Pages

Saturday, January 8, 2011


ග්‍රේෂන් ආනන්ද ගේ එකම පුත් මරියෝ ආනන්ද අබේකෝන්

අපි අපේ වුණේ දේව කැමැත්තට. දෙවියන් වහන්සේ මගේ පියා විදියට ඔබ මට තිළිණ කරලා තිබුණා. ඔබත් මාව ආදරෙන් බාර ගන්න ඇත්තේ දේව තිළිණයක් විදියට වෙන්න ඇති. අපට බොහොම පුංචි කාලයයි දෙවියන් වහන්සේ එකට ඉන්න වෙන් කරලා තිබුණේ. පසුගිය සති අන්තයෙන් ඒ පුංචි කාලෙත් නිමා වුණා.
ග්‍රේෂන් කුඩා අවදියේදී
ඔබව රෝහලේ තනි කරල ගෙදර ගිහින් එන්න ගිය ටිකට ඔබ අපි සියලු දෙනාමත්, ඔබට වසර ගණනක් පුරා ආදරය කරපු රසික රසිකාවියනුත් අතහැරලා දෙව් මව් තුරුලේ සුවසේ සැතපුණා. මේ රටේ රසික ජනතාව ආදරය කරපු ග්‍රේෂන් ආනන්ද කියන ජනප්‍රිය ගායකයාගේ එකම පුතු වෙන්න ලැබුණ එක ගැන අද මට සතුටුයි. ඔබ මට තිබ්බේ මරියෝ ආනන්ද අබේකෝන් කියලා.
පුංචි කාලේ තාත්තත් එක්ක ගත වුණු සොඳුරු මතක ගැන ඒ තරම් අදහසක් මට නෑ. අපි වැඩිපුර හැදුණේ අම්මත් එක්ක. තාත්තා නිතරම ගෙදර හිටියේ නෑ. ඒත් සමහරදාට තාත්තත් එක්ක සංගීත සංදර්ශණවලට ගිය හැටි මට යම්තම් මතකයි.
තාත්තත් එක්ක ඉතාම සමීපව මට කටයුතු කරන්න අවස්ථාව ලැබුණේ පසුගිය අවුරුදු තුන ඇතුළතයි. ඒකට විශේෂම හේතුව වුණේ අපේ අම්මයි තාත්තයි දෙන්නාගේ වෙන්වීම. මේ ගැන කතා කළාට මගේ අම්මවත් දෙව් මව් තුරුලේ සැතපෙන තාත්තවත් මට වෛර කරන එකක් නෑ. ඒක තමයි යථාර්තය.
ජනපතිතුමන් අවසන් ගෞරවය දක්වමින්
මේ වෙන්වීම නිසා පුරා අවුරුදු දෙකක් මම මගේ තාත්තව ඇස් දෙකෙන් දැක්කෙවත් නෑ. මම අ. පො. ස. සාමාන්‍ය පෙළ පංතියේ ඉන්න කොට අම්ම මට නිදහස දුන්නා තනියෙන් ස්කෝලෙට එන්න යන්න. එතකොට තමයි තාත්තා මාව බලන්න ඉස්කෝලෙ ළඟට එන්න යන්න ගත්තේ. ඊට පස්සෙ මමත් තාත්තා එක්ක ගමන් බිමන් යන්න පටන් ගත්තා.
මේ සමීපවීමත් එක්ක තාත්තාගේ හිතේ අපි ගැන කොයි තරම් ආදරයක් තියනවද කියන එක ගැන මගේ හිතට දැනුණා. ඊට පස්සේ අපි දෙන්නා හොඳ යාළුවෝ වගේ වුණා. මම කොයි තරම් තාත්තා වෙනුවෙන් කැප වුණා ද කියනවා නම් මගේ පෞද්ගලික ජීවිතේ පවා අමතක කරලා එයා පස්සෙන් වැටුණා.
