Pages

Thursday, January 20, 2011

ඉතිහාසයේ ඉහළම සමස්ත මිල දර්ශකය වාර්තා වෙයි
Jan 20,2011
කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ වාර්තාකළ ඉහළම සමස්ත මිල දර්ශකය අද(20) වාර්තා කර තිබේ.

එය ඒකක 7,193 .1 ක් ලෙස සටහන් වූ බව සුරැකුම් පත් හා විනිමය කොමිසන් සභාව සඳහන් කරනු ලැබීය.

සමස්ත මිල දර්ශකය මීට පෙර පසුගිය වසරේ ඔක්තෝබර් මස පළමුවැනිදා ඉතිහාසයේ ඉහළම අගයක් වාර්තා කරනු ලැබීය.

එය ඒකක 7,147 . 6 ක් ලෙස සටහන් විය. අද දිනය තුළ වාර්තා වූ මිලංකා මිල දර්ශකය වූයේ ඒකක 7,300 . 6 කි.
බණ්ඩාරනායක ගුවන්තොටුපළේ නව ගමන් මලු පථය විවෘත වෙයි
බණ්ඩාරනායක ගුවන්තොටුපළේ නව ගමන් මලු පථය විවෘත වෙයි
Jan 20,2011
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්තය සඳහා ඉදිකෙරුණු නව ගමන් මලු පථය අද(20) දහවල් විවෘත කෙරුණි.

ඒ අනුව බණ්ඩාරනායක ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ ගමන් මලු පරීක්ෂා කිරීමේ පථ සංඛ්‍යාව 6 දක්වා ඉහළ යයි.

පසුගිය වස‍රේ සැප්තැම්බර් මාසයේ ඉදිකිරීම් ඇරඹුණු මෙම ගමන් මලු පරීක්ෂා කිරීමේ පථය සඳහා වැයවී ඇති මුදල රුපියල් මිලියන 115 කි.

නව ගමන් මලු පරීක්ෂා කිරීමේ පථය මගින්, ගුවන් මගීන් 600 ගේ ගමන් මලු එකවර පරීක්ෂා කිරීමේ හැකියාව ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව විනාඩි 30 ක් වැනි කාලයක් ඇතුළත ගුවන් මගීන්ට තම ගමන් මලු නිදහස් කරගැනීමට හැකියාව ලැබෙන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
පියා සහ දියණිය එකම පෙට්ටියේ අවසන් ගමන්



Jan 20,2011
තම සුරතල් දියණියගේ හිසකෙස් කැපීම සඳහා සුබ වේලාවක් බලාගෙන එන්නට බිරියත්, දරු පැටියාත් සමග යතුරු පැදියේ නැගී කුඹුක්කඳන්වල සිට දඹුල්ල නගරයට එමින් සිටි තිදෙනාම කණ්ඩලම පිටවාන අසලදී රිය අනුරකට ලක්ව මිය ගොස් පියා තම එකම දියණිය තුරුළු කර ගෙන එකම පෙට්ටියකින් යළි නිවසට ඒමේ පුවත දඹුල්ල, කණ්ඩලම ජනපදයට පමණක් නොව සිත් සතන් ඇති සියල්ලෝ කම්පාවට පත් කළ  සිද්ධියකි.
 
තිදෙනාම කණ්ඩලම පිටවාන මතින් ගමන් ගනිද්දී දඹුල්ල ඩිපෝවට අයත් ලංගම බස් රථයකට යටවී බිරිය බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, පියා සහ දියණිය මියගොස් ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ ගුණතිලක හේරත් ( 38) පුද්ගලික බස් රියදුරෙකි. උදේනි මංගලික ඔහුගේ බිරිඳයි. 2005 වසරේ විවාහ දිවියට එළැඹ ඇති මොවුන් දෙදෙනාගේ පළමු දරුවා ගගන හේරත්ය. ඔහු වයස අවුරුදු 3 1/3කි. මියගොස් ඇත්තේ මල්මී සදහම් වයස මාස 2 1/2ක ඔවුන්ගේ සිඟිත්තියයි.

