Pages

Sunday, January 23, 2011

Chandana

  උදේ නැගිට්ට හැටියෙම කරන්නෙ 
දවසේ වැඩ ටික ලියාගන්න එක

-චන්දන
නර්තන කලා ලෝකය තුළ ඔහුට තිබෙන්නේ නොමඳ ජනප්‍රියත්වයක්.
එසේම දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ඔහුට තිබෙන ඉල්ලුමත් ඉතාම ඉහළයි.
ඔහු ඇතුළු ඔහුගේ නර්තන කණ්ඩායම මෙරට සහ විදේශීය වශයෙන් නර්තනයෙන් ප්‍රේක්ෂකයින් පිනවමින් ලැබූ ප්‍රශංසා ද එමටයි. ඔහු අපේ රටේ සාම්ප්‍රදායික නර්තන කලාව මෙන්ම, නිර්මාණාත්මක නර්තනය ද ජාත්‍යන්තරයට ගෙන ගිය නැටුම් ශිල්පී චන්දන වික්‍රමසිංහයි.
චන්දනගේ නර්තන හැකියාව, දක්ෂතාව ගැන මීට ප්‍රථම අප ඕනෑතරම් කතාකර ඇත. එමෙන්ම කොතෙක් කතා කළත් අලුතින් තම නර්තන ජීවිතයට තවත් කතාකරන්නට බොහෝ දේ ද ඔහු එක්කරගනී.
එහෙත් මෙවර අපි ඔහුගේ නිවහනට ගොඩවැදුණේ, මේ රටේ පමණක් නොව ජාත්‍යන්තර තලයේ දී නමක් දිනා ඇති මේ නර්තන ශිල්පියාගේ දින චරියාව කෙසේදැයි විමසන්නටය.
කොතෙක් කාර්යබහුල වුවත් ඔහුට ද පෞද්ගලික ජීවිතයක් ඇත. ඒ ජීවිතය කෙතරම් සොඳුරු දැයි අපි දුටුවෙමු. එය අපේ සුවහසක් පාඨකයන් වෙත රැගෙන එන්නට අපේ ඡායාරූප ශිල්පියා ද අමතක කළේ නැත.
චන්දන සිය සොඳුරු නිවහන තනාගෙන ඇත්තේ මොරටු පුරවරයේය. ඔහුගේ ආදරණීය බිරිඳ දිල්හානිත්, දියණිය දෙවංගිත්, නිවුන් පුතුන් වන තනුග ලක්දෙව් සහ කනුග මන්දිව් මේ සොඳුරු නිවහනේ සාමාජික සාමාජිකාවන්ය.
මේ මොහොත වන විට මේ නිවෙස කලඑළි වන්නේ චන්දන – දිල්හානි යුවළගේ නිවුන් පුතුන්ගේ දඟකාරකම් වලින්ය.
එක විදියට හිතන පතන, එක විට එකම දේ ඕනෑවෙන දඟකාර කොලුපැටවුන් දෙදෙනෙකු මේච්චල් කරන එක චන්දනටත් – දිල්හානිටත් ලේසි පහසු කාර්යයක් නොවනවා ඇති. එහෙත් ඒ අසීරුතා යටින් සැඟවුණු සෙනෙහෙබර සුරතලයක්, සොඳුරු සිරියාවක් මේ නිවෙස පුරා ඉතිරී පැතිරී යයි.
චන්දනගේ බිරිඳ දිල්හානි කලක් ලේක්හවුස් ආයතනයේ අපත් සමඟ සේවය කළ මාධ්‍යවේදිනියකි.
එහෙත් චන්දන වෘත්තීය වශයෙන් කාර්ය බහුල වෙත්දී ඇය සිය රැකියාවට සමුදී නිවෙසේ වැඩ කරට ගත්තාය. චන්දනගේ වෘත්තීය ජීවිතයට දිල්හානිගෙ මේ තීරණය මහත් අස්වැසිල්ලක් වූවාට සැක නැත.
”ඇත්තටම දිල්හානිට පසුගිය කාලයේ නම් මගේ වැඩ කටයුතු ගැන සොයා බලන්නට කාලයක් තිබුණේ නෑ. පුතාල දෙන්නගේ වැඩ කටයුතු නිසා. ඒත් දැන් ඒ දෙන්න ටිකක් ලොකුයි.
දිල්හානිගේ අත් උදව්වට තනි නොතනියට එයාගේ අම්මත්, පුතාල බලාගන්න කෙනෙකුත් ඉන්නවා. ඒ නිසා මේ අවුරුද්දෙ ඉඳලා මගේ සියලුම කාර්යාල කටයුතු දිල්හානිට බාරදෙනවා”යි චන්දන කීය.
