Pages

Sunday, January 16, 2011

තවදුරටත් වැසි බලාපොරොත්තු විය හැකියි
තවදුරටත් වැසි බලාපොරොත්තු විය හැකියි
Jan 16,2011
අද(16) දිනය තුළ ද වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස් මහතා පවසන පරිදි නැගෙනහිර , උතුරු , උතුරු මැද , මධ්‍යම සහ ඌව පළාත් වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයටත් තැනින් තැන වැසි ඇතිවිය හැකිය.

මීට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශ වලට සවස් කාලයේ වැසි ඇතිවිය හැකි බව හෙතෙම සඳහන් කරයි.

උතුරු සහ ඊ‍සාන දිග මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියි.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 38 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට විට විපතට පත් වූවන්ගේ සංඛ්‍යාව දස ලක්ෂ හැත්තෑ නව දහසක් පමණ වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අවතැන් කඳවුරු 435 ක විසි දහසකට වැඩි පිරිසක් තවදුරටත් රැඳී සිටියි.
බෝවන රෝග අවදානමක් නෑ
Jan 16,2011
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව අතර බෝ වන රෝග පැතිර යාමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පීඩාවට පත් වූවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීම සඳහා සියලු පියවර ගෙන ඇති බව අමාත්‍යාංශ්‍ය පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සාමාන්‍ය සේවාවන්ට අමතරව වි‍ශේෂ ජංගම කණ්ඩායම් 5ක් උතුරු මැද සහ නැගෙනහිර පළාත් වලට යොමු කර තිබේ.

එසේම ලෝක ජනගහන අරමුදලින් ගැබිණි මවුවරුන් වෙනුවෙන් විශේෂිත ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දී ඇති බව වාර්තා වේ.

මේ අතර සෞදි අරාබියානු රජය ද මෙරටට වෛද්‍ය කණ්ඩායමක් ‍එවීමට පියවර ගෙන තිබේ
ශ්‍රී ලංකාවට සහන සලසන්න එක්සත් ජාතීන් පෙරමුණ ගනියි
ශ්‍රී ලංකාවට සහන සලසන්න එක්සත් ජාතීන් පෙරමුණ ගනියි
Jan 16, 2011
අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ විපතට පත් ජනතාවට හදිසි සහන සැලසීමට ඉදිරිපත් වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. විපතට පත් වූවන්ට පිරිසිදු ජලය , ආහාර ද්‍රව්‍ය සහ මදුරුදැල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කඩිනමින් අවශ්‍යව ඇතැයි එම සංවිධානයේ නිත්‍ය නියෝජිත නීල් බෲනේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මේ අතර උතුරු නැගෙනහිර විපතට පත් ප්‍රදේශ වල බිම් බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය තවදුරටත් පැවතිය හැකි බැවින් විපතට පත් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ‍පියවර ගත යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී තිබේ.

මේ අතර රටවල් කිහිපයක් දැනටමත් විපතට පත් වූවන්ට සහන සැලසීම සදහා ඉදිරිපත් වී සිටින බවද සඳහන් වේ.

අමෙරිකා එක්සත් ජනපදය ඩොලර් ලක්ෂ 3ක පමණ අහාර ද්‍රව්‍ය ලබා දී ඇති අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ප්‍රැට්‍රිෂියා බියුටිනස් මහත්මිය පවසන්නේ විපතට පත් වූවන් වෙනුවෙන් තවත් සහනාධාර රැසක් ලබා දීමට පියවර ගෙන ඇති බවයි.

ජපානය ද යෙන් මිලියන 20ක සහනාධාර ශ්‍රී ලංකාවට ලබා දී තිබේ.

එසේම යුරෝපා සංගමය යූරෝ මිලියන 02ක හදිසි ආධාරයක් ලබා දීමට තීරණය කර ඇති බව සඳහන් වන අතරම ඉන්දියාව ඩොලර් මිලියන මුදලක් සහ ටොන් 25ක පමණ ආහාර ද්‍රව්‍ය තොගයක් මේ වන විටත් ලබා දී තිබේ.

මීට අමතරව කැනඩාව ද ආධාර ලබා දීමට ඉදිරිපත් ව ඇති බව වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකාවේ විපතට පත් ප්‍රදේශ වල සංචාරය කිරීම පිළිබඳ බ්‍රිතාන්‍ය වැසියන්ට එරට රජය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවද සඳහන් වේ. 
ඉන්දීය ගුවන් හමුදාපති අද ශ්‍රී ලංකාවට
ඉන්දීය ගුවන් හමුදාපති අද ශ්‍රී ලංකාවට
Jan 16,2011
ඉන්දීය ගුවන් හමුදාපතිවරයා නිල සංචාරයක් සඳහා අද(16) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඉන්දීය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් පී.වී.නයික් මහතාගේ මෙම සංචාරයේ දී මෙරට ආරක්ෂාව සම්බන්ධ කරුණු රැසක් සාකච්ඡා කෙරෙනු ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය පවසයි.

ඉන්දීය ගුවන් හමුදාපතිවරයා සිය සංචාරයේ දී ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ද හමුවීමට නියමිත බව සඳහන් වේ.

ඉන්දීය ගුවන් හමුදාපතිවරයාගේ තෙදින නිල සංචාරයේ දී ඔහු මෙරට ගුවන් හමුදා කඳවුරුවල ද සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය වැඩිදුරටත් පවසයි. 
පුනරුත්ථාපනය වූ හිටපු එල්. ටී. ටී. ඊ සාමාජිකයින් 78 ක් සමාජයට
Jan 15,2011
තෛපොංගල් උත්සවයට සමගාමීව පුනරුත්ථාපනය වූ තවත් හිටපු එල්. ටී. ටී. ඊ සාමාජිකයින් පිරිසක් සමාජගත කිරීම අද(15) සිදුකළ බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් සුදත්ත රණසිංහ මහතා පවසයි.

කාන්තාවන් 48 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 30 දෙනෙකු සමාජගත කිරීම සිදුකළ බව ඔහු සඳහන් කළේය.

යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ දී මෙම සමාජගත කිරීමේ උත්සවය සිදුකළ බව සුදත්ත රණසිංහ මහතා කියා සිටියේය.

මෙම සමාජගත කිරීමත් සමග පුනරුත්ථාපනය වන එල්. ටී. ටී. ඊ සාමාජිකයින්ගේ සංඛ්‍යාව 4,500 දක්වා අඩු වී ඇති බව ඔහු පැවසුවේය. 

No comments:

Post a Comment