දියණියට මාස තුන සම්පූර්ණ වීමට ආසන්න හෙයින් දියණියගේ හිස කෙස් කැපීමට සුදුසු වේලාවක් බලා ගැනීමට දෙදෙනාම කතිකා කර ගෙන ඇති අතර, ඒ අනුව 18 වැනි උදෑසන තම වැඩිමහල් පුතු පෙර පාසලට යවා දියණියගේ රුධිර පරීක්‍ෂයක් ද සිදු කර ගෙන වේලාවත් බලා ගෙන ඒම සඳහා මොවුන් තිදෙනා පිටත් ව ගොස් ඇත. දඹුල්ල නගරය බලා එමින් සිටියදී උදෑසන 09ට පමණ මෙම අනතුරට මුහුණ පා ඇත.

සියල්ලන්ගේම නෙතට කඳුළක් එක් කරමින් එකම පෙට්ටියේ පියාගේ දෙකකුල් අතර කුඩා සුදු මලක් අතට ගෙන සිටින කුඩා බිළිඳියක නිසොල්මනේ සිටීම ඉතාමත් අනුවේදනීයය.

රෝහල් ගත කර සිටි උදේනි මංගලිකා මේ වන විට නිවසට රැුගෙන ගොස් ඇති අතර, වැඩිමහල් පුතු හට සිදු වී ඇති විපත පිළිබඳ හය හතර නොදැන මවගේ ඇගේ දැවටෙමින් ‘ඇයි අම්මේ අඬන්නේ, ඇයි අප්පච්චි නංගිව තුරුළු කර ගෙන ඉන්නේ යන වදන් මෙම නිවසින් නිතර ඇසීම සියල්ලන්ගේ සිත් මොහොතින් මොහොත කම්පාවට පත් කරවන්නකි.

මෙසේ අනතුරින් මිය ගිය පියා හා දියණිය එකම පෙට්ටියේ අද (20) දිනයේ අවසන් ගමන් යාමට නියමිතය. කණ්ඩලම පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරෙන අතර, අනතුර සිදු කළ ලංගම ස් රථයේ රියැදුරා දඹුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඡායාරූප අනුග‍්‍රහය - ලක්බිම

මිනිස් ජාවාරම් ගැන දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි
මිනිස් ජාවාරම් ගැන දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි
Jan 20,2011
කැනඩාව‍ වෙත සිදුකෙරෙන මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව කැනේඩියානු මහජන ආරක්ෂක අමාත්‍ය වික් ටෝව්ස් යළි අවධාරණය කර තිබේ.

එල්. ටී. ටී. ඊ සංවිධානයට සම්බන්ධ පිරිස් කැනඩාව පදනම් කර ගනිමින් යළි එක්රැස් වෙමින් සිටින බවට පළව තිබෙන වාර්තා පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

විවිධ අපරාධ වලට සම්බන්ධ සංවිධාන ජාලගතව ක්‍රියාකරමින් කැනඩාව වෙත පුද්ගල ජාවාරම් සිදුකිරීමේ සූදානමක් ඇති බවට නවතම තොරතුරු මගින් හෙළි වී ඇතැයි වික් ටෝව්ස් පවසයි.

ඒ අනුව අනවසර සංක්‍රමණිකයින් රැගත් තවත් නෞකා කැනේඩියානු මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීමට නම් වහා ක්‍රියාත්මක විය යුතු බව හෙතෙම සඳහන් කරයි.

හිටපු එල්. ටී. ටී. ඊ නායකයින් පනස් දෙනෙකු රැගත් නෞකා දෙකක් ආසියානු වරායක සිට කැනඩාව දෙසට යාත්‍රා කරමින් සිටින බවට විදෙස් මාධ්‍ය පසුගිය දිනක වාර්තා කර තිබුණි.

මේ පිළිබඳව කැ‍නඩාව දැඩි අවධානයකින් සිටින බව එරට මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි

මම අත්අඩංගුවේ -මන්ත්‍රී කියයි, අත්අඩංගුවේ නෑ -පොලිසිය කියයි
Jan 20,2011
නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී පී. ප්‍රශාන්තන් මහතා තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය පවසයි.