තාත්තට උවමනාව තිබුණේ අධ්‍යාපනය පැත්තෙන් මම ඉහළට යනවා දකින්න. පසුගිය අවුරුද්දෙ මට A/L කර ගන්න බැරි වුණා. තාත්තගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්න මේ අවුරුද්දෙ කොහොම හරි මමA/L කරනවා.
අම්මා - තාත්තගේ වෙන්වීමෙන් පස්සෙ තාත්තා ගැන අපැහැදිලි චිත්‍රයක් මගේ මනසේ මැවුණත් පසුගිය කාලයේදී ඒ ඇඳුණු චිත්‍රය නිවැරදි නෑ කියලා මට හිතුණා. ඒ තරම් ආදරයක්, දරු කැක්කුමක් තාත්ත ළඟ තිබුණා කියලා මට දැනුණා. මත්පැන් නිසා තාත්තා විපතට පත් වුණා තමයි. ඒ මොන දේ කළත් එයා අපේ තාත්තා.
අක්කගේ හිතේත් තාත්ත ගැන තිබුණේ අපැහැදීමක්. ඒත් තාත්තා කලකට ඉස්සර අසනීප වෙලා නවලෝකෙ නවත්තල ඉන්න කොට අක්කා ආවා තාත්තා බලන්න. තාත්තගේ ඔලුව අත ගාලා එයා බොහොම ආදරෙන් තාත්තට කතා කළා.
ඊට පස්සෙ නිතරම අක්කත් තාත්තට කතා කරන්න ගත්තා. දුරකථනයෙන් දුක සැප විමසුවා. තාත්තා ඒ ගැන කොච්චර සතුටු වුණාද කියනවා නම් මට දවසක් කියනවා ‘පුතේ දැන් අක්කත් නිතරම මං ගැන හොයනවා’ කියලා. අක්කයි තාත්තයි මුණ නොගැසුණු කාලේ මම මැදිහත්වෙලා සිංදුවක් හැදුවා.
ඒක අක්කගේ කොටස අක්කා වෙනම ගායනා කළා. තාත්තගේ කොටස තාත්තා ගායනා කළා. අක්කා දැනගෙන හිටියේ නෑ ඒක තාත්තා එක්ක කරන යුග ගීතයක් කියලා. අන්තිම කාලේ තාත්තා කරපු අවසන් රූපවාහිනී වැඩ සටහනට අක්කා ඒක තාත්තත් එක්කම ගායනා කළා.
මේ පාර තාත්තා අසනීප වෛලා ඉස්පිරිතාලෙ ඉන්න කොට එයා අපිව දාලම යයි කියලා මට හිතුණේ නෑ. ඔපරේෂන් එකෙන් සනීප වෙයි කියලා හිතුණා. තාත්තා මාසයක් විතර රෝහල් ගත වෙලා හිටියා.
අන්තිම දවස් දෙක විතරයි කතා නැතිව හිටියේ. එයාගේ ටෙලිෆෝන් දෙකම මගේ ළඟ තිබුණා. නොයෙක් දෙනාගෙන් තාත්තට කෝල්ස් ආවා. සංගීත සංදර්ශණවලට ආරාධනා ආවා. අමාරුවෙන් ඉන්න කොට මම එයාට කනට කරල කිව්වා රසිකයන් පිනවන්න ඔයා ඕන. ඒ නිසා ඔයා ඉන්න ඕන කියලා.
තාත්තා කැමැති වුණා මම සංගීත ක්ෂේත්‍රයට එනවට. එයා මගේ හඬ හා ගායනා හැකියාව දැකලා කිව්වා ඔයාට හැකියාව තිබෙනවා.
අධ්‍යාපනය හොඳට ඉවර කරගෙන ඉන්න කියලා. ‘සිහින අහසේ වසන්තේ’ සින්දුව දවසක් රූපවාහිනී වැඩ සටහනකට තාත්තයි මමයි කිව්වා.
අන්තිම කාලේ තාත්තට මමයි අක්කයි දෙන්නම හිටියා. එයාට උවමනාව තිබුණේ ගෙයක් ලැබුණම ආයිත් අපි හතර දෙනාම එක තැනකට එන්න.
