Pages

Wednesday, January 26, 2011

HOT NEWS

බීමතින් අනතුරකට ලක්ව රෝහල් ගියොත් ගාස්තුව දෙදාහයි

සන්ධ්‍යා කරුණාරත්න
Jan 26,2011
බීමත්කම නිසා හදිසි අනතුරුවලට ලක්ව රෝහලගත වන රෝගීන්ගෙන් රුපියල් දෙදහක රෝහල් බිලක් අය කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනියි. ඒ අනුව ලබන මස පළමුවැනිදා සිට මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙන අතර බීමත්කමින් රෝහල් ගත වන අයගේ බිල අය කරන චක්‍රලේඛයේ ප්‍රථම පියවර ලෙස මෙය ක්‍රියාත්මක වේ.
විශේෂයෙන්ම මාර්ග අනතුරකදී වාහනය පැද වූ පුද්ගලයා අනතුරට ලක්වීමට හේතුව මත්පැන් පානය කිරීම බව වෛද්‍යවරුන් සනාථ කළහොත් මෙසේ රෝහල් බිල අයකර ගැනීම කෙරෙයි. මෙම ක්‍රියාවලියේ මූලික පියවර ලෙස රුපියල් දෙදහසක මුදලක් අයකර ගැනීම සිදුකරන අතර පසුව රෝගීයාව සුව කිරීමට රෝහලෙන් ලබාදෙන සියලු ප්‍රතිකාරවලට සම්පූර්ණ මුදලම අය කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
බොරැල්ල දකුණ බටහිර බෙහෙත් ශාලාව පෙරේදා (25) විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය. බීමත්කම නිසා රෝගී වී රෝහල්ගත වන පුද්ගලයන්ගේ රෝහල් බිල මුළුමනින්ම අයකර ගැනීම සඳහා නීතිපතිවරයා සමඟ වැඩිදුරටත් සාකච්ඡා කරන ලෙසට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.

මහා බෝධි ප්‍රහාරයට සැක දෙදෙනෙක් අත්අඩංගුවට

Jan 26,2011
ඉන්දියාවේ චෙන්නායිහි ශ්‍රී ලංකා මහාබෝධි මධ්‍යස්ථානයට පෙරේදා (24) රාත්‍රී මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු තමිල්නාඩු ප්‍රාන්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.  මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක් වේ. විදේශ කටයුතු අමාත්‍යවරයා ද කොළඹ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හරහා ඉන්දියන් රජය සමඟ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන බවට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය එරට සිටින ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් වඩිවෙල් ක්‍රිෂ්ණ මූර්ති මහතා අවශ්‍ය පියවර ගත් බව ඊයේ කොළඹ මහා බෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වූ ශ්‍රී ලංකා මහා බෝධි සංගමය නියෝජ්‍ය ලේකම් හා චෙන්නායි මහා බෝධි මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිනියාවල පාලිත හිමියෝ පැවැසූහ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් චෙන්නායි මහා බෝධි විහාරයට ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් දුන් බවද උන්වහන්සේ පැවසූහ.  මේ කොටි හිතවාදීන්ගේ ප්‍රහාරයේදී කුඹුරුගමුවේ වජිර නායක හිමියෝ ඇතුළු හිමිවරුන් සුළු තුවාල ලබා ප්‍රතිකාර ලබා ගත් බවත් උන්වහන්සේලාගේ සිරුර අභ්‍යන්තරයට කිසිදු හානියක් නොමැති බවත් ප්‍රකාශ කළ කිනියාවල පාලිත හිමියෝ මීට පෙර කිසිදු අවස්ථාවක චෙන්නායි මහා බෝධි විහාරයට කිසිදු ප්‍රහාරයක් එල්ල නොවූ බව සිහිපත් කළහ.
මේ නිසා විශාල ගැටුමක් ඇති කර නොගන්නා ලෙසත් ද්‍රවිඩ ජනතාවට කිසිදු හානියක් නොවන ආකාරයට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටි පාලිත හිමියෝ මේ සිද්ධිය පදනම් කරගෙන කිසිඳු ආකාරයකින් හෝ පසුබට නොවන බවත් පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරන බවත් සඳහන් කළහ. මීට පෙර වෙසක් උත්සවය මෙන්ම, නිදහස් සැමරුම් උත්සව අලංකාර ලෙස පැවැත්වූ බව සිහිපත් කළ මහා බෝධි මධ්‍යස්ථානාධිපති හිමියෝ එම වැඩසටහන් ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව පෙන්වා දුන්හ.
මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නව දිල්ලි නුවර සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා ඊයේ (25) චෙන්නායි නුවරට පැමිණ තිබෙන අතර මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙසට තමිල්නාඩු ප්‍රධාන ලේකම් වරයාගෙන් ඉල්ලා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මේ මාධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ප්‍රධාන ලේකම් වසන්ත සිල්වා, විධායක අධ්‍යක්ෂ රූපරත්න පෙරේරා, මාධ්‍ය අධ්‍යක්ෂ සමන් අතාවුද හෙට්ටි , මහත්වරුද එක්ව සිටියහ.