චන්දනට සාමාන්‍යයෙන් රාත්‍රී නින්දට යන්න වෙලාවක් නෑ. රාත්‍රි නැටුම් සංදර්ශන නිසා ඔහුට නිවෙසට එන්න නිශ්චිත වෙලාවක් නෑ.
එහෙත් කොයි තරම් ප්‍රමාද වී නින්දට ගියත් ඔහු පාන්දර 4.00ට අවදිවෙනවා. උදේ නැගිට්ට ගමන් දවසේ ඔහුට කරන්න තිබෙන වැඩ රාජකාරි කොළයක සටහන් කර ගන්නවාලු.
’ඇත්තටම මම මේ ක්‍රමය ඉගෙන ගත්තේ මුදියන්සේ දිසානායක සර්ගේ ‘සාම මුදා නාට්‍යයේ’ රඟපාන කාලෙදි එතුමාගෙන්. .. චන්දන කීවේ හරිම භක්තියකින් .
චන්දනගේ නර්තන පාසල තිබෙන්නෙත් ඔහුගේ නිවෙස ආසන්නයේමයි. දිනපතා මේ පියසින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් නර්තන අධ්‍යාපනය ලබනවා.
අපි ඔහුගේ නිවෙසට යන මොහොත වන විටත් ඔහු ඇතුළු ඔහුගේ නර්තන කණ්ඩායම සිටියේ ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවැත්වෙන ලෝක සංස්කෘතික උළෙල සඳහා ලංකාව නියෝජනය කිරීමේ පුහුණු කටයුතුවල. මේ සියලු කටයුතු අතරේ චන්දන තම රංගන කටයුතු සඳහා කෙසේ හෝ කාලය වෙන්කර ගනී.
පසුගියදා අවසන් වූ ‘පිනිබර යාමය’ ඔබ බැලුවා නම් ඔහුගේ රංගන දක්ෂතා හඳුනාගත හැකියි. ඉදිරියේදී රංගන ක්ෂේත්‍රයේ සුවිශේෂි චරිතයක් වටා ගෙතුණු කතාවකින් අප හමුවීමට ඒමට ද ඔහු සූදානමින් සිටී.
චන්දන – දිල්හානි ගේ වැඩිමල් දියණිය දේවංගි පාණදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ 6 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යාවකි. ඇය ද නර්තනයට රුචියක් දක්වන බව චන්දන කීය. පුතුන් දෙදෙනාට තව ම අවුරුදු දෙකයි. මේ දෙදෙනාගෙන් කවුරුන් හෝ නර්තනයට එක්වෙනු දැකීම චන්දනගේ තවත් බලාපොරොත්තුවකි.
චන්දන තම නර්තන කණ්ඩායම ක්‍රමානුකූ®ලව පවත්වාගෙන යන අතර එහි වැඩ කටයුතු අඩුපාඩුවක් නැතිව කරගෙන යාමට ඔහුගේ සහායට වැටුප් ලබන පිරිසක් කැපවී සිටිති. මේ සැමදෙනාම ඒ පිළිබඳ අත්දැකීම් ඇති ඔහුගෙන් නර්තනය ඉගෙනගත් අය වීම ඔහුට මහත් පහසුවකි.
නර්තන කණ්ඩායමේ ට්‍රාන්ස්පෝර්ට්, ඇඳුම්, ආභරණ, මේක්අප් යනාදී සියලු දේ සඳහා වෙන වෙනම වගකීම් පැවරුණු අය මේ කණ්ඩායමේ සිටිති. නිතර විදේශ සංචාර ඇති නිසා ‘පාස්පෝට් හා වීසා’ අංශය බාරව කටයුතු කරන ඒ පිළිබඳ අත්දැකීම් ඇති අයෙකු ද මේ පිරිසේ සිටීම චන්දනගේ කටයුතුවලට ලොකු සහනයකි.
මේ සියලු වෘත්තීය කටයුතුත් සමඟ දරු තිදෙනෙකුගේ පියෙකු හා සැමියෙකු වශයෙන් චන්දන තමාටම වෙන්වූ ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගතකිරීමට ද ඇප කැපවී සිටී.

No comments:

Post a Comment