Pages

Wednesday, January 5, 2011

නාවලපිටියෙන් හොර රූපවාහිනී මධ්‍යස්ථානයක්
Jan 05,2011
නාවලපිටිය කඩිඇල්ල ප්‍රදේශයේ නිවසක රහසිගතව පවත්වාගෙන ගිය රූපවාහිනී මධ්‍යස්ථානයක් නාවලපිටිය පොලිසිය විසින් වටලා තිබේ.

මෙම වැටලීම සිදුකරන අවස්ථාවේදී එම රූපවාහිනී මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට හැකි වු බවද නාවලපිටිය පොලිසිය සඳහන් කරයි.

එහි තිබී විශාල ප්‍රමාණයේ ඇන්ටනාවක් , පරිගණක සහ රූපවාහිනී තරංග විසුරුවා හැරීමට යොදාගන්නා උපකරණ ඇතුළු විශාල උපකරණ තොගයක් පොලිස් භාරයට ගැනීමට හැකි වී තිබේ.

වසර ගණනාවක් තිස්සේ මෙලෙස මෙම රූපවාහිනී මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බව නාවලපිටිය පොලිසිය සඳහන් කරයි.

අදාළ රූපවාහිනී මධ්‍යස්ථානය මගින් ඉන්දියාවේ විකාශනය වන වැඩසටහන් නාවලපිටිය ප්‍රදේශයේ විසුරුවා ඇති බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියි.
රුපියල් හයේ අවම ගාස්තුව ඉහළ දමන්නට දෙන්නේ නෑ
Jan 05,2011
රුපියල් 6 ක් වන අවම බස් ගාස්තුව කිසිසේත් ඉහළ දැමීමට ඉඩ නොදෙන බව බස්නාහිර පළාත් මර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය පවසයි.

පෞද්ගලික බස් රථ හිමියන් අවම ගාස්තුව ඉහළ නැංවීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීම අසාධාරණ බව එහි සභාපති පියසේන දිසානායක මහතා පවසයි.

අවම ගාස්තුව ඉහළ නැංවීම සඳහා කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ද රජයේ ‍ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(05)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දිසානායක මහතා සඳහන් කළේය.

එසේ වුවද පෞද්ගලික බස් රථ හිමියන් ඊයේ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ අවම ගාස්තුව රුපියලකින් ඉහළ දැමීමට ඉඩ නොදෙන්නේ නම් ලබන 11 වැනිදා වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අද මෙම කරුණු සඳහන් කරන ලදී.
බ්‍රිතාන්‍යයේ අවධානයට හේතුව එරට ද්‍රවිඩ ඡන්ද ගණන් බැලිල්ලයි-විකිලික්ස් කියයි
බ්‍රිතාන්‍යයේ අවධානයට හේතුව එරට ද්‍රවිඩ ඡන්ද ගණන් බැලිල්ලයි-විකිලික්ස් කියයි
Jan 05,2011
යුද්ධයේ අවසාන අදියර තුළ ශ්‍රී ලංකාව කෙරෙහි බ්‍රිතාන්‍යයේ විශේෂ අවධානය යොමුවී ඇත්තේ එරට වෙසෙන මුඛරි ද්‍රවිඩ ඩයස්පෝරාව නිසා බව විකිලීක්ස් වෙබ් අඩවියේ අලුත්ම ප්‍රවෘත්ති කේබලයක් මගින් අනාවරණය වී තිබේ.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන උපදේශක රිචර්ඩ් මිල්ස් විසින් ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් වෙත යවන ලද කේබලයක් උපුටා දක්වමින් විකිලීක්ස් විසින් මෙම කරුණු අනාවරණය කර ඇත.

ළඟ එමින් පැවති බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණයේදී ද්‍රවිඩ ජනයාගේ සිත දිනා ගැනීම ඉතා වැදගත් බවත්,ආණ්ඩු පක්ෂයට ප්‍රධාන විපක්ෂය අතර ඡන්ද පරතරය 300,000 ට ආසන්න ද්‍රවිඩ ජනයා වෙසෙන ප්‍රාන්ත වල ඉතා අඩු මට්ටමක පවතින බවත් බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු කාර්යාලයේ ශ්‍රී ලංකාවේ කටයුතු පිළිබඳ කණ්ඩායම් නායක ටිම් වෙයිට් සඳහන් කළ බව රිචර්ඩ් මිල්ස් මෙමගින් පෙන්වා දී තිබේ.

ඩේවිඩ් මිලිබෑන්ඩ් විසින් ඔහුගේ කාලයෙන් 60% ක් පමණ ‍ශ්‍රී ලංකාව ගැන සෙවීමට හා ද්‍රවිඩ ජනයා පිළිබඳ කතා කිරීමට යොදවා තිබුණේද මේ හේතුව නිසා බව ටිම් වෙයිට් තමාට කියා සිටි බව රිචර්ඩ් මිල්ස් කියා සිටියි.

මීට පෙරාතුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට සම්පූර්ණ සහය ලබාදීමට බ්‍රිතාන්‍ය තීරණය කර තිබුණු බවද,එසේ කරනු ලැබුවේද එරට ද්‍රවිඩ ජනයාගේ හිතෛෂිවන්ත භාවය ලබා ගැනීමට බව ද ප්‍රවෘත්ති කේබලයේ දැක්වේ.

එසේ වුවද රුසියාව,චීනය වැනි රටවල් පෙරටු කොටගත් නොබැඳි ජාතීන්ට අයත් රටවලද විශේෂ සහයෝගය ලබාගෙන ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයට ගෙන එන්නට නියමිතව තිබූ යෝජනාව වෙනුවට ශ්‍රී ලංකාවට පක්ෂපාතී යෝජනාවක් සම්මත කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට හිමිවිය යුතුව තිබූ ණය මුදල පමා කිරීමට බ්‍රිතාන්‍ය හා ඇමරිකාව එකඟත්වයකින් යුතුව කටයුතු කළ බව බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු කාර්යාලයේ ශ්‍රී ලංකාවේ කටයුතු පිළිබඳ කණ්ඩායම් නායක ටිම් වෙයිට් වැඩිදුරටත් ප්‍රකාශ කළ බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යැවූ කේබලයේ වැඩිදුරටත් සඳහන් වන බව විකිලීක්ස් අනාවරණය කරයි.
පළාත් පාලන ආයතන හෙට මධ්‍යම රාත්‍රීයේ විසුරුවයි.
පළාත් පාලන ආයතන හෙට මධ්‍යම රාත්‍රීයේ විසුරුවයි.
Jan 05,2011
පාලත් පාලන ආයතන හෙට මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. කෙසේ වෙතත් මේ පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ඒ.එල්.එම් අතාවුල්ල මහතා විසින් සිදු කරනු ඇති බව සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයා සඳහන් කරයි.

පළාත් පාලන ආයතන විසුරුවා හැරීමට නියමිතව තිබුණේ ලබන 10 වනදාය. පසුගිය වසරේ නිල කාලය අවසන් වීමට නියමිතව තිබූ එම පළාත් පාලන ආයාතන වල කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට පසුගිය වසරේ දී රජය තීරණය කර තිබිණි.
පාසලේ දී ක්ලාන්ත වූ සිසුවිය රෝහලේ දී දරුවකු ප්‍රසූත කරලා
Jan05,2011
වරකාපොල ප්‍රදේශයේ පාසලක් තුළදී 17 වියැති පාසල් දැරියකට ඊයේ (04) පස්වරුවේ ක්ලාන්තයක් සෑදී රෝහල් ගතකිරීමෙන් අනතුරුව ඇය මාස හතක් වයසැති දරුවකු බිහිකළාය.
මේ දරු උපත සිදුවී ඇත්තේ වරකාපොල රෝහලේදීය. අනතුරුව දරුවා සහ පාසල් සිසුවිය කෑගල්ල ශික්ෂණ රෝහලේ නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කර ඇත.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපතිගේ නිරීක්ෂණයට.

Jan 05,2011
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව නවීකරණ කටයුතු සිදු කෙරෙන කොලඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (4) නිරීක්ෂණය කළ අයුරු.

අයවැයෙන් වැඩි කළ දීමනාව ප්‍රථමයෙන් විශ්‍රාමිකයින්ටයි
Jan 05,2011
මෙවර අයවැයෙන් වැඩි කළ දීමනාව ප්‍රථමයෙන් විශ්‍රාමිකයින් සඳහා ලබා දීමට තීරණය කර තිබේ. ලබන 10 වැනිදා ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් සමග මෙම ඉහළ නැංවූ ජීවන වියදම් දීමනාව ලබා දීමට නියමිතව ඇත.

රාජ්‍ය සේවකයින් සඳහා දැනට ගෙවනු ලබන ජීවන වියදම් දීමනාව රුපියල් 300න් වැඩිකර මසක‍ට රුපියල් 2675ක් ජීවන වියදම් දීමනාව ලෙස ගෙවනු ඇති බව සඳහන් වේ. ලංකාවේ දැනට විශ්‍රාමිකයින් හාර ලක්ෂ හැට දෙදහස් හයසිය දහනව දෙනෙකු සිටින බව සඳහන් වේ.

වසර 30 ට පසු උතුරෙන් පොලීසියට බැදුණු අය 07 දා විසිරෙයි
Jan 05,2011
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට උතුරු පළාතෙන් බඳවා ගන්නා ලද දෙමළ තරුණ තරුණියන් පිරිසක් ලබන 7 වැනිදා විසිර යාමට නියමිතව තිබේ. මේ අයුරින් ශ්‍රී ලංකා පොලීසියට බඳවාගත් තරුණ තරුණියන් 336 දෙනෙක් ‍විසිර යාමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.

මේ ආකාරයට උතුරු පළා‍තෙන් දෙමළ තරුණ තරුණියන් පිරිසක් පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගෙන ඇත්තේ වසර 30 ට පසුව බව සඳහන් වේ. ජාතික සමගිය ඉහළ නැංවීමට මෙමගින් මනා පිටුබලයක් ලැබෙනු ඇති බව පැවසෙයි.

කාබනික පොහොර ගෙන්වන්නේ නෑ
Jan 05,2011
කාබනික පොහොර ආනයනය නතර කිරීමට පියවර ගන්නා බව ගොවිජන සේවා හා වනජීවී අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසයි. දේශීය පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ඔහු පවසයි.

සීමාසහිත ලංකා ‍පොහොර සමාගම පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද එස්.එම් චන්ද්‍රසේන අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඒ අනුව වී , තේ , රබර් වගාවන්ට අවශ්‍ය දේශීය පොහොර , පොහොර සහනාධාර වශයෙන් ලබා දීමට අපේක්ෂා කරන බව ද හෙතෙම පවසයි.

ඊට අමතරව එළවළු , පළතුරු හා මල් වගාවන් සඳහා ද අවශ්‍ය පොහොර මෙරට නිෂ්පාදනය කර බොදා හරින බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි

No comments:

Post a Comment