ෆොන්සේකාගේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක්

ආරක්‍ෂක ලේකම් සුදු කොඩි නඩුවේ සාක්කි දෙමින් කියයි
* කොටි නායකයන් මරන්න මා අණ කළේ නෑ
* එල්ටීටීඊ සාමාජිකයන් 11968ක් භාර වුණා

* ඔවුන්ට හොඳින් සළකන්න උපදෙස් දුන්නා
ශිරෝමි අබයසිංහ
Jan 26,2011
සුදු කොඩි රැගෙන යටත්වීමට පැමිණි එල්ටීටීඊ නායකයන් මරාදමන ලෙසට තමා අණ කළ බවට සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ වී තිබූ සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සුදු කොඩි නඩුවේ සාක්කි දෙමින් ඊයේ (25) පැවැසීය.යටත් වීමට පැමිණෙන එල්. ටී. ටී. ඊ. නායකයන් සහ අනෙකුත් සාමාජිකයන් නීතියට අනුව භාර ගෙන ඔවුන්ට හොඳින් සලකන ලෙස තමා හමුදාවට උපදෙස් දී තිබුණු බවද රාජපක්‍ෂ මහතා කීය.
එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් එකොළොස් දහස් නවසිය හැට අට දෙනෙක් හමුදාවට භාර වුණු බවත්, එයින් පන්දහසක් දෙනා පුනරුත්ථාපනය කර සමාජගත කෙරුණු බවද ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් කීය. 2009 දෙසැම්බර් 08 දා සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ප්‍රෙඩ්රිකා ජෑන්ස් මහත්මිය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී ජාතිවාදී හැඟීම් ඇති කරන තොරතුරු සැපයීම සහ එමගින් රජය කෙරෙහි මහජනතාව තුළ විරෝධතාවයක් ඇති කිරීමට තැත් කිරීම සඳහා සුදු කොඩි ප්‍රකාශය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිචෝදනා තුනක් යටතේ ෆොන්සේකා මහතාට එරෙහිව නඩු පවරා තිබේ.
විශේෂ අධිකරණ කටයුත්තක් සේ සලකා මහාධිකරණ ති‍්‍රත්ව විනිසුරු මඬුල්ලක් හමුවේ මේ නඩුව විභාගයට ගැනේ. කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන දීපාලි විජේසුන්දර මහත්මිය, ඩබ්ලිව්. ටී. ඇම්. පී. බී. වරාවැව මහතා සහ ගල්කිස්ස සිවිල් මහාධිකරණ විනිසුරු ඉසෙඩ් එම්. රෂින් මහත්වරුන්ගෙන් විනිශ්චය මණ්ඩලය සමන්විත වේ. වැඩිදුරටත් සාක්කි දුන් රාජපක්‍ෂ මහතා, එල්. ටී. ටී. ඊ. නායකයින් වූ දයා මාස්ටර්, ජෝර්ජ් මාස්ටර්, නඩේෂන්, සුසෙයි, ඔහුගේ බිරිය සහ කාන්තා අංශයේ නායිකාවන්ද හමුදාවට භාර වූ අතර, ඔවුන් තවමත් නිරුපද්‍රිතව ආරක්‍ෂා සහිතව සිටින බවත් කීය.
සන්ඩේ ලීඩර් පුවත්පතේ පළවූ සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය නිසා කැනඩාව, එංගලන්තය, අමෙරිකාව වැනි රටවල වෙසෙන මිලියනයකට ආසන්න ඩයස් පෝරාවේ දෙමළ ජාතිකයන්ගේ විරෝධය ශ්‍රී ලංකා රජයටත්, තමන්ටත් එල්ල වූ බවත් රාජපක්‍ෂ මහතා කීය. මේ ලිපිය නිසා ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළ බවත් මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ලෙසත් බල කරන බවත් කීය. මේ ලිපිය නිසා රටේ පවා ජනතාවගේ විරුද්ධත්වයක් ඇති වූ බවද රට තුළ අසමගියක් ඇති වූ බවද කී රාජපක්‍ෂ මහතා ඒ අසමගිය දුරු කිරීමට රජය ක්‍රියා කළ බවද කීය.
රතු කුරුස ප්‍රධානියා අද ලංකාවට
 රතු කුරුස ප්‍රධානියා අද ලංකාවට
Jan 26,2011
අන්තර් ජාතික රතු කුරුස ෆෙඩරේෂනයේ සභාපති තදතේරු කොනොයි මහතා අද (26) දිවයිනට පැමිණෙයි.

