Pages

Monday, January 10, 2011


කට වහන්න සූදානම් නෑ-කෙල්ලක සමග මිස කා එක්කවත් සාකච්ඡා නෑ

කට වහන්න සූදානම් නෑ-කෙල්ලක සමග මිස කා එක්කවත් සාකච්ඡා නෑ

Jan 10,2011

එක් එක් අය කියන අන්දමට තමන්ගේ කට වහන්නට සූදානම් නැති බව හිටපු අග්‍රාමාත්‍ය,යහපාලනය හා යටිතල පහසුකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පවසයි.

තමන් ගැන තමන්ගේ දේශපාලනය ගැන දන්නා කිසිවෙක් තමන් පක්ෂය හැර යන්නේදැයි ප්‍රශ්නයක් කර නොගන්නා බව අමාත්‍යවරයා අද කොල්ලුපිටිය සිය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කාර්යාලය විවෘත කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ කරණු දක්වමින් කියා සිටියේය.

වික්‍රමනායක අමාත්‍යවරයා ආණ්ඩු පක්ෂය හැර යනු ඇති බවටත්,ඒ වෙනුවෙන් විපක්ෂය සමග සාකච්ඡා කරන ලද බවට මාධ්‍ය වාර්තා පළවන බවත්,ඒවායේ යම් සත්‍යතාවයක් ඇත්දැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයටකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

තමන් කෙල්ලක සමග මිස වෙනත් කිසිවෙකු සමග සාකච්ඡා නොකළ බවත්,කොල්ලන් සමග නම් තමාගේ කොහෙත්ම සාකච්ඡාවක් නොතිබුණු බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා සඳහන් කළේය.

ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සංකල්පය අලුත් බවත්,නිශ්විත අමාත්‍යංශයක්,අමාත්‍යංශ ගොඩනැගිල්ලක්,අමාත්‍යංශ ලේකම්වරයෙක්,නිශ්චිත කාර්යභාර්යයක් හෝ නොමැතිව යහපාලනයක් ගෙන යාමට තමන්ට සිදුව ඇති බවත් වික්‍රමනායක මහතා පෙන්වා දුන්නේය.

චීන කඩේකට පැනපු ගොනා සේ කලබලයක් ඇති කර නොගෙන සෙසු අමාත්‍යවරුන් සමග සහයෝගයෙන් බෙදා හදාගෙන කටයුතු කිරීමට තමන් අදහස් කරන බවද ඔහු කියා සිටියේය.

එසේම තමන් කිසි විටෙකත් කිසි කලෙකත් අනුන්ගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන්නට ක්‍රියා නොකරන බවත්,හැකි පමණින් ජනතාවට සේවය කරන බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මඩකළපු වැසියාට ගුවනින් ආහාර-ජලයට මැදිවූ 24 ක් බේරාගනියි

Jan10,2011
ධාරාණිපාත වර්ෂාවෙන් හා ජලගැලීම් වලින් පීඩාවට පත් මඩකළපු දිස්ත්‍රීක්කයේ ජනයාට ශ්‍රීලංකා ගුවන් හමුදාව විසින් එම්.අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා මගින් වියළි ආහාර ටොන් 2.5 ක් බෙදාහැරීමට කටයුතු කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ජනක නානයක්කාර මහතා පවසයි.

අම්පාර ටැම්පිටිය ප්‍රදේශයේ ජල ගැලීම් නිසා ජීවිත අනතුරේ සිටි පිරිස් 24 දෙනෙකු මේ වන විට බේරාගැනීමට හැකිවී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ යානා යොදාගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියි.

පීඩාවට පත් ජනයාට සහන සැලසීම සඳහා ගුවන් හමුදා භට පිරිස් තවදුරටත් සේවයේ යොදවා ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. 

පුද්ගලික බස් අද රාත්‍රීයේ සිට වර්ජනයේ-වර්ජනයට බය නෑ, ඇමති කියයි

Jan 10,2011

අද(10) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාත තුළ එක්දින සංකේත වර්ජනයක නිරත වන බව බස්හිමියන් පවසයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය හා සමස්ත ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සමිති සම්මේලනය ඒකාබද්ධව මෙම වර්ජනය කැඳවා තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ රටම ආවරණය වන පරිදි බස් වර්ජනයකට යන්නට පෙරදී සූදානම්ව සිටියද මේ වන විට බස්නාහිර පළාත තුළ පමණක් එක්දින සංකේත වර්ජනයකට යාමට අදහස් කරන බවයි.

තමන් දෙස වරදි දෘෂ්ඨි කෝණයකින් නොබලන ලෙසත්,මෙම වර්ජනයට වගකිව යුත්තේ දේශපාලනඥයින් බවත් ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එහෙත් ඕනෑම වර්ජනයකට මුහුණ දෙන්නට තමා සූදානම් බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේය.


No comments:

Post a Comment