‘අම්මා එයිද පුතේ’ කියලත් මගෙන් අහලා තියනවා. මගේ බලාපොරොත්තුව තිබුණේ අම්මව රෝහලට එක්ක ගෙන ඇවිත් තාත්තව මුණ ගස්සවන්න. ඒත් ඒක විතරක් මට කර ගන්න බැරි වුණා. ඊට කලින් එයා අපිව දාලා ගියා.
අම්මටත් ඇත්තටම මේක මහා ලොකු වේදනාවක් වෙන්න ඇති. එයා තාත්තට හරියට ආදරය කළා. ඒ කාලේ අම්ම කෙනෙක් වගේ එයාව බලා ගත්තා.
එයා හොර රහසේ යාඥා කරනවා ඇති. තාත්තා කිය කියා හිටියේ අම්මත් එක්ක කිසි තරහක් නෑ කියලා. අම්මත් කිව්වා එයා තාත්තා එක්ක තරහ නෑ කියලා. තාත්තා එක්ක ගමනක් යන්න බලාපොරොත්තුවක් තිබුණා. ඒත් ඒවා වෙනස් වුණා.
නොයෙක් දෙනා නොයෙක් දේ කිව්වත් කොච්චර මත්පැන් ගත්තත් ග්‍රේෂන් ආනන්ද කියන්නේ මගේ තාත්තා. ඔයාගේ පුතා මමයි කියලා කියන්න මට ලැජ්ජාවක් නෑ. ආඩම්බරයක් මිසක්.
අපෙන් දුරක ගිය ආදරණීය තාත්තේ, ඔයා හොඳ කතෝලික බැතිමතෙක්. දෙවියන් වහන්සේ කෙරෙහි ඔයා විශ්වාසය තැබුවා. ඔබේ කටහඬ ඔබ කිව්වෙ ඔබට දෙවියන් වහන්සේ දුන්නා කියයි. තමන්ගේ වාසියට ඔබ කිසි දවසක ආගම පාවලා දුන්නේ නෑ. ඒ හින්දා ඔයාට සන්තෝසෙන් දෙව් මව් තුරුලට යන්න පුළුවන් වුණා.
මම විශ්වාස කරනවා ඔයා අපි එනකම් ස්වර්ගයේ ඉන්නවා කියලා. බොහොම කෙටි කාලයක් ඔයාගේ හද ගැස්ම ස්පර්ශ කළ මට මේ වියෝව බොහොම තදින් දැණේවි. මේ වැටෙන්නේ දිගු කලක් විඳින්නට නොහැකි වූ පිය සෙනෙහස වෙනුවෙන්ම හෙළන කඳුළක්!

 

ලහිරු පෙරේරා මැයි මස යුග දිවියට

මේ වසරේ මැයි මාසයේදී තමා යුග දිවියට එළඹීමට සුදානම් වන බව රම්බරි ගීතය තුළින් වඩාත් ජනප‍්‍රියත්වයට පත් ලහිරු පෙරේරා පවසයි.
ඔහුගේ පෙම්වතිය වන නීපමා දැනට රජයේ බැංකුවක සේවය කරමින් සිටියි.

ලහිරු-නීපමා ආදර කතාවට වසර 8 ක් ගතවී ඇති අතර උසස් පෙළ රසායනික විද්‍යා පන්තියකදී ඔවුන්ගේ පේ‍්‍රමය ඇරඹී ඇත.

මීට අමතරව, තමා ලබන මාසයේදී ”ලැබැඳේ” නම් නව ආදර ගීයක් එළිදැක්වීමට නියමිත බවද ලහිරු පෙරේරා පවසයි.

මෙම ගීතයේ මියුසික් වීඩියෝව ද මේ වන නිර්මාණය කර ඇති බවත් එහි සංස්කරණ කටයුතු මේ දින වල සිදුකරගෙන යන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

No comments:

Post a Comment