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම පිළිබඳ සොයා බැලීම ඔහු‍ගේ මෙම සංචාරයේ අරමුණයි.

කොනොයි මහතා සංචාරය අතරතුර දී ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සමග සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

මීට අමතරව ඔහු උතුරු නැගෙනහිර සහ දකුණු පළාත්වල සංචාරයක නිරත වීමට ද නියමිතය.
තැපැල් ඡන්ද ඉල්ලුම්කිරීම 10% ටත් අඩුයි
තැපැල් ඡන්ද ඉල්ලුම්කිරීම 10% ටත් අඩුයි
Jan 26,2011
ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් අද(26) නාමයෝජනා භාර දීමට නියමිතව තිබේ. කොළඹ දිස්ත්‍රික්කය සඳහා අද දිනයේ නාම යෝජනා භාර දෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

මීට අමතරව එම පක්ෂය ගම්පහ , ගාල්ල , හම්බන්තොට , කුරුණෑගල , බදුල්ල සහ මොණරාගල යන දිස්ත්‍රික්ක සඳහා ද සිය නාමයෝජනා භාර දෙනු ඇත. එක්සත් ජාතික පක්ෂය ද අද දිනයේ නාම යෝජනා භාර දීමට නියමිතය.

නාම යෝජනා භාර ගැනීම හෙට දහවල් 12න් අවසන් වන අතර පස්වරු 12.30 සිට 1.00 දක්වා කාලය නාම යෝජනා පිළිබඳ විරෝධතා දැක් වීම සදහා වෙන් කර තිබේ.

පසුව සහකාර ‍මැතිවරණ කොමසාරිස්වරුන් විසින් පිළිගත් සහ ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පිළිබඳ දැනුම් දීමට නියමිතය. මේ අතර ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය අද දහවල් 12න් අවසන් වේ.

මේ වන විට ස්වාධීන කණ්ඩායම් 450ක් පමණ ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වේ. මේ අතර මැතිවරණ රාජකාරී වල යෙදෙන නිලධාරීන්ගේ විස්තර දැනුම් දෙන ලෙස මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා සියලු තේරීම්භාර නිලධාරීන්ට සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට දැනුම් දී තිබේ.

මැතිවරණ රාජකාරී වල නිරත වීමට කැමති නිලධාරීන්ට ඔවුන්ගේ ආයතන ප්‍රධානීන් හරහා ඒ සඳහා ඉල්ලුම් කළ හැකිය. මේ අතර මෙවර මැතිවරණය සඳහා තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම 10%ටත් වඩා අඩු මට්ටමක පවතින බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

තැපැල් ඡන්ද අයදුම් කිරීමේ කාල සීමාව අනිද්දා අවසන් වන අතර එය යළි දීර්ඝ නොකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ආරම්භ වූ අතර එය පසුගිය 16 වැනිදා සිට ලබන 27 වැනි දින දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය පියවර ගෙන තිබුණි.
අනුරාධපුර බන්ධනාගාරයේ යළි වර්ජනයක්
Jan 26,2011
අනුරාධපුර බන්ධනාගාර රැඳවියන් පිරිසක් යළි ආහාර වර්ජනයකට එක්ව සිටියි. පෙරේදා ඇති වූ ගැටුමින් පසු මෙම පිරිස වර්ජනය ආරම්භ කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් වී.ආර් ද සිල්වා මහතා පවසයි.

බන්ධනාගාරයේ දී ලැබෙන ආහාර වේල ප්‍රමාණවත් නොවීම , පිටතින් රැගෙන එන ආහාර පරීක්ෂාවට ලක් කිරීම , වාට්ටු වල රැඳවියන් ප්‍රමාණය ඉක්මවා රඳවා සිටීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම රැඳවියන්ගේ මෙම විරෝධතාවයේ අරමුණයි.

පසුගිය ඉරිදා සිට රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත නැඟී විරෝධතාවයක නියැලුණු අතර පසුව ඇති වූ ගැටුම් හේතුවෙන් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්වී තවත් රැඳවියන් 17 දෙනෙකු සහ නිලධාරීන් 7 දෙනෙකු තුවාල ලැබීය.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් අංශ කිහිපයකින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා සඳහන් කරයි.

එසේම අනුරාධපුර බන්ධනාගාරයේ නව අධිකාරිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි ගාමිණි කුලතුංග මහතා පත් කර තිබේ. 

No comments:

Post a Comment