Pages

Thursday, January 6, 2011

තිසර සමරසිංහ ඕස්ට්‍රේලියාවේ මහ‍ කොමසාරිස් ධුරයට?
තිසර සමරසිංහ ඕස්ට්‍රේලියාවේ මහ‍ කොමසාරිස් ධුරයට?
Jan 06,2011
නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ‍ කොමසාරිස්වරයා ලෙස පත්කිරීමට යෝජිතව තිබේ.

තිසර සමරසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ‍ලෙස පත්කිරීමට දැනටමත් යෝජනා වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

තිසර සමරසිංහ මහතා විශ්‍රාම යෑමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදුකරනු ඇති බව වාර්තා වේ.

2009 ජූලි මස 15 වැනිදා තිසර සමරසිංහ මහතා නාවික හමුදාපති ධුරයට පත්විය.

මෙතෙක් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළ සේනක වල්ගම්පාය මහතාගේ ධුර කාලය පසුගිය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් විය.

ඒ අනුව මේ වන විට එම ධුරය පුරප්පාඩු වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනු ලැබීය.
කොටුව -මහනුවර දුම්රියට ආසන වෙන් කිරීම ජංගම දුරකථනයෙන්
කොටුව -මහනුවර දුම්රියට ආසන වෙන් කිරීම ජංගම දුරකථනයෙන්
Jan 06,2011
සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය නිමවන තුරු කොළඹ -කොටුව මහනුවර නගරාන්තර දුම්රිය සඳහා ආසන වෙන් කිරීම ගාස්තුවකින් තොරව ජංගම දුරකථන හරහා සිදුකිරීමේ අවස්ථාව දුම්රිය මගීන්ට උදාවී තිබේ.

ජංගම දුරකථන අංක "365" ඇමතීම මගින් කොළඹ කොටුව, මහනුවර නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්‍යක්ෂ විජය සමරසිංහ මහතා සඳහන් කළේය.

ඉදිරි කාලයේදී වව්නියාව සහ මඩකළපුව නගරාන්තර දුම්රිය සඳහා ද ජංගම දුරකථන මගින් ප්‍රවේශපත්‍ර වෙන් කිරීමේ ක්‍රමවේදය හඳුන්වාදෙන බව විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. 
සංගණනයට අදාළ ගොඩනැගිලි ලේඛනගත කිරීම් ලබන මස ඇරඹෙයි
Jan 06,2011
2011 වසරේ පැවැත්වෙන ජාතික ජන සංගණනයට අදාළ ගොඩනැගිලි ලේඛනගත කිරීම් ලබන මාසයේදී ආරම්භ කරන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනපුරා සිටින ග්‍රාම නිලධාරීවරුන් මාර්ගයෙන් ලේඛනගත කිරීම් සිදුකරන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුරංජනා විද්‍යාරත්න මහත්මිය සඳහන් කළාය.

මේ වන විට ජන සංගනණයට අදාළ සිතියම් සකස් කර අවසන් බවත් මේ වසරේ තෙවන කාර්තුවේදී පුද්ගලයින් සංගණනය කිරීමේ කටයුතු ද ආරම්භ කරන බවත් ඇය කියා සිටියාය.

