Pages

Sunday, January 30, 2011

Hot

අනුරාධපුරයෙන් ජීව අත්බෝම්බයක්
අනුරාධපුරයෙන් ජීව අත්බෝම්බයක්
Jan 30,2011
අනුරාධපුර , සාවස්ථීපුර ප්‍රදේශයේ මල්වතු ඔය ආසන්නයේ සඟවා තිබූ ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබේ. අනුරාධපුර පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදු කරන ලද සෝදිසියක දී මෙම අත්බෝම්බය සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.

සූක්ෂම ලෙස පාලම අසළ මෙම අත්බෝම්බය සඟවා තිබූ බව අනුරාධපුර පොලිසිය ප්‍රකාශ කරයි. අනුරාධපුර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 
එළවළු ප්‍රවාහනයේදී ප්ලාස්ටික් අසුරන අනිවාර්යයි
එළවළු ප්‍රවාහනයේදී ප්ලාස්ටික් අසුරන අනිවාර්යයි
Jan 30,2011
එළවළු ප්‍රවාහනයේ දී ප්‍ලාස්ටික් අසුරන භාවිතා කිරීම පෙබරවාරී පළමු වැනි දින සිට අනිවාර්ය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

එය පාරිභෝගික සේවා අධිකාරිය සමඟ එක්ව නීතීගත කොට ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

එළවළු ප්‍රවාහනයේ දී සිදු වන සියයට‍ 35% ක අපතේයාම වළක්වා ලීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවත් මින් පසු එළවළු ගෝනි වල පටවා ඒ මත නිදා ගෙන එළවළු ප්‍රවාහනය කිරීම නතර කරන බවත් මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මාතලේ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.
 
යතුරුපැදි හා ටයර් සොරාගත් සෙබළු දෙදෙනෙක් අත්අඩංගුවට
Jan 30,2011
වව්නියාව ප්‍රධාන යුද හමුදා කඳවුරෙන් යතුරු පැදි 2ක් හා ටයර් ‍සොරකම් කළ බවට සැකපිට යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදාවේ හිටපු සැරයන්වරයෙකු සහ සෙබළෙකු මෙසේ ඊයේ අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලිසිය ප්‍රකාශ කරයි.

යුද සමයේ දී අයිතිකරුවන් නොමැතිව හමු වූ මෙම භාණ්ඩ අයිතිකරුවන්ට භාර දීම සඳහා හමුදා කඳවුරේ තිබිය දී සොරා ගෙන ඇති බව වාර්තා වේ.

යුද හමුදාවේ කපිතාන්වරයෙකු මේ පිළිබඳව වව්නියාව පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කළ වව්නියාව පොලිසිය මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙට දිනයේ වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
කිලිනොච්චියේ බෝම්බයක් පුපුරයි-අයෙක් මරුට
Jan 30,2011
කිලිනොච්චි , විශ්ව මඩු ප්‍රදේශයේ දී බෝම්බයක් පිපිරීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. තවත් පුද්ගලයෙකු එම පිපිරීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව කිලිනොච්චි පොලිසිය ප්‍රකාශ කරයි.

මොවුන් මාර්ග පිළිසකර කිරීමේ නිරතව සිටිය දී එල්.ටී.ටී.ඊ ය විසින් වළලා තිබූ බිම් බෝම්බයක් මෙසේ පුපුරා ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ එස්.රමනන් නමැති 19 වියැති පුද්ගලයෙකු වන අතර තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇත්තේ එන්.රදන් නමැති අයෙකි. මීට අමතරව ත්‍රිකුණාමලය උප්පුවේලී , සිරුප්පිට්ටි කැලෑ ප්‍රදේශයේ තිබී කිලෝග්‍රෑම් 5ක් බර ක්ලේමෝ බෝම්බයක් සොයා ගෙන තිබේ.

ඊට අමතරව විද්‍යුත් පිපුරුම් උපකරණයක් , ස්විචයක් සහිත විදුලි කෝෂයක් සහ වයර් අඩි 1205ක් සොයා ගෙන ඇති බව ද පොලිසිය පවසයි. 
ලාදුරු රෝහල කෞතුකාගාරයක් වෙයි
Jan 30,2011
වැලිසර පිහිටි ලාදුරු රෝහල කෞතුකාගාරයක් වශයෙන් පවත්වා ගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාං‍ශයේ අවධානය යොමු වී තිබේ.

මේ වන විට ලාදුරු රෝගල නිට්ටාවටම සුවකළ හැකි රෝගයක්ව පවතිනු බැවිනුත් නේවාසිකව ‍ප්‍රතිකාර ගන්නා රෝගීන් නොමැති බැවිනුත් එම රෝහල කෞතුකාගාරයක් වශයෙන් පවත්වාගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම රෝහලේ දැනට වසර සියයකට වඩා පැරණි වාහන සහ යන්ත්‍ර විශාල ප්‍රමාණයක් ඇති බැවින් ඒවා කෞතුක භාණ්ඩ ලෙස භාවිතා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වන විටත් අතීතයේ ලාදුරු රෝගය සඳහා නේවාසිකව ප්‍රතිකාර ලබා ගත් පුද්ගලයින් 46 දෙනෙකු සිටින බව වාර්තා වේ.

රෝගය සුව වී ඇතත් ඔවුන්ගේ භාරකරුවන් නොමැති වීම නිසා ඔවුන් තවදුරටත් රෝහලේ රැඳී සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අද(30) ජාතික ලාදුරු දිනය ලෙස නම් කර තිබේ.
කූඬැල්ලකු නිසා මිය ගිය දරුවා වෙනුවෙන් පරීක්ෂණ කණ්ඩායම් දෙකක්
කූඬැල්ලකු නිසා මිය ගිය දරුවා වෙනුවෙන් පරීක්ෂණ කණ්ඩායම් දෙකක්
Jan 30,2011
කූඩැල්ලෙකු ලේ උරා බීම හේතුවෙන් නාවලිපිටිය රෝහලට ඇතුළත් කෙරුණු අවුරුදු එක හමාරක් පමණ වයසැති දරුවෙකු මියයා‍මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ කණ්ඩායම් දෙකක් පත් කර තිබේ.

ඒ අනුව අමාත්‍යාංශයෙන් එක් කණ්ඩායමක් සහ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තවත් කණ්ඩායමක් පත් කර ඇති බව අමාත්‍යාංශය පවසයි.

මෙම දරුවා රෝහල් ගත කළ පසු ලබාදුන් එන්නතක් විෂවීමෙන් මරණය සිදුව ඇති බවට සැක පළකරමින් එම දෙමාපියන් රෝහල් අධ්‍යක්ෂවරයාට සහ නාවලපිටිය පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබූහ.

එහි දී පාලිත මහීපාල මහතා උපදෙස් දී ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා ‍දරුවා මිය යාමට හේතුව අනාවරණය කර ගන්නා ලෙසයි.

ඒ අනුව ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සහ ‍මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්තිනි සමරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් තවත් කණ්ඩායමක් පත් කර තිබේ.
ප්‍රචණ්ඩ ක්‍රියා 6 යි-අපේක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්
Jan 30,2011
පළාත් පාලන මැතිවරණයට අදාළ සිද්ධීන් 6ක් මේ වන විට වාර්තා වී ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.

එයින් හතරක් එකම පක්ෂයේ අපේක්ෂකයින් අතර ඇති වූ ආරවුල් බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

ඉදිරියේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය විය හැකි බැවින් යම් නීතිමය හා විනය ක්‍රියා මාර්ගයක් තුළින් මැතිවරණ කටයුතු සිදුවිය යුතු බවට තමන් ඒ ඒ පක්ෂ වල වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම අද දෙරණට කියා සිටියේය.

මේ අතර දිවයින පුරා මැතිවරණ නීතී රීතී පිළිබඳ අපේක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

පොලිස් ස්ථාන මට්ටමින් එම දැනුවත් කිරී‍මේ වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කරයි.

අත්හිටවූ ජලය යළි ලැබෙන්නේ රාත්‍රී 8 ටයි
අත්හිටවූ ජලය යළි ලැබෙන්නේ රාත්‍රී 8 ටයි
Jan 30,2011
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක අද දිනයේ ජල සැපයුම අත්හිටවූ බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව ජල සැපයුම අද (30)උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 12 ක කාලයක් අත්හිටුවීමට නියමිතව තිබේ.

ඒ අනුව මහරගම, කෝට්ටේ, කොළොන්නාව, දෙහිවල , ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශ සහ මොරටුව මහනගර සභා බල ප්‍රදේශයේ කල්දෙමුල්ල , සොයිසාපුර සහ තෙලවල යන ප්‍රදේශ , පෑලියගොඩ , මාබෝල , කැස්බෑව සහ බොරළැස්ගමුව නගර සභා ප්‍රදේශ , ජාඇල , කැලණිය , වත්තල , මහර , දොම්පේ , බියගම , කොටිකාවත්ත , මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වල අද දිනයේ ජල සැපයුම අත්හිට‍වනු ඇත.

එමෙන්ම කඩුවෙල ප්‍රාදේශීය සභා‍වට අයත් බත්තරමුල්ල , හෝකන්දර , මාලබේ සහ බියගම අපනයන ප්‍රවර්ධන කලාපය , දෙකටