Pages

Saturday, January 22, 2011

අරවින්දයට ලබන මාසෙ මල් පිපේවි!


මධුමාධව අරවින්ද කියන්නේ කලින් කලට විවිධ පුවත් මවන, වෙනස්ව හිතන, පතන කෙනෙක්.
කියන්නට ඇති දේ කෙළින් කියන මධු මේ දිනවල සිරස සුපර් ස්ටාර් වේදිකාව අභියස විනිසුරුවකු විදිහටත් ඔබට මුණ ගැහෙනවා. ‘සිත් සිත්’ ගීතයෙන් ගායකයකු විදිහට ගමන් ආරම්භ කළ මධුමාධවගේ ජීවිතයට නැවතත් අලුත් එළියක් තවත් නොබෝ දිනකින් වැටෙන බවටත් ආරංචියි.
ඒ වගේම කාලයක් නිහඬව සිටියත් තවත් කාලයක් විවිධ පුවත් මවන මධුමාධවත් සමඟ මේ මොහොත කතාබහක යෙදෙන්න හොඳම වෙලාවයි.
අවුරුද්ද පටන්ගත් හැටියෙම මධු ටිකක් කාර්ය බහුලයි වගේ?
“ඔව් මේ අවුරුද්ද වැඩ ගොඩක් තියෙනවා කරන්න. දැන් මේ දවස්වල නම් ‘සිරස සුපර් ස්ටාර්’ වැඩසටහනත් ටී. එන්. එල්. රූපවාහිනියේ ‘කිට් රිද්ම’ රාත්‍රිය වැඩසටහනත් කරනවා. මේක අලුත් අත්දැකීමක්. ඉතිං ඊට අමතරව තවත් වැඩ කටයුතු කිහිපයක්ම ඉටුකරගන්න තියෙනවා මේ වසරේ.”
සුපර් ස්ටාර් රියැලිටි වැඩසටහනේ විනිසුරුවකු විදිහට සහභාගි වෙන්න ඔබ හිතුවේ ඇයි?
මේ කතාව ඇතුළේ දිගටම හිටපු කෙනෙක් මම. එක්තරා මොහොතක මමත් තරගකරුවෙක් විදිහට සහභාගි වෙනවා ඩාන්ස් ස්ටාර් තරගය සඳහා. ඊට පස්සේ අයි. ටී. එන්. රන්තරු බෑන්ඩ් ෂෝ එකේ නිවේදනයෙන් දායක වුණා. මේ අත්දැකීම් දෙකම මට තියෙනවා. ඊට පස්සේ විනිසුරුවෙකු විදිහට දායක වෙන්න මට ආරාධනා කළා. මම එය භාර ගත්තා. තව පැත්තකින් මට හොඳ පැහැදිලි මානසික මට්ටමක් තියෙනවා. අලුත් පරම්පරාව ගැන පැහැදිලි මතයක මම ඉන්නේ. මේ අලුත් ළමයින්ගෙ දක්ෂතා තියෙනවා අපි එය දකිනවා ඒ වගේම විඳිනවා.
මෙවැනි වැඩසටහනක විනිසුරුවකු විදිහට කටයුතු කරන්න ඔබට තියෙන සුදුසුකම් මොනවද කියලා කෙනෙක් ඇහැව්වොත්...
ලංකාවේ ගායකයකු විදිහට මම මෙතෙන්ට ආවේ කවුරුත් උඩින් ගෙනැල්ලා තියලා නෙමෙයි. සහතිකපත් විභාග පෙන්නලා නෙමෙයි. මේ පොළොවේ පය ගහලා උපන් කලාකරුවකු විදිහට අවුරුදු පහළොවේ ඉඳන් මම සින්දු කියනවා.
දැන් අවුරුදු 21 ක් තිස්සේ හන්දියක් හන්දියක් ගානේ සින්දු කියලා ඇති. මම මේක කියන්නේ හරිම සන්තෝසයෙන්. ඒ නිසා ඒ යන ගමනේදී අපේ රටේ අහිංසක මිනිසුන්ගේ හීන දැක්කා. ඔවුන් ගීත ගයනවා සමහර වෙලාවට අපේ රටේ ප්‍රවීණයන්ටත් වඩා හොඳින්.
 ඉතිං මෙතැනදි මගේ ඇස් හිරවෙලා නැහැ. මම දකින ඇත්ත මම කියන්නේ. මාව මෙතෙන්ට ගෙනාවේ රටේ ජනතාව. ඒ නිසා මම කාටවත් වන්දිභට්ටකම් කරන මිනිහෙක් නෙමෙයි. මේ සුදුසුකම මට දුන්නේ මේ රටේ අහිංසක ජනතාව මිස වෙන කෙනෙක් නෙමෙයි.
ඔබ ඉදිරියට එන තරගකරුවෙක්ගෙන් මොකක්ද ඔබ බලාපොරොත්තු වෙන දේ?
මම කුහක මිනිහෙක් නෙමෙයි. ඒ නිසා දක්ෂයෙක් තෝරාගන්න පුළුවන්. එන කෙනා මොකක්ද කියන්නේ කියන එකයි වැදගත්. මොකද මොන ගීත ශෛලියකට වුණත් මම ගරු කරනවා. බයිලාවක් කිව්වත් කමක් නැහැ ඒක හරියට කිව්වොත් මගෙන් ලකුණු තියෙනවා.
අද සමහර ප්‍රවීණයන්ටවත් කියන්න බැහැනේ හරියට. මොකද ගායකයකු නම් මගේ අදහස එයාට හැමදේම පුළුවන් වෙන්න ඕන. හදවතට දැනෙන්න වගේම කකුල් දෙකට දැනෙන්න ගයන්නත් පුළුවන් වෙන්න ඕන. මොකද මම මේ සියල්ල දකින්නේ සුපර් මාර්කට් එකක් වගේ.
මධු තරුණයකු විදිහට ඔබ විවිධ විලාසිතා කරන කෙනෙක්.
ඔව් ඇත්තටම ඒ තමයි තාරුණ්‍යයේ ප්‍රකාශනය. කවුරුත් විලාසිතා කරන්න ආසයි නමුත් බයයි. පිරිමින්ට වගේ නෙමෙයි කාන්තාවටයි විලාසිතාවෙදි ප්‍රශ්න ඇති වෙන්නේ. මම දකින්නේ ඒක කුහකකමක්. අද සමහර අය පෝය දවසට මේ විලාසිතා ගැන, කාන්තාව ගැන කතා කරන්නේ ඒ දෙස බලන්නෙවත් නැති විදිහට. හැබැයි රාත්‍රියේදී වෙන දේවල් ඒ අය කතා කරනවා. මම කියන්නේ මේ කුතුහලය නිදහස් කරන්න ඕන. නිරුවත බලන්න කවුද අකැමැති. හැබැයි ඒක හිත ඇතුළේ තියෙනවා. කියන්න බයයි. ඡන්ද විමසීමක් කළොත් මගේ පැත්තට ඡන්ද වැඩියි.
හැබැයි ඔය තරුණ කාලේ කරගන්න දේවල් කරගන්න බැරිවුණ අය අද කුහකකමට මේ විලාසිතාවලට පහර ගහනවා. මම ඇත්ත කියන්න ඕන. මම විලාසිතා කරන්න කැමැති කෙනෙක්. විලාසිතා කරනවා කියන්නේ හෙළුවෙන් ඉන්නවා කියන එක නෙමෙයිනේ.
මධුගේ ජීවිතේ අලුත් පිටුවක් ළඟදීම පෙරළෙනවා කියලත් ආරංචියි.
ඔව් ඒක හරි ලස්සන සංවර්ධනයක්. දැන් ජීවිතේ ඕන දේකට මම ලෑස්තියි. මගේ ජීවිතේ මම ලස්සන ඇළදොළ, ගංගා, ගස් ගල්, පර්වත, දේදුනු මතක තියාගන්න කෙනෙක්. ඒකට මම කිව්වේ අරවින්දය කියලා. මම මගේ රටට බොරු කියලා නැහැ. මට දැනෙන ඇත්ත මම කතා කරනවා කතා කරලා තියෙනවා. සමහරු හිතුවා අරවින්ද යුගයේ මල් පිපෙන එක නැවතුණා කියලා. නැහැ අරවින්දයට ආයෙත් ලබන මාසේ මල් පිපෙයි. ඒක පොතක් වෙන්නත් පුළුවන්. විවාහය වෙන්නත් පුළුවන්. කොහොමත් දෙකම එකයි. ඒ නිසා කුමක් හෝ ඔබ කියු ආකාරයේ පිටුවක් පෙරළෙන්න පුළුවන්.
ඒ ආරංචිය රසිකයන්ට වහන්නේ ඇයි?
ඒ කුතුහලය එහෙමම තිබුණ දෙන්. පොතක් නම් ලස්සන නමක් වෙයි. කාන්තාවක් නම් ලස්සන ගැහැනු රූපයක් වෙයි.
‘අබා’ චිත්‍රපටයෙන් පසු නැවත රඟපෑමක් අපි ඔබෙන් දුටුවේ නැහැ.
මම ගායකයෙක්. මේ අතරෙදියි මා මිත්‍ර මා ගරු කරන ජැක්සන් ඇන්තනි නම් අධ්‍යක්ෂවරයා මාව වෙනත් මාවතක් ඔස්සේ රැගෙන යන්නේ. ඒ මාවතේ මම රඟපානවා. ඒත් මේ ක්ෂේත්‍රයේ දක්ෂයින් බොහොමයි. දිනක ඒ සියල්ල රංගනයෙන් ඈත් වුණොත් මම රඟපාන්න එයි. හැබැයි තවමත් මම හරි කැමැත්තෙන් ඉන්නවා විලන් රෝල් එකක් කරන්න.
ඇත්තටම මොනවද මධුගේ බලාපොරොත්තු?
මට සැලසුම් කරපු බලාපොරොත්තු නැහැ. මම හිටියේ කලාවත් එක්ක. නැගිට්ටේ, වැටුණේ, ගිනි ගත්තේ සියල්ල වුණේ කලාව ඇතුළේ. එදාට මම කිව්වා දැන් ගිනි ගත්තා ඔන්න දැන් නිවුණා කියලා. මට දැනෙන දේ කිව්වා. මට එක බලාපොරොත්තුවක් තියෙනවා. මැරෙනකම්ම සින්දු කියන්න මට ඕන නැහැ. මම මගේ අතින්ම මධුමාධව අරවින්ද වළලලා දානවා. මම ජීවත්ව ඉන්න අතරතුරයි මධුමාධව ඉපදුණේ. ඒ නිසා ජීවත්ව ඉන්න කාලෙදිම මධුමාධව වළලලා දාන්න ඕන. ඒ නිසා තවත් අවුරුදු දහයක් ඇතුළත ලොකු ප්‍රසංගයක් සංවිධානය වෙයි. එදාට මධු අවසන් වතාවට ගී ගයයි. නැවත මධු එතනින් පසු ගීත ගයන්නේ නැහැ. එදායින් පසු මධුමාධව නිහඬයි.


No comments:

Post a Comment