහන් කරගැනීමට තීරණය කර තිබේ.

එහි මුල් පියවර ලෙස ගාල්ල සහ මාතර ප්‍රදේශවල ජනතාවගෙන් සාක්ෂි සටහන් කරගන්නා බව එම කොමිසමේ සභාපති ජනාධිපති නීතීඥ සී. ආර්. ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව අද(18) ගාල්ල ප්‍රදේශයේ දී ද හෙට මාතර ප්‍රදේශයේ දී ද සාක්ෂි සටහන් කරගැනීමට නියමිතය.

අදාළ ප්‍රදේශවල ජනතාවට ලිඛිතව හෝ වාචිකව සිය අදහස් ‍කොමිසම වෙත දැනුම් දිය හැකි බව සභාපතිවරයා පවසයි. 
ක්‍රිකට් ලෝක කුසලාන සමාරම්භක උළෙල ඇරඹෙයි
ක්‍රිකට් ලෝක කුසලාන සමාරම්භක උළෙල ඇරඹෙයි
Feb 17,2011
 2011 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක උළෙල සුළු මොහොතකට පෙර බංග්ලාදේශයේ බන්ගබන්ධු ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

‍ ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය මේ මස 19දා බංග්ලාදේශය හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතව ඇත.

‍ මෙවර ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අතර එය පෙබරවාරි මස 19 වැනිදා සිට අප්‍රේල් මස 02 වනදා දක්වා පැවැත්වේ.

‍ දසවැනි වරට පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ලෝකයේ රටවල් දහහතරක් සහභාගි වේ.

No comments:

Post a Comment