ආරියම්පති ප්‍රදේශීය ලේකම් ධනපාල සුන්දරම් මහතාට පහර දුන් බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකෙරෙන බව මඩකළපුව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි එම් කරුණාරත්න මහතා සඳහන් කළේය.

නමුත් අදාළ සිද්ධිය සම්බන්ධව සැකකරුවන් සිව්දෙනෙකු පොලීසියට බාරවී ඇති බව ද අද දෙරණ වෙත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේය.

ජල ගැලීම් වලින් පීඩාවට පත් වූ මඩකළපු දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදුන් සහනාධාර වංචා කළ බවට චෝදනා කරමින් ටී. එම්. වී. පී පක්ෂයේ පළාත් සභා මන්ත්‍රිවරයා පසුගිය සඳුදා ආරියම්පති ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදුන් බව වාර්තා විය.

එවැනි පහරදීමේ සිද්ධියක් සිදුවු බවත් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබු බවත් ආරියම්පති ප්‍රාදේශීය ලේකම් ධනපාල සුන්දරම් මහතා මීට පෙර අද දෙරණට ප්‍රකාශ කර තිබුණි.

නමුත් තමන් මේ වනවිට කාත්තන්කුඩි පොලිස් අත්අඩංගුවේ පසුවන බව මේ සම්බන්ධව අද දෙරණ කළ විමසීමකදී ප්‍රශාන්තන් මහතා අවධාරණය කර සිටියේය
ප්‍රශාන්තන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව උද්ඝෝෂණයක්
Jan 20,2011
නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී පී. ප්‍රශාන්තන් මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව අද(20) මඩකළපුව ආරියම්පති ප්‍රදේශයේ උද්ඝෝෂණයක් සංවිධානය කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

ජල ගැලීම් වලින් පීඩාවට පත් වූ මඩකළපු දිස්ත්‍රීක්කයේ ජනතාවට ලබාදුන් සහනාධාර වංචා කළ බව සඳහන් කරමින් ප්‍රශාන්තන් ඇතුළු පිරිසක් අරියම්පදි ප්‍රදේශීය ලේකම් ධනපාල සුන්දරම් මහතාට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධව ප්‍රශාන්තන් මහතා මඩකළපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 18 වන දින පෙරවරුවේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රශාන්තන් ඇතුළු පිරිසක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ තමන්ගේ කාර්යාල කාමරයට කඩාවැදී එතැන කලබැගෑනියක් ඇති කළ බව අරියම්පදි ප්‍රදේශීය ලේකම් ධනපාල සුන්දරම් මහතා අද දෙරණට කියා සිටියේය.

ප්‍රසාන්දන් ඇතුළු ඔහුගේ හිතවතුන් පිරිසක් පැමිණ ජල ගැලීම් වලින් පීඩාවට පත් වූ අයට ලබා දෙන සහනාධාර කඩිනම්න් ලබා දිය යුතු බවට තමන්ට තර්ජනය කළ බවත්,පසුව කාර්යාල සේවකයින් හා පැමිණි පිරිස් අතර සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වූ බවද හෙතෙම සඳහන් කළේය
කොළඹ යාචකයින් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක්
කොළඹ යාචකයින් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක්
Jan 20,2011
කොළඹ නගරයේ වෙසෙන යාචකයින් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට රජය සැලසුම් කර තිබේ.

රාජ්‍ය මෙන්ම ස්වෙච්ඡා සංවිධානවල ආධාර ඇතිව සමාජ සේවා අමාත්‍යාංශය මගින් මෙම වැඩපිළිවෙල දියත් කිරීමට නියමිතය.

මෙහි මුල් පියවර යටතේ කොළඹ නගරයේ වෙසෙන යාචකයින් පිළිබඳ සංගණනයක් පවත්වා සියලු තොරතුරු රැස් කිරීමට නියමිතව තිබේ.

අනතුරුව ඔවුන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමුකර රැකියා පුහුණුව සහ ස්වයං රැකියා වැනි කටයුතු පිළිබඳ පුහුණුවක් ලබාදීමට නියමිතය.

එමෙන්ම යාචක පවුල්වලට අයත් දරුවන් අධ්‍යාපනය කරා යොමු කිරීම ද මෙම වැඩපිළිවෙළ යටතේ සිදුකෙරෙනු ඇත.

