Pages

Wednesday, February 23, 2011

Sri Lanka Hot News Last update 23/02/2011

නිකවැරටිය පෙත්සමත් එ.ජා.පය ඉල්ලා අස්කර ගනියි
Feb 23,2011
නිකවැරටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය මගින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය අහෝසි කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම අද ඉල්ලා අස්කරගෙන ගැනීමට තීරණය කර ඇති බව දැනුම් දී තිබේ.

අදාළ නඩුව අද(23)කැඳවූ අවස්ථාවේ පැමිණිලිකාර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් තම පෙත්සම ඉල්ලා අස්කර ගන්නට කැමති බව අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.

එහිදී එම ඉල්ලා අස්කගැනීමේ ඉල්ලීම මෝසමක් මගින් හෙට දිනයේ හෝ අනිද්දා දිනයේ ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් දැනුම් දී තිබේ.

ඒ අනුව කල්දමන ලද නිකවැරටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මාර්තු මස 17 වෙනි දින පවත්වන්නට අභියාචනාධිකරණය විසින් මැතිවරණ කොමසාරිස්වරයාට අවසර ලබා දී ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් නුවරඑළිය ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා ලැයිස්තුව මැතිවරණ නීතියට පටහැණි බවත්,එබැවින් අදාළ තේරීම්භාර නිලධාරියා විසින් එම නාම යෝජනා ලැයිස්තුව බාර ගැනීම නීති විරෝධී බව ප්‍රකාශයට පත් කරන ලෙසත් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබිණි.
පිදුරුතලාගල රක්ෂිතයේ හදිසි ගින්නක්..!
පිදුරුතලාගල රක්ෂිතයේ හදිසි ගින්නක්..!
Feb 23,2011
පිදුරුතලාගල රක්ෂිතයේ හදිසි ගින්නක් හටගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රීක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

රක්ෂිතයේ පොදු සුසාන භූමිය අවට ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන ඇති බවත්,මේ වන විට ගින්න පැතිරෙමින් පවත්නා බවත් සඳහන් වේ.

එසේ වුවද මේ වන විට ගිනි නිවන ඒකකය, ආරක්ෂක හමුදා හා පොලීසිය එක්ව ගින්න මැඩපැවැත්වීමේ කටයුතු වල නිරත වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් කියා සිටියි.
පන්නලින් හොර හැඳුනුම්පත් නිකුත් කරලා
Feb 23,2011
කාලයක සිට පවත්වාගෙන ගිය ව්‍යාජ ලිපිලේඛන සැකසීමේ මධ්‍යස්ථානයක් පන්නල පොලිසිය විසින් වටලා තිබේ.

පන්නල නගරයේ රහසිගත ස්ථානයක පවත්වාගෙන ගිය මෙම මධ්‍යස්ථානයේ තිබූ ව්‍යාජ ලිපි ලේඛන රැසක් සහ ඒවා සැකසීමට ගන්නා පරිගණක ඇතුළු උපකරණ කිහිපයක් ද සිය භාරයට ගත් බව පොලිසිය සඳහන් කරයි.

ජාතික හැඳුනුම්පත් , උප්පැන්න සහතික පත් , වැලි සහ මැටි ප්‍රවාහන බලපත්‍ර , විවාහ සහ මරණ සහතික පත් ඇතුළු ව්‍යාජ සහතික පත්‍ර රැසක් එහි දී සොයා ගෙන තිබේ.

ව්‍යාජ හැඳුනුම්පත නිකුත් කිරීම සඳහා රුපියල් 4000ක මුදලක් ද වැලි සහ මැටි ප්‍රවාහන බලපත්‍ර සදහා රුපියල් 1000 ක මුදලක් ද අය කර ඇති බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 
නවසීලන්තය සසල කළ භූකම්පනය. . .
නවසීලන්තය සසල කළ භූකම්පනය. . .
නවසීලන්තයේ ක්‍රයිස්චර්චිහි සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පිරිස 65 දක්වා ඉහළ ගොස් ඇති අතර භූකම්පනයත් සමග කඩා වැටුණු ගොඩනැගිලි අතර සිරවුණු පුද්ගලයින් 200 ක් පමණ වන බවට ද විශ්වාසය පළ කරයි. ඊයේ(21) රාත්‍රී නවසීලන්තයට බල පෑ භූකම්පනයේ ප්‍රබලත්වය ඒකක 6.3ක් ලෙස රික්ටර් පරිමාණයේ දැක්වෙන බව සඳහන්ය. පළමුව වාර්තා වූ ප්‍රබල භූ කම්පනයෙන් අනතුරුව තවත් අතුරු භූකම්පන කිහිපයක්ම වාර්ත වූ බව නවසීලන්ත භූ විද්‍යාඥයින් පවසයි. 
උසස් ජාතික ඩිප්ලෝමා සිසුන් නේවාසිකාගාර වලින් දොට්ට
Feb 23,2011
උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනයේ නේවාසික සිසුන්ට නේවාසිකාරගාර වලින් ඉවත් වන ලෙස දැනුම් දී ඇතැයි එහි ශිෂ්‍ය සංගමය පවසයි.

