Pages

Wednesday, January 12, 2011

වැලිඔය හමුදා මූලස්ථානය පදවි වැව් ජලයෙන් යටවෙයි
අනුරාධපුර සමූහ – අශෝක සේනාරත්න
පදවිය වැව පිටාර ගැලීමෙන් වැලිඔය හමුදා මූලස්ථානයේ කොටසක් දින තුනක් තිස්සේ ජලයෙන් යටවී තිබේ. පෙරේදා (10 දා) රාත්‍රී ඇදහැළුණු ධාරාණිපාත වැස්සත් සමඟ පදවිය වැවේ වාන් දොරටුවලින් පිට කෙරෙන ජල ප්‍රමාණය වැඩිවී ඇති බව පදවිය වාරිමාර්ග ඉංජිනේරු ඩී. එම්. පියදාස මහතා පවසයි.
වාන් ජලයට යටවීමෙන් පදවිය ව්‍යාපාරයේ බිසෝකොටුව ඩී. එක ඩී 42 ප්‍රදේශවල වී වගාවන් අක්කර දහසක් පමණ ජලයෙන් යටවී ඇති බව හෙතෙම කියයි. වාන් නොදමන වැවක් ලෙස හඳුන්වනු ලබන වාහල්කඩ ජලාශය තවත් අඩි තුනක් ජලයෙන් පිරුණොත් පිටාර ගලන බව පියදාස මහතා පවසයි.
පෝය නිවාඩු අහෝසි කර නෑ
Jan 12,2011
පෝය නිවාඩුව සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය ගෙන යන සාවද්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් පෝය නිවාඩු කිසිවක් අහෝසි කර නොමැති බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා  පැවැසීය.
මේ නිසා රජයේ බැංකු හා දෙපාර්තමේන්තු සඳහා පෝය නිවාඩු ඒ අයුරින් ක්‍රියාත්මක කෙරෙන බව පවසන සෙනෙවිරත්න මහතා, කමිටුවක් මඟින් ඉදිරියේදී නිවාඩු පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව ද කීය.

සුදු කොඩියේ වීඩියෝ සාක්ෂි සටහන් කරගැනීම අවසන්
සුදු කොඩියේ වීඩියෝ සාක්ෂි සටහන් කරගැනීම අවසන්
Jan 11,2011
සුදු කොඩි ප්‍රකාශය පිළිබඳ නඩුවේ වීඩියෝ සාක්ෂි සටහන් කරගැනීම අද(11) අවසන් විය.

කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවෙහි අද මෙම සාක්ෂි සටහන් කරගැනීම සිදුවිය.

ඒ අනුව පසුගිය ජනාධිපතිවරණ සමයෙහි 2009 දෙසැම්බර් මස 24 වන දින විත්තිකාර සරත් ෆොන්සේකා මහතා රත්නපුරයේදී පැවති ජන රැළියකදී කළ කතාවක කොටසක් අධිකරණය හමුවෙහි ප්‍රදර්ශනය කරනු ලැබීය.

ඒ අනුව මෙම වීඩියෝ දර්ශනය අඩංගු කොටස තමන් විසින් ප්‍රවෘත්ති ප්‍රකාශයේදී ඉදිරිපත් කළ බව එම ප්‍රකාශය හඳුනාගෙන සාක්ෂි දුන් දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදක චතුර අල්විස් මහතා සඳහන් කළේය.

ඉන් අනතුරුව පසුගිය වසරේ දෙසැම්බර් 14 වන දින සරත් ෆොන්සේකා මහතා ඔහුගේ දේශපාලන කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉදිරිපත් කළ අදහස් ද අධිකරණය හමුවෙහි ප්‍රදර්ශනය කරනු ලැබීය.

එය තමන් විසින් රූගත කළ බව එම දර්ශන වල අනන්‍යතාවය තහවුරු කළ සිරස රූපවාහිනී ආයතනයේ කැමරා ශිල්පී නන්දන ගුණසේන සඳහන් කළේය.

අනතුරුව සිරස ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සංගීත් කළුබෝවිල විසින් ද එම ප්‍රකාශය තම ආයතනය මගින් ප්‍රචාරය කළ බවට අධිකරණය හමුවෙහි ප්‍රකාශ කර සිටියේය.

වීඩියෝ සාක්ෂි සටහන් කරගැනීම ඉන් අනතුරුව අවසන් කළ අතර වැඩිදුර නඩු විභාගය හෙට(12) දිනට කල් තැබුණි.
Jan 11,2011
පළමු වරට පැවැත්වෙන දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙල 2011 අගෝස්තු මස 22 සිට 29 දක්වා හම්බන්තොට සහ ආරුගම්බේ හි දී පැවැත්්වීමට නියමිතය.
දකුණු ආසියානු කලාපයේ රටවල් අටක් සහභාගිවන වෙරළ ක‍්‍රීඩා උළෙලට වොලිබෝල්, දැල්පන්දු, පැසිපන්දු, පාපන්දු, කායවර්ධන, කබඩි, පිහිනුම්, රුවල් ඔරු, ක‍්‍රිකට්, තුන් ප‍්‍රයාම සහ අත්පන්දු යන ඉසව් 11ක් ඇතුළත් වේ.

දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙලේ නිල ලාංඡනය ජනවාරි 20 දා ගාල්ලේ දී එළිදැක්වීමට නියමිතයි.
අම්පාරට යළිත් ධාරාණිපාත වැසි
Jan 11,2011
අම්පාර දිස්ත්‍රික්කයට අද (11) උදෑසන සිට යළිත් ධාරාණිපාත වැසි ඇද හැළෙන බව දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා පැවසීය.
අම්පාර ප‍්‍රදේශයේ  ගංවතුර තත්ත්වය දරුණු වෙමින් පවතින අතර, අම්පාර වැව කැඞී යාමේ අනතුරක්ද පවතින බවත්, නවගම්පුර හා හිඟුරාණේ ජල මට්ටමද ඉහළ නැග ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
විපතට පත් ජනතාවට සහන සැලසීම ගැන සෑහීමට පත්වෙන්න බෑ
විපතට පත් ජනතාවට සහන සැලසීම ගැන සෑහීමට පත්වෙන්න බෑ
Jan 11,2011
ශ්‍රී ලංකාවේ ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව සැහීමට පත්විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

මෙම ගංවතුර මෑතකාලීනව ශ්‍රී ලංකාවේ සිදුවූ භයානකම ස්වභාවික විපත බවත්, ලක්ෂ 09 ක පමණ ජනතාවක් ඉන් පීඩාවට පත්ව සිටින බවත් ඔහු පෙන්වාදෙයි.

එම ජනතාවට සහන සැලසීම සඳහා රජය තවමත් අනුගමනය කරනු ලබන්නේ සාමාන්‍ය ක්‍රියා මාර්ග පමණක් බවත් අද(11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අත්තනායක මහතා සඳහන් කළේය.

විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ සම්බන්ධතාවයක් මෙන්ම අමාත්‍යාංශ අතර මනා සම්බන්ධීකරණයක් අවශ්‍ය බවද හෙතෙම කියා සිටියේය.

එමෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා උතුර හා නැගෙනහිර ඇතුළු සියලු පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් වන බව ද මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

කිසියම් පක්ෂයක් හෝ කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂ සමග එක්ව තරග කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඔවුන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගත යුතු බව ද තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියේය.
ඕස්ට්‍රේලියාවේ ගංවතුරෙන් විපතට පත් ජනයාට ශ්‍රී ලංකාවෙන් තේ කොළ ආධාර
ඕස්ට්‍රේලියාවේ ගංවතුරෙන් විපතට පත් ජනයාට ශ්‍රී ලංකාවෙන් තේ කොළ ආධාර
Jan 11,2011
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට බලපා ඇති දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහනාධාරයක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් තේ කොළ තොගයක් ප්‍රදානය කර තිබේ.

ක්වීන්ස්ලන්තයට බලපෑ මෙම ගංවතුර තත්ත්වය නිසා වැඩි ඕස්ට්‍රේලියානු ජාතිකයින් පිරිසක් විපතට පත්ව ඇත.

විදේශ කටයුතු අමාත්‍ය ජී එල් පීරිස් මහතා විසින් මෙම තේ කොළ තොගය ඊයේ(10) එම අමාත්‍යාංශයේදී වැඩ බලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සොෆියා මැක්ල්න්ටයිරේ මෙනෙවිය වෙත බාර දී ඇති බව සඳහන්ය.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කිරීම සඳහා මෙම ප්‍රදානය ඉවහල් වනු ඇති බව ද මෙහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. 

No comments:

Post a Comment