මෙම සංගනණය මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදුකෙරෙන අතර වසර 30 ට පසුව මෙවැනි සංගණනයක් සිදුකිරීම විශේෂත්වයකි
නිරුවත් ඡායාරූප ගත් සැකකාර දොස්තරට ඇප
Jan 06,2011
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට තමන් වෙත පැමිණෙන රෝගී කාන්තාවන්ගේ සහ පාසල් දැරියන්ගේ නිරුවත් ඡායාරූප රහසිගතව ලබාගත් බවට සැක පිට අත්අඩංගුවට ගෙන කෑගල්ල රක්ෂිත බන්ධනාගාර ගත කළ හෙම්මාතගම රජයේ රෝහලේ සහකාර වෛද්‍යවරයා ඊයේ (5) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු විත්තිකාර වෛද්‍යවරයාට මාවනැල්ල මහේස්ත්‍රාත් දිසා විනිසුරු එස්. යූ. බී. කරල්ලියද්ද මහතා රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප තුනක් හා මුදලින් රුපියල් පනස්දාහක ඇපයක් මත නිදහස් කළේය.
මාවනැල්ල මහේස්ත්‍රාත් දිසා විනිසුරු එස්. යු. බී. කරල්ලියද්ද මහතා විසින් ඇප මත නිදහස් කරනු ලැබුවේ හෙම්මාතගම රජයේ රෝහලේ සහකාර වෛද්‍ය උපුල් සුරේන්ද්‍ර හැදලගේ නැමැත්තෙකි.
ජාතික ළමාරක්ෂක අධිකාරියේ පොලිස් පරීක්ෂක එන්. කදිරගාමර් මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටිමින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ පොලිස් විමර්ශන කටයුතු අවසන් කර ඇති නිසා විත්තිකරුට ඇප නියම කිරීමට විරුද්ධත්වයක් නොමැති බවයි.
විත්තිකාර වෛද්‍යවරයා ඇමැතූ මහේස්ත්‍රාත්වරයා ඇප නියම කිරීමෙන් පසු මේ නඩුවේ සාක්කිකරුවන්ට බලපෑම් තර්ජන කිරීම් නොකළ යුතු බවට අවවාද කළ අතර සෑම මාසයකම අවසාන ඉරු දින උදේ 9 සිට දවල් 12 ත් අතර කාලය තුළ ළමාරක්ෂක අධිකාරියේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කළහ. පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ සුරේකා විමලසුරිය සහ නීතිඥ ලක්ෂ්මී ප්‍රනාන්දු පෙනී සිටියහ.
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල ජයසේකර
Jan 06,2011
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් බන්දුල ජයසේකර මහතා පත්කර ඇත.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ සංවර්ධන හා සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ඒ මහතා ලේක්හවුස් ආයතනයේ “ඩේලිනිව්ස්” පුවත්පතේ කතුවරයා වශයෙන් ද කැනඩාවේ ටොරොන්ටෝනි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා වශයෙන් ද කටයුතු කර තිබේ.
ඊට අමතරව බන්දුල ජයසේකර මහතා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා වශයෙන්ද කටයුතු කර ඇත.
සුදු කොඩි නඩුව අද යළි විභාගයට
Jan 06,2011
සුදු කොඩි ප්‍රකාශය පිළිබඳ නඩුව අද(06) යළි විභාගයට ගැනීමට නියමිතව තිබේ.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේය.

පසුගිය මස 16 වන දින අවසන් වරට සුදුකොඩි නඩුව විභාගයට ගැණුනු අතර එහිදි මුල් වීඩියෝ පටය නොමැතිව සුදුකොඩි ප්‍රකාශය පිළිබඳ නඩුවේ සාක්ෂි මෙහෙයවීමට කොළඹ මහාධිකරණ අවසර දෙනු ලැබීය.

ඒ අනුව සංස්කරණය කරන ලද දර්ශන ඇතුළත් වීඩියෝ පටය පාදක කරගනිමින් සාක්ෂි මෙහෙයවීම සිදුකෙරෙනු ඇත
පුද්ගලික බස් රථ හිමියන් හා මගී ප්‍රවාහන අධිකාරිය අතර සාකච්ඡාවක්
Jan 06,2011
පෞද්ගලික බස් රථ හිමියන් සහ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද(06) පැවැත්වීමට නියමිතව තිබේ.

පෞද්ගලික බස් හිමියන් ලබන 11 වැනිදා දියත් කිරීමට සූදානම් වන වර්ජනයට හේතුවන කරුණු සම්බන්ධයෙන් එහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා වනු ඇත.

මෙම සාකච්ඡා සාර්ථකව අවසන් වේ යැයි තමාට විශ්වාස කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

එහිදී කිසිවිටකත් සිය සේවකයින්ගේ වෘත්තීය පාවා දීමට කටයුතු නොකරන බව ද ගැමුණු විජේරත්න මහතා අවධාරණය කර සිටියේය.

අවම බස් ගාස්තුව රුපියලකින් ඉහළ නැංවීම සහ අනවශ්‍ය ආකාරයෙන් ලබාදෙන බස් රථ බලපත්‍ර වහා නැවැත්වීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් පෞද්ගලික බස් හිමියන් මෙම වැඩවර්ජනයට සූදානම් වෙයි. 

No comments:

Post a Comment