එම ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙකු කියා සිටියේ ඊයේ රාත්‍රී සිට නේවාසිකාගාර වලින් ඉවත් වන ලෙස සිසුන්ට දැනුම් දී ඇති බවයි.

ඒ අනුව අද උදෑසන සිට නේවාසිකාගාර වලින් ඉවත් වන්නැයි පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ ‍දැනුම් දුන් බව උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා සංගමය පවසයි.

සිසුන් හත් දෙනෙකුගේ පන්ති තහනම ඉවත් කරන ලෙස බල කරමින් ඊයේ දිනය තුළ ආයතනයේ සිසුන් පිරිසක් උද්ඝෝෂණයක ද නිරත වී ඇති බව සඳහන්වේ.. 
නුසුදුසු ආහාර විකුණා ව්‍යාපාරිකයන් 30 ක් මාට්ටු
නුසුදුසු ආහාර විකුණා ව්‍යාපාරිකයන් 30 ක් මාට්ටු
Feb 23,2011
පරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවි කළ ව්‍යාපාරිකයින් පිරිසකට එරෙහිව නීතීමය පියවර ගෙන තිබේ.

ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් පිරිසකට එරෙහිව මෙලෙස නීතීමය පියවර ගෙන ඇති බව පැවසෙයි.

ගාල්ල පාරිභෝගික සේවා අධිකිරියේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ප්‍රදේශයේ පාසල් සහ ජනාකීර්ණ ප්‍රදේශ වල මෙම වෙළඳසැල් පවත්වාගෙන ගොස් ඇති අතර ඒවායේ අළෙවි කළ ආහාර තොගයක් ද පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිය භාරයට ගෙන ඇති බව සඳහන්වේ.

අදාළ වෙළඳසැල් හිමියන් 30 දෙනෙකුට එරෙහිව මෙලෙස නීතීමය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
අත්‍යවශ්‍ය ආහාර රැසක මිල පහළට
Feb 23,2011
සහල්, අල, ලූනු, කුකුල් මස්, බිත්තර, හාල්මැස්සන් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල මේ වනවිට පහත වැටී ඇත. සම්බා සහල් කිලෝව රුපියල් 68ටත්, කුකුල් මස් 280 ත් 320 ත් අතරද, බිත්තර 12.50 කටත්, හාල්මැස්සන් කිලෝව 326 ටත් අල රුපියල් 60 ටත්, ලොකු ලුණු 60 ටද මිලට ගැනීමට හැකිවී තිබේ.
රජය නිරතුරුවම වෙළෙඳපොළ පිළිබඳව අවධානය යොමුකර පාරිභෝගිකයා සූරාකන වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීම සඳහා වැටලීම් දිගටම සිදුකරන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳව අමාත්‍යාංශය කියා සිටී.
.
සහල් හිඟයක් ඇති නොවන බවට රජය සහතික වෙයි
Feb 23,2011
පසුගිය කාලයේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වයෙන් වී අස්වැන්නට සිදු වූ හානිය නිසා ආහාර හිඟයක් ඇතිවන බවට ගෙන යන ප්‍රචාර රජය ප්‍රතික්ෂේප කරයි. මේ පිළිබඳ කිසිදු සැකයක් හෝ බියක් ඇති කර නොගන්නා මෙන් වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනතාවට දැනුම් දෙයි. අයහපත් කාලගුණය නිසා විනාශ වී ඇති කුඹුරු ප්‍රමාණය රටේ සමස්ත වගා ප්‍රමාණයෙන් 14% කි.
වී නිෂ්පාදනයේ එම අඩුව පිරිමසාලීමට උතුරු නැගෙනහිර අලුතෙන් වගාකරන ලද කුඹුරුවල අස්වැන්නෙන් වැඩිවෙන ප්‍රමාණය අනුව හැකිවෙන බවද නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා සඳහන් කරයි. කිලිනොච්චිය ඇතුළු උතුරු නැගෙනහිර ප්‍රදේශවල මෙවර අලුතෙන් වගාකර ඇති කුඹුරු අක්කර ගණන හෙක්ටයාර් 150000 කි.
එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් මැතිවරණ කාලවලදී ජනතාව බිය වැද්දීමට හා ඒ මගින් රට ගිනි තැබීමට නොයෙකුත් අසත්‍ය ප්‍රචාර ගෙනයන බවද පවසන ඇමැතිවරයා ආහාර හිඟයත් ඇතිවෙන බවට ගෙනයන ප්‍රචාරයන්ද එවැනි පදනම් විරහිත ප්‍රචාරයන් බව ඊයේ මහවැලි කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තම දේශපාලන අරමුණු අනුව තලගොයා කබරගොයා ලෙසත්, කබරගොයා තලගොයා ලෙසත් ප්‍රකාශ කරන බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment