Pages

Tuesday, January 25, 2011

nadee chandrasekara


ඒක මගේ ජීවිතයේ ලොකු කැළඹීමක්...
( වැඩි ප්‍රෙක්ෂකයින් පිරිසක් රංගන ශිල්පිණියක ලෙස ඇයව හඳුනගනු ලැබුවේ"අසනි වැසි ටෙලි නාට්‍යයේ මලිත්තිගේ චරිතය" තුළිනි. එමෙන්ම ඇයගේ පළමු ටෙලි නාට්‍ය වූ" අසනි වැසි"හි රංගනය වෙනුවෙන් ඇය සම්මානයට ද පාත්‍රවිය. මෑතකාලීනව විකාශය වූ රිදී ඉට්ටංකරය, සුවඳ හමන මනමාලි, කරුවල ගෙදර, ලාබයි ඇපල්, පිණි කුණාටුව, සිත් බිඳි රේඛා ආදිය නදීගේ රංගන දායකත්වය ලැබුණු තවත් ටෙලි නාට්‍ය කිහිපයකි. රංගනය මෙන්ම ගායන ශිල්පිණියක ලෙසත් ඇය සිය කලා දක්ෂතා ඉදිරිපත් කර තිබේ‍.මෙවර ආලින්දයට ගොඩවදින්නේ ඇයයි.)



*සම්පූර්ණ නම

කිත්තම්බාහුගේ දෝන හිමන්ති නදීකා චන්ද්‍රසේකර.

*උපන්දිනය

මැයි 03

*ලග්නය

කන්‍යා

*පළමු වෘත්තිය

රංගනය

*පදිංචිය

බත්තරමුල්ල,

*පවුලේ සාමාජිකයින්

අම්මා, අප්පච්චි, මල්ලි

*ඉතිං නදී කොහොමද ජීවිතේ? 
ගොඩක් හොඳයි. සතුටින් ඉන්නවා. මේ දවස් වල ජාත්‍යන්තර නීතිය පිළිබඳ ඩිප්ලෝමාවක් කරනවා. ඉතින් ඒ අධ්‍යාපන කටයුතුත් එක්ක මේ දවස් ගෙවෙනවා.

*කලා ක්ෂේත්‍රය පැත්තෙන් මේ දවස් වල ඔබේ නිහඬතාවයට හේතුව මොකක්ද? 
සිද්ධවෙන දේවල් එක්ක නම් කලාවෙන් සමුගන්න හිතුණු අවස්ථාත් තියෙනවා. නමුත් මේ දවස් වල මට සෑහීමකට පත්වෙන්න පුළුවන් චරිතයකට ආරාධනා ලැබුණේ නෑ. මේ කාලය මෙගා රැල්ලට හසුවෙලා කියලා හිතෙනවා. ඒ රැල්ල දිහා බොහොම උපේක්ෂාවෙන් බලන් ඉන්න කෙනෙක් මම.

*නදී, පසුගිය දිනවල වීසා අයදුම්කිරීම සඳහා ව්‍යාජ ලේඛනයක් ඉදිරිපත් කිරීමේ සම්බන්ධව ඔබට චෝදනාවක් ඉදිරිපත් වුණා. නමුත් ඔබේ නිවැරදි බව තහවුරු වුණා. මේ සිද්ධීන් ඔබේ ජීවිත වලට බලපෑවේ කොහොමද? 
එය මගේ ජීවිතයේ ලොකු කැළඹීමක්. මම මුලින්ම ශ්‍රී ලංකාවෙන් පිටට ගියා නම් ඒ ගියෙත් අමෙරිකාවට. මේ අවස්ථාව ලැබුණේ ටොප් 10 සම්මානයත් එක්ක. අවුරුද්දක කාලයක් අමෙරිකාවේ ඉගෙනගන්න. මට ඒ ගැන කියන්න තියෙන්නේ මාඕ සේතුං කියලා තියෙනවා අපේ සාර්ථකත්වය මනින්නේ මිතුරන්ගේ ප්‍රශංසා වලින් නෙමෙයි අපේ සතුරන් අපිට නැගිටින්න බැරිවිදිහට අපට ප්‍රහාර එල්ලකරනවා නම් කියලා. එහි අදහස අපේ ගමන අපි සාර්ථකව යනවා කියන එකයි. කෙටි කාලයක් තුළ මම හොඳම නිළිය, නැගී එන නිළිය, හොඳම සහය නිළියට හිමි සම්මාන ලබාගත්තා. ඒ වගේම ශ්‍රී ලංකාවේ විශිෂ්ටයින් දසදෙනා අතරට තේරුණා. මෙය දරාගන්න බැරි පිරිසක් විසින් කළ කුමන්ත්‍රණයකටයි හසුවුණේ. එය එක් සිද්ධියක් විතරයි. මම ඒ දේවල් කරපු හැමකෙනෙක්ටම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා කියනවා.

*ඒ තත්ත්වය නිසා ඔබේ ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණු ප්‍රතිචාර මොන වගේද? 
මේ සිද්ධිය සම්බන්ධව ප්‍රේක්ෂකයින්ගෙන් සියයට දෙසීයක්ම හිටියේ මගේ පැත්තෙයි. මම ආව දවසේ ඉඳන්ම මට ආදරය කළ ප්‍රේක්ෂකයින් පිරිසක් හිටියා. ඔවුන් මා සමග හිටියා. මම වෙනුවෙන් බෝධි පූජා පවා තිබ්බා. මම මිතුරන් කියලා හිතාගෙන හිටිය අයට වඩා නියම මිතුරන් මම මේ සිද්ධියේදී හඳුනගත්තා. ඒකත් ජීවිතයට ලොකු හයියක්. මම නඩුව දිනපු අවස්ථාවෙත් ප්‍රේක්ෂකයින් විශාල සතුටක් ඇතිවුණා සත්‍යය ජයගත්තා. ඒ ගැන මට ගොඩක් සතුටුයි.

*ඔබ රංගනය, ගායනයට අමතරව මේ වෙද්දී නිෂ්පාදන කටයුතු වලටත් සම්බන්ධ වෙලා ඉන්නවා. මේ වෙනකොට ඒ කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නේ කොහොමද?

"සීතාවී"කියලා ටෙලි නාට්‍යයක නිෂ්පාදනයට සම්බන්ධ වුණා මෑතකදී. එය ඉදිරියේදී විකාශයට නියමිතයි. එය මගේ පළමුවන නිෂ්පානයයි.

*ඔබේ ආදරය, ඔබේ සහකරු ගැනත් අපි කතාකරමු? 
දැනට නම් එහෙම කෙනෙක් නෑ. නමුත් වසර එකහමාරක පමණ කාලයක් තුළ ගේ විවාහය සිදුවෙයි. මේ කාලය මට අපල කාලයක්. විවාහය කියන්නේ ජීවිතයේ කඩඉමක්. හොඳ කෙනෙක් ලැබුණොත් හොඳයි. එහෙම නැතිවුනොත් එතනින් ජීවිතයම වෙනස්වෙනවා. මම මෙතෙක් ආ සාර්ථකත්වය මගේ මව්පියෝ මට දුන්නා. මගේ ජීවිතයේ ඉතුරු කොටස රැගෙන යා යුත්තේ මගේ සහකරුයි. බහුතර රංගන ශිල්පිණියන් තමන්ගේ වත් පොහොසත්කම්, මිල මුදල් ගැන කියමින් නැත්නම් චරිත වලට ආදරය කරමින් ආදරය පතනවා. ඒ නිසා බුද්ධිමත්ම මැරෙනකන්ම ජීවිත්වෙන්න පුළුවන් කෙනෙක් තෝරාගත යුතුයි. මගේ සහකරු සියයට දෙසීයක්ම සාමාන්‍යථ සරල කෙනෙක් විය යුතුයි. පොළවේ පය ගහලා ජීවත්වෙන, ඕනම දෙයකට ඔරොත්තු දෙන කෙනෙක් විය යුතුයි.

*නදී, ඔබේ කලා ජීවිතය තුළ විශේෂයෙන් නිර්මාණ තෝරාගැනීමේදී ඔබ විසින් පනවාගත් සීමා, කොන්දේසි තියෙනවද?

වාසනාවකට අසනි වැසි, සඳවතක වරුණ, රිදී ඉට්ටංකරය දක්වාම මට හොඳ චරිත ලැබුණා. මගේ චරිත මගේ ප්‍රේක්ෂකයින්ට අයිතියි. මාව මගේ මව්පියන්ට අයිතියි. ඒ නිසා මගේ වගේම මගේ මව්පියන්ගේ ආත්ම ගරුත්වයට හානි නොවන දුක්විඳින ගැහැණියකගේ වවිධ පැතිකඩවල් නිරූපණය කරන්න පුළුවන් චරිත මම තෝරාගන්නවා. මම හිතනවා එයම තමයි මගේ ගමනේ සාර්ථකත්වයටත් හේතුවුණේ.

* අපේ සංස්කෘතිය, සදාචාරය, සම්ප්‍රදාය වගේ කරුණුත් නිසාත් අපේ රටේ කලා ශිල්පිණියන්ට විවිධ සීමා වලට මුහුණදෙන්න වෙනවා. ඔබ මේ සීමා පැනවීම සාධාරණයි කියලා හිතනවද? 
අපිට කරන්න පුළුවන් සීමාව තුළ අපි නිර්මාණ තෝරාගත යුතුයි. මම නිළියක් කියලා මගේ ආත්මයම පාවාදෙන්න මම සූදානම් නෑ. මම හැමවේලේම හොඳ නිර්මාණයක් තුළින් ජනතාව අතරට යන්න උත්සාහ කරනවා. මෙතෙක් එය සාර්ථක වුණා. ඒ ගමනෙදී නමත් රැකෙනවා, සම්මාන ලැබෙනවා. මිනිසුන්ගේ ආදරය, ගෞරවය ලැබෙනවා. ඉතින් ඒක නිසා ඒ තත්ත්වය හොඳයි කියලා මම හිතනවා.

*අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඔබ විදේශ ගතවෙන්න සූදානම්වෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. කොහොමද ඒ වැඩ කටයුතු? 
මට නැතිවුණ අවස්ථාව නැවත ලැබෙයිද කියන්න බෑ. ඒක ශ්‍රී ලංකාවටම ලැබුණු හොඳ අවස්ථාවක්. නමුත් කිසිදෙයක් සිද්ධවෙන්න කලින් පොල්ලෙන් ගැහුවා වගේ හැමදෙයම නැතිවෙලා ගියා. නොහිතපු කරදරයකට මුහුණදුන්නා. ජීවිතයේ දුක, සතුට හැමදෙයම ලැබෙනවා. හඬමින්, හිනාවෙමින් ශක්තිමත්ව ඒ දේවල් වලට මුහුණදෙනවා.

*ඇත්තද ඔබ ටිකක් විතර ආඩම්බර චරිතයක් කියන්නේ? 
නෑ, මම බොහොම සරලයි. ඕනම කෙනෙක් එක්ක මිතුරුයි. නමුත් බැලූ බැල්මට ගොඩක් අය හිතනවා මම ආඩම්බර ඇති කියලා. මාව කිට්ටුවෙන් ආශ්‍රය කරන අය දන්නවා මම කොච්චර හිතවත්, විනෝදකාමී චරිතයක්ද කියලා.

*ඔබේ ජීවිතයේ, ඔබේ චරිතය තුළ ඔබ දුර්වලකම් විදිහට ඔබ හඳුනගෙන තියෙන ගතිගුණ මොනවද? 
මම ඕනවට වඩා සංවේදීයි. පුංචි දෙයකින් පවා මට ඇස් වලට කඳුළු එනවා. සංවේදී වැඩිකම ජීවිතයේ ඉස්සරහට යන්න බාධාවක් කියලා මම හිතනවා. සංවේදී නොවී හිත ගලක් වගේ තියාගන්න ඕන අවස්ථාත් ජීවිතයේ තියෙනවා. නමුත් චරිත නිරූපණයේදී එය වාසියක් වෙනවා. නමුත් මේ කුරිරු සමාජයේ ජීවත්වෙන්න නම් ඒ සංවේදීකම හරියන්නේ නෑ.

*නදී, ඔබ කිසියම් කලා නිර්මාණයක් වෙනුවෙන් අයකරන නිශ්චිත මිලක් තිබෙනවාද? 
මගේ වටිනාකමට ගැළපෙන මුදලක් මම අයකරනවා. මාව චරිත සඳහා තෝරගන්නේ ඒ චරිතයට මම අතවශ්‍ය නිසා. එහෙම නැතුව හිතවත්කම වගේ හේතූන් මත මාව තෝරාගන්නේ නෑ. ඒ නිසා මගේ වටිනාකම කිව්වම ඒ මුදල ගෙවලා මම ඒ චරිතය සඳහා දායකකරගන්නවා.

*සාර්ථක ජීවිතයක් ඔබ අර්ථදක්වන්නේ කොහොමද? 
ජීවිතයේ සාර්ථකත්වය විදිහට මම දකින්නේ පවුලේ සාමාජිකයින් සතුටින් තියාගෙන පටන්ගත්ත තැනට වඩා වැඩි තැනක ඉන්නවා නම් එතැන අපි ජීවිතයේ සාර්ථකත්වයක් ලැබුවා වෙනවා.

HARD TALK *ඔබ බො‍හොම බලාපොරොත්තුවෙන් සිටි, ඔබේ අනාගත කලා ජීවිතයට ඉතාම වැදගත් වන ඒ වගේම ඔබ ඉතා කැමැත්තෙන් බාරගත් නිර්මාණයක් කිසිදු හේතු පැහැදිලි කිරීමකින් තොරව ප්‍රතික්ෂේප කරන ලෙස ඔබේ සැමියා ඉල්ලා සිටියොත් ඔබ එය පිළිගන්නවද?

පිළිගන්නවා.

*කිසියම් දේශපාලන පක්ෂයක ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් සැකසුණු කලා නිර්මාණයකට දායකවෙන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ එය බාරගන්නවද? 
නැහැ.

* ඔබ ආදරය කරන තරුණයෙකු සමග ඔබ විවාහවෙන්න සූදානම් වෙනවා. ඒ අවස්ථාවේ ජ්‍යොතිෂවේදියෙක් කියනවා මේ විවාහය කොහෙත්ම සිදුකරන්න එපා කියලා. ඔබ ජ්‍යොතිෂ මතය පිළිගන්නවද? ඔබේ ආදරය වෙනුවෙන් ඔහු සමග විවාහ වෙනවද? 
ඒක තීරණය වෙන්නේ ආදරයද ජ්‍යොතිෂය ද ඉදිරියෙන් ඉන්නේ කියන තැන මතයි

* ආදරය විවාහයෙන් කෙළවර විය යුතුයි කියලා ඔබ හිතනවද? 
ඔව්.

*ඔබේ ජීවිතයේ ඔබට කිසියම් අවස්ථාවක් ලැබුණොත් ඔබේ බාහිර ස්වරූපයේ කිසියම් වෙනසක් සිදුකරගන්න. ඔබ කැමති මොන විදිහේ වෙනසක් සිදුකරගැනීමටද? 
මේ විදිහ හොඳයි.


No comments:

Post a Comment