Pages

Monday, January 3, 2011


ආදරෙන් ඉන්න මම හරි කැමැතියි
නදීෂා හේමමාලි
මෝස්තර නිරූපණය, රූපවාහිනී වෙළෙඳ දැන්වීම් හරහා ටෙලිනාට්‍ය රංගනයට පිවිසි ඇය මේ වන විට සිනමා නිර්මාණ කීපයකටම දායක වී ඇත. ඇය යොවුන් රංගන ශිල්පිනියන් අතර ඉදිරියෙන්ම සිටින්නියකි. ඇය නදීෂා හේමමාලි. අද සතුටු සාමීචිය වෙන්වන්නේ නදීෂා සමඟ කළ කතාබහ වෙනුවෙනි.

මොනවද අලුත් අවුරුද්දෙ ඔබේ අලුත් බලාපොරොත්තු?
මගෙ ටෙලිනාට්‍ය නිෂ්පාදන ආයතනයෙන් අලුත් ටෙලි නාට්‍යයක වැඩ අද හෙටම පටන් ගන්නවා. එම ටෙලිනාට්‍යයේ මම ද්විත්ව රංගනයක යෙදෙනව. ටෙලිනාට්‍යයේ නම ‘ඇත්කඳ ලිහිණි’. ඒක ඓතිහාසික තේමාවක් රැගත් ටෙලිනාට්‍යයක්.
ඔබ රංගනයට පිවිසීමට හෝ මෝස්තර නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කළා නේද?
ම මුලින්ම සහභාගි වුණේ රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලට. ඊට පසුවයි මම මෝස්තර නිරූපණයට සහභාගි වුණේ. ටෙලිනාට්‍ය රංගනයට එක්වුණේ ඉන්පසුවයි. මම මුලින්ම සහභාගි වුණේ කමිස වර්ගයක් පිළිබඳ වෙළෙඳ දැන්වීමකට. ඒක විකාශය වුණේ නෑ. ඊට පසුව බිස්කට් සම්බන්ධ රූපවාහිනී වෙළෙඳ දැන්වීමකට සහභාගි වුණා.
ඔබ රංගනයට පිවිසියේ අහඹු ලෙසද?
නැහැ. පුංචි කාලෙ ඉඳලම මට පුදුම ආශාවක් තිබුණා හොඳ රංගන ශිල්පිනියක් වීමට. පාසල් යන කාලේ පාසල් වේදිකාවේ මම නිතර සිටියා. මම උසස් පෙළට කළෙත් නාට්‍ය හා රංග කලාව විෂය. ඒ රංගනයට මගේ ඇති කැමැත්ත ආශාව නිසාමයි.
“ජූලියා” චිත්‍රපටය ඔබේ රංගන ජීවිතයේ සන්ධිස්ථානයක්ද?
ඇත්තෙන්ම ඔව්. මගෙ සිනමා ජීවිතයේ දෙවැනි ගමන ඇරැඹුණේ ‘ජූලියා’ චිත්‍රපටයෙන්. මම රංගනයෙන් දායක වුණු පළමු චිත්‍රපටය ‘තාරකා මල්’. ‘ජූලියා’ ලංකාවේ මෙන්ම විදෙස් රටවලත් ඉතාම සාර්ථකව තිරගත වුණා. ‘ජූලියා’ මගේ රංගන ජීවිතයට ආශිර්වාදයක්.
’ආදරයට වෙස් බැන්දා’ ටෙලිනාට්‍යයේ කළ රංගනය ගැන කතා කළොත්?
ඇත්තටම මට මුලින්ම හිතුන මට මේක කරන්න පුළුවන්ද කියල. ඒත් ඒ අභියෝගය මම බාරගත්තා. මූණට රැවුලක් දමාගෙන පිරිමියෙක් වගේ ඇඳගෙන කළ ඒ රංගනය ගැන මම හරිම තෘප්තිමත්. ‘ආදරයට වෙස් බැන්දා’ ටෙලිනාට්‍යයට තෝරාගැනීම ගැන සනත් අබේසේකරට මම ස්තුතිවන්ත වෙනවා.
ඔබ වෘත්තීය නිළියක්ද?
මගෙ ප්‍රධානම විනෝදාංශය රංගනය, වෘත්තීමය වශයෙන් ව්‍යාපාරිකාවක් ලෙස හඳුන්වනවාටයි මම වඩාත්ම කැමැති. මම රංගනයේ යෙදෙන්නෙ මුදල පමණක් බලාගෙන නෙමෙයි. හොඳ රංගනයක් ඉදිරිපත් කිරීමයි මගේ අරමුණ. මට මේ සමාජයේ ආදරය ගෞරවය හිමිවෙල තියෙන්නෙ මම රංගන ශිල්පිනියක් වීම නිසයි. ඒ නිසා රංගනයට මම ඉතාම ගරු කරනවා.
රූපවාහිනී නිවේදිකාවක් ලෙස ඔබ සාර්ථකයැයි සිතනවාද?
මම වසරකට රඟපාන්නෙ නිර්මාණ කීපයක පමණක් නිසා මගෙ ප්‍රේක්ෂකයින් අතරට මට නිතර යන්න වෙන්නේ නෑ. ඒ නිසයි මම ’රිදම් චැට්’ රූපවාහිනී වැඩසටහනට සහභාගී වෙන්නේ. ඒ වැඩසටහන මුළු රටේම ප්‍රේක්ෂකයෝ නරඹනවා. මට සිතුනා ප්‍රේක්ෂකයින් අතරට යන්න මේක හොඳ අවස්ථාවක් කියල. ඒ නිසයි මම මේ අභියෝගය බාරගත්තේ. අනෙක කලා ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දෙනෙක් මේ වැඩසටහනේදි හමුවෙනවා. ඒ නිසා මම ඉතාම ආශාවෙන් තමයි ‘රිදම් චැට්’ වැඩසටහනට සහභාගී වෙන්නේ. මම හිතනව ඒ වැඩසටහනට හොඳ දායකත්වයක් මට දෙන්න ලැබෙනව කියල.
ඔබ මොනවගේ කෙනෙක්ද?
මම සැබෑ ලෙසම පොළොවේ පය ගහල ඉන්න කාන්තාවක්. හැමෝ එක්කම ආදරයෙන් මිත්‍රශීලීව ඉන්න මම හරිම කැමැතියි. මඟතොටේදි මාව හැඳිනගෙන කවුරුහරි කතාකළොත් මම ඉතාම ආශාවෙන් ප්‍රතිචාර දක්වනව. ඒ විදියට කවුරුන් හෝ මාත් එක්ක කතාකිරීම මට හරිම ආඩම්බරයක්.
ඔබේ විවාහය...?
මට පෙම්වතෙක් ඉන්නව. බොහෝදුරට මේ අවුරුද්දෙ මගෙ විවාහය සිදුවේවි.
ඔබේ පවුලේ තොරතුරු?
නංගිල දෙන්නෙකුයි, මල්ලි කෙනෙකුයි, අක්ක මම. මගෙ තාත්තා නැතිවෙලා. අම්ම එක්ක තමයි අපි ඉන්නෙ.

No comments:

Post a Comment