Pages

Monday, February 14, 2011

Hot

 නවීකරණය කෙරුණු ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
Feb 14,2011
එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් රුපියල් බිලියන 1.2 වියදමින් නවීකරණය කෙරුණු ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් පෙරේදා (12) විවෘත කෙරිණි. ජනාධිපතිවරයා ක්‍රීඩාංගණයේ සමරු ඵලකය විවෘත කළ අයුරු සහ ක්‍රීඩාංගණය මෙහි දැක්වේ. ඇමැතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, විමල් වීරවංශ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඩී.එස්. ද සිල්වා, ලේකම් නිශාන්ත රණතුංග මහත්වරුද මෙහි වෙති.

ලුණුගම්වෙහෙර වනෝද්‍යානයේ අක්කර 6ක කංසා හේනක් වටලයි
Feb 14,2011
ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ පවත්වාගෙන ගිය කංසා හේනක් ලුණුගම්වෙහෙර පොලිසියේ නිලධාරීන් විසින් වටලා විනාශ කර ඇත.
වනෝද්‍යානයේ රක්‍ෂිතයේ බොල්හිඳ මලිත්තඑළිය ප්‍රදේශයේ මෙම කංසා හේන පවත්වා ගෙන ගොස් තිබේ.
පොලිසිය හේන වටලන විට සැකකරුවන් පලාගොස් සිට ඇත.
කංසා කිලෝ ග්‍රෑම් 1750 කට අධික ප්‍රමාණයක් ගිනිතබා විනාශ කිරීමට පොලිසිය සමත් විය. අළෙවියට සූදානම් කර තිබූ කංසා කිලෝ 25 ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානාධිපති අනුර ඉන්දික ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් වැටළීම සිදු කැරිණි.
වනෝද්‍යානයේ රක්‍ෂිතයේ කිසිදු මිනිස් ක්‍රියාකාරකමක නිරත වීමට අවසර නැතත් අක්කර 6 – 5 – 4 වශයෙන් විශාල බුරුත ගස් මැෂින් යොදා කපා හේන් ගිනිතබා වනෝද්‍යානය අභ්‍යන්තරයේ කංසා වගාව කරන්නේ කෙසේ දැයි ප්‍රදේශවාසීහු ප්‍රශ්න කරති.
ගත වූ දින කිහිපය තුළ පමණක් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ කලුපාළම නමැති පිවිසුම් දොරටුව අභියස සිට කිලෝ මීටර් 6 – 7 න් තරම් දුරින් පිහිටා තිබූ කංසා හේන් රැසක් ලුණුගම්වෙහෙර පොලිසිය මගින් වටලා විනාශ කර තිබිණි.
කංසා හේන් රැකබලා ගැනීමට හේන්වල වැඩ කිරීමට කම්කරුවන් මෙම ස්ථානවලට පැමිණෙන බවට ද පොලිසියට තොරතුරු ලැබී ඇත.
හාල් මලු, පොල්, පරිප්පු, කරවල එහි ආහාර ද්‍රව්‍ය සහනාධාරය වශයෙන් ගොවීන්ට ලබාදෙන පොහොර ද මෙම හේන්වල වාඩිවල තිබියදී පොලිසියට හසුවී තිබේ.
වනෝද්‍යානයේ වන සතුන්ට මෙම කංසා හේන්කරුවන් නිසා තර්ජනයක් වී තිබේ. මුවන්, ගෝනුන්, මීමින්නන්, ආදී සතුන් දඩයම් කර ඇති බවට සාක්‍ෂි තිබේ.
ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ කෝන්තොට ආර, රක්‍ෂිතය, සෑවින්ව ආදී ප්‍රදේශවල දී මෙම කංසා හේන් හමුවී තිබේ.

ඉන්දීය ප්‍රභූ ඝාතන කොටි සැලසුමක තොරතුරු අනාවරණය කර ගනී

Feb 14,2011
මහින්ද අලුත්ගෙදර
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ දී ප්‍රභූන් ඝාතනය කිරීම සඳහා එල්.ටී.ටී.ඊ ය ක්‍රියාත්මක කර ඇති සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට ඉන්දීය මධ්‍යම රහස් ඔත්තු සේවාව සමත්ව ඇත.
තමිල්නාඩුව කේන්ද්‍ර කර ගනිමින් එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරීන් දැනටමත් පුහුණු වීම්වල නිරතව සිටින අතර අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය භාවිත කරන බවට ද තොරතුරු ලැබී ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.
සරණාගතයන් ලෙස දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ඇතුළු වී පුද්ගල කණ්ඩායම් ලෙස එක් රැස් වී කොටි මෙලෙස ත්‍රස්ත ක්‍රියාකාරකම්වල නිරතව සිටින අතර ඔවුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඉන්දීය මධ්‍යම රහස් ඔත්තු සේවාව සඳහන් කර ඇත. මීට ඉහත දී උත්සවයකට සහභාගි වීම සඳහා තමිල්නාඩු ප්‍රාන්තයට පැමිණීමට නියමිතව සිටි ඉන්දීය අගමැති ආචාර්ය මන් මෝහං සිං මහතා ඝාතනය කිරීමට ද එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරීන් කළ සැලසුම් සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගන්නා ලදී.
මේ ආකාරයට මැතිවරණ කාල සමයේ දී ප්‍රභූන් ඝාතනය කිරීම සඳහා එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරීන් දරන උත්සාහය පිළිබඳව පූර්ණ අවධානයෙන් සිටින බවද ඉන්දීය මධ්‍යම රහස් ඔත්තු සේවාව වාර්තා කර ඇත.

No comments:

Post a Comment