යාචකයින් ඵලදායි පුද්ගලයින් වශයෙන් සමාජගත කිරීම මෙම වැඩපිළිවෙලේ මූලික අරමුණය.
කැතරින් බ්‍රෙග් උතුරු -නැගෙනහිර සංචාරයක නිරතවෙයි
Jan 20,2011
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානූෂීය සේවා පිළිබඳ සහකාර මහ ලේකම් සහ ආපදා සහන සම්බන්ධීකාරක නියෝජ්‍ය ප්‍රධානී කැතරින් බ්‍රෙග් මහත්මිය අද(20) උතුරු -නැගෙනහිර ප්‍රදේශවල විශේෂ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

මෙරට මානූෂීය සේවා අවශ්‍යතා පිළිබඳ සමාලෝචනය කිරීම සහ එම අවශ්‍යතා අවධාරණය කිරීම ඇයගේ මෙම සංචාරයේ අරමුණ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කාර්යාලයේ ජාතික ප්‍රවෘත්ති නිලධාරී මොහාන් සමරනායක මහතා සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකාව තුළ මානුෂීය සේවා සම්පාදනයෙහි ලා එක්සත් ජාතීන් විසින් කෙරෙන කාර්යයභාරය සහ කිරීමට අපේක්ෂා කරන කාර්යයභාරය ද මෙම චාරිකාවේදී අවධානයට සහ කතාබහට ලක්වන බව ඔහු පෙන්වාදුන්නේය.

එම මහත්මිය තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන මොහාන් සමරනායක මහතා කියා සිටියේය.

පසුගිය කාලය තුළ සිවිල් යුද ගැටුම් නිසා අවතැන් වූ නැවත සිය ගම් බිම් කරා පැමිණෙමින් සිටින ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව සොයාබැලීම සහ ඔවුන් හමුවී කතාබහ කිරීම කැතරින් බ්‍රැග් මහත්මියගේ උතුරු - නැගෙනහිර සංචාරයේ අරමුණ බව වැඩිදුර කරුණු දැක්වූ මො‍හාන් සමරනායක මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම මෑතකාලීනව ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව විමසා බැලීම සිදුවන බව ද ඔහු පෙන්වාදුන්නේය.

සිකුරාදා දිනයේදී සහකාර මහ ලේකම්වරිය රජයේ නිලධාරීන් හමුවීමට නියමිත බවත්, මෙම චාරිකාවේදී ජල ගැලීම් වලින් පීඩාවට පත් ජනතාවට ආධාර ලබාදීම සඳහා අන්තර්ජාතික ප්‍රජාවගෙන් අරමුදල් ඉල්ලා කෙරෙන ආයාචනයක් කිරීමටත් නියමිත බව සමරනායක මහතා ප්‍රකාශ කළේය
උසස් පෙළ නැවත සමීක්ෂණයට 60,000 ක් ඉල්ලුම් කරයි
උසස් පෙළ නැවත සමීක්ෂණයට 60,000 ක් ඉල්ලුම් කරයි
Jan 20,2011
පසුගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර හැට දහසක් පමණ නැවත සමීක්ෂණය සඳහා ඉල්ලුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා පවසයි.

පසුගිය උසස් පෙළ විභාගය වෙනුවෙන් බෙදා හැරි උත්තර පත්‍ර දහතුන් ලක්ෂයක් අතරින් මෙම හැට දහස නැවත සමීක්ෂණය සඳහා සිසුන් ඉල්ලුම් කර ඇති බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව අදාළ උත්තර පත්‍ර නැවත සමීක්ෂණය සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇති බව අනුර එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඉදිරි මාස කිහිපය තුළ දී නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඒ ඒ ශිෂ්‍යයා වෙත නිකුත් කිරීමට කටයුතු කරන බව ඔහු පැවසුවේය.

මේ අතර පසුගිය දෙසැම්බර් මාසයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී සිසු සිසුවියන් සිදුකළ විභාග අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් ද මේ වන විට විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පිටපත් කිරීම, උත්තර පත්‍ර හුවමාරුව, හැඳුනුම්පත් වංචනිකව සකස් කර විභාගයට පෙනී සිටීම, තහනම් කරන ලද උපකරණ ළඟ තබා ගැනීම වැනි සිසුන් සිදුකළ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්ය. 

ද්‍රවිඩ ජාතික සන්ධානය හා තරග කිරීම ගැන අවසන් තීරණය අදයි
ද්‍රවිඩ ජාතික සන්ධානය හා තරග කිරීම ගැන අවසන් තීරණය අදයි
Jan 20,2011
මෙවර මැතිවරණයට සිය පක්ෂ එකමුතුව ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ එක්ව තරග කරන්නේ ද යන්න පිළිබඳ අවසන් තීරණය අද(20) රාත්‍රීයේ දී ගැනීමට නියමිත බව ද්‍රවිඩ ජාතික විමුක්ති සන්ධානය පවසයි.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් පරිදි අවසන් තීරණය කල් දැමීමට සිදුවු බව එම සන්ධානයේ මහලේකම් එම්. කේ. ශිවාජිලිංගම් මහතා සඳහන් කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව තරග කිරීමට ‍ප්ලොට් සංවිධානය මේ වන විටත් එකඟත්වය පල කර අවසන්ය.

මේ සඳහා වන අවබෝධතා ගිවිසුමකට ද ඔවුන් අත්සන් තබා ඇති බව ශිවාජිලිංගම් මහතා සඳහන් කළේය.
ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල නඟී

Jan 20,2011
පසුගිය මාසයේ ලෝක වෙළෙඳ පොළෙහි තෙල් මිල 12%කින් වැඩිවූ බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.
දේශීය වෙළෙඳ පොළෙහි තෙල් මිල හැකි උපරිම කාලයක් එම මිලෙහිම පවත්වාගෙන යාමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස් ලබා දී තිබෙන බවද ඇමැතිවරයා පැවැසීය.
ලෝක වෙළෙඳ පොළෙහි තෙල් මිල වරින් වර උච්ඡාවචනය වූ බව පවසන ඇමැතිවරයා පසුගිය 2009 නොවැම්බර් සිට මේ දක්වා තෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකළ බවද කීය.
ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය ලාභ ලැබීමේ අරමුණින් විවිධ ක්‍රම උපයෝගි කරගන්නා බව ප්‍රකාශ කළ ඇමැතිවරයා ඉදිරියේදී සෑම නගරයකම තෙල් සංස්ථාවේ පිරවුම් හලක් විවෘත කිරීමට පියවර ගන්නා බවද කීය. ට අමතරව තාර නිෂ්පාදනය යළි ආරම්භ කිරීමට තෙල් සංස්ථාව පියවර ගන්නා බවත් හයිරෙක්ස් සිපෙට්කෝ, ලිහිසි තෙල් සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බවද කීය.

නිරිතදිග පාකිස්තානයේ ප්‍රබල භූ®මි කම්පාවක්

Jan 20,2011
නිරිතදිග පාකිස්තානයේ ඊයේ අලුයම ප්‍රබල භූමිකම්පාවක් සිදු විය. බියටපත් ජනතාව නිවෙස්වලින් එළියට පැන ජීවිතාරක්ෂාව පතා දුවගොස් ඇති අතර එම භූ®මිකම්පාව ඉන්දියාව හා ගල්ෆ් ප්‍රදේශයට ද දැනී තිබේ.
ඇෆ්ගන් දේශසීමාවට සමීපව දාල් වන්දින් නගරයට කි. මී. 50ක් දුරින් ඇති වු භූමිකම්පාව රිච්ටර් මාපකයේ 7.2ක ප්‍රබලත්වයෙන් යුක්ත වී තිබේ.
අලුයම සීතලේ බියටපත් ජනතාව හිස් ලූලූ අත දිවයනු රූපවාහිනී දර්ශනවලින් දැක්විණ. ඔවුන් කුරාන පාඨ මුමුණන අයුරුද දක්නට ලැබිණ.
විසිරුණු ජනගහනයකින් යුත් මේ ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පාවෙන් පසු සහන කණ්ඩායම් දැඩි සූදානමකින් පසු වූ නමුදු ඔවුන් ක්ෂණිකව කැඳවීමක් හෝ ජීවිත හෝ දේපළ හෝ හානි සිදු වූ බවක් හෝ වාර්තා වී නොතිබිණි.
භූමිකම්පාව නිසා හටගත් කම්පනය ඉන්දියාවේ නවදිල්ලි අගනගරය දක්වා කි. මී. 1300ක් තරම් දුරට දැනී තිබිණ. වයඹදිග ඉන්දියාවේ තවත් ප්‍රදේශවල දී කම්පනය පැතිර තිබිණ.
තවද ඩුබායි හා අබුඩාබි දක්වා ද මේ කම්පනයන් පැතිරී ඇත. භූ කම්පනය කි. මී. 84ක් ගැඹුරේ හටගත් බවද සඳහන් ය. එහි කේන්ද්‍රය බලුකිස්තාන ප්‍රාන්තයේ කරාන් නගරයෙන් කි. මී. 55ක් දුරින් පිහිටියේ ය.
පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර ගැනීම ඇරඹෙයි
පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර ගැනීම ඇරඹෙයි
Jan 20,2011
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අදින්(20) ආරම්භ වේ.

ලබන 27 වැනිදා වන තෙක් නාමයෝජනා භාර ගැනීම ඒ ඒ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් ඉදිරියේ සිදුකෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරනු ලැබීය.

රාජකාරී වේලාව ඇතුළත නාමයෝජනා පත්‍ර භාරදීමේ හැකියාව ඒ ඒ දේශපාලන පක්ෂවලට සහ ‍ස්වාධීන කණ්ඩායම් වලට හිමිවෙයි.

නාමයෝජනා භාරදීමට අපේක්ෂා කරන ස්වාධීන කණ්ඩායම් විසින් ලබන 28 වනදාට පෙර ඇප මුදල් තැන්පත් කළ යුතු වන අතර ස්වාධීන අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු ඇප මුදල රුපියල් 250 කි.

මේ අතර අදින් ඇරඹෙන නාමයෝජනා භාර ගැනීමේ කටයුතු හේතුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පොලිස් ආරක්ෂාව තර කිරීමට ද පියවර ගෙන තිබේ.

මෙවර පළාත් පාලන මැතිවරණය පළාත් පාලන ආයතන 301ක් සඳහා පැවැත්වීමට නියමිතය.

මැතිවරණය ලබන මාර්තු මස 12 වැනිදා පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය දී මු ජයරත්න මහතා ඊයේ(19) ප්‍රකාශ කළේය.

සෙසු පළාත් පාලන ආයතන 34හි ඡන්ද විමසීම පසුව පැවැත්වීමට රජය සැලසුම් කර ඇත.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් මෙම පියවර ගත් බව රජය මීට පෙර ප්‍රකාශ කර තිබුණි

කැෆේ සහ පැෆරල් වෙතින් ඉල්ලීම් 2 ක්
Jan 20,2011
එළඹෙන පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා ලැයිස්තු සකස් කිරීමේදී තරුණ හා කාන්තා දායකත්වය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කරයි.

ශක්තිමත් පළාත් පාලනයක් ස්ථාපිත කරන්නට නම් එය අත්‍යවශ්‍ය බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අද දෙරණට කියා සිටියේය.

මේ අතර නාම යෝජනා වරම් ලබන සියලුම පක්ෂවල සියලුම අපේක්ෂකයින් පවත්නා මැතිවරණ නීතියට අනුව කටයුතු කරන්නැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඉල්ලීමක් කරයි.

විශේෂයෙන්ම මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරක කටයුතු වලදී පරිසර හිතවාදී ප්‍රචාරණ ක්‍රමවේදයක් ‍යොදා ගැනීමට ක්‍රියා කරන ලෙස හෙතෙම වැඩිදුරටත් ඉල්ලා සිටියි.

කෙසේ වෙතත් මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම හෙට දිනයෙන්(20)ආරම්භ වන අතර 27 වන දින දහවල් 12.00 වන තුරු නාමයෝජනා බාරගැනීම සිදුකෙරෙනු ඇත.

No comments:

Post a Comment