Pages

Friday, January 14, 2011

තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීම ජනවාරි 27 දක්වා දීර්ඝ වෙයි
Jan 14,2011
ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාල සීමාව මැතිවරණ කොමසාරිස්වරයා විසින් දීර්ඝ කර තිබේ.

ඒ අනුව ලබන 16 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ එම අයදුම්පත් භාරගැනීම ලබන 27 වැනිදා දක්වා සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම පිළිබඳ නිවේදනය පසුගිය 6 වැනිදා නිකුත් කෙරුණු අතර එතැන් පටන් දින 10 ක කාලයක් තැපැල් ඡන්ද අයදුම් කිරීම සඳහා වෙන්වෙයි.

එහෙත් අදාළ කාලය ප්‍රමාණවත් නොවන බව පෙනී ගිය බැවින් කාලසීමාව දීර්ඝ කිරීමට පියවර ගත් බව මැතිවරණ මහලේකම් කාර්යාලය පෙන්වාදෙයි.
මස්කෙළියේ රිය අනතුරකින් 40 දෙනෙකුට තුවාලයි
Jan 14,2011
මස්කෙළිය ප්‍රදේශයේ අද(14) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

තුවාලකරුවන් මසකෙළිය රෝහලට ඇතුළත් කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මස්කෙළිය, යාඩ්මෝර් සිට හැටන් බලා ධාවනය වූ පෞද්ගලික මගී බස් රථයක් අද උදෑසන 9 15 ට පමණ අනතුරට ලක්විය.

මස්කෙළිය, සාම්මලේ ප්‍රධාන මාර්ගයේ පළමුවැනි සැතපුම් කණුව අසල නිවසක තාප්පයක බස් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් 15 දෙනෙකු පමණ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර එයින් 06 දෙනෙකුගේ තත්ත්වය බරපතල නිසා ඔවුන් නාවලපිටිය මූලික රෝහල වෙත මාරුකර යවා ඇත.

අධික වේගයෙන් ධාවනය වූ මෙම බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව මස්කෙළිය පොලිසිය සඳහන් කරයි
.
අධික ශීතල පෙබරවාරි අවසන් වන තෙක්
Jan 14,2011
මේ දිනවල පවතින අධික ශීතල කාලගුණ තත්ත්වය පෙබරවාරි මාසය අවසන් වන තෙක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම නිසා, අධික ශීතල නිසා රෝගී වීමෙන් වැළකී සිටීමට ආරක්‍ෂක පියවර ගන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

විශේෂයෙන් කුඩා දරුවන්, වැඩිහිටියන් සහ රෝගීන් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළයුතු වේ.

ඊයේ (ජන. 13) කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක 19 ට අඩු අගයක් ගත් අතර, නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක අටට වඩා පහත බැස්සේය.
විපතට පත් වූවන්ට ඉන්දියාවෙන් කෝටි 11ක ද්‍රව්‍යමය ආධාර
මහින්ද අලුත්ගෙදර
ජල ගැල්මෙන් විපතට පත් ජනතාවට ලබා දීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියනයක් (රුපියල් කෝටි 11ක්) වටිනා ද්‍රව්‍යමය ආධාර තොගයක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පිරිනමා ඇත. ටොන් 25ක් පමණ වන මේ ද්‍රව්‍යමය ආධාර තොගය අදියර දෙකක් යටතේ ශ්‍රී ලංකාවට රැගෙන එන අතර එහි මුල් පියවර වශයෙන් ද්‍රව්‍යමය ආධාර තොගයක් ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි. එල්’ 76 වර්ගයේ ගුවන් යානයකින් අද (14) කොළඹට රැගෙන එන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එහි ඉතිරි භාණ්ඩ තොගය ලබන (14) දා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත අතර පිසූ ආහාර, කිරිපිටි, පරිප්පු, ළදරු ආහාර, පොරෝනා, ජලය පිරිසිදු කෙරෙන පෙති වර්ග, ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් මෙම ආධාර තොගයට අයත් බව අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක් “දිනමිණ”ට පැවැසුවාය. ජල ගැලීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක පුද්ගලයන් ලක්ෂ 9ක් පමණ විපතට පත්ව තිබෙන අතර ඒ පිරිසගේ අවශ්‍යතා වෙනුවෙන් මේ පරිත්‍යාගය අතිශය වැදගත් බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් වූවන් සඳහා සහන සැලසීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට මෙය විශාල ශක්තියක් බවත් ආධාර තොගය ඉන්දීය අගමැති ආචාර්ය මන් මෝහන් සිං මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකාවට රැගෙන එන බවත්ය. මේ ද්‍රව්‍යමය ආධාර තොගය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට හා එරට ජනතාවට ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රණාමය පිරිනමන බවද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

No comments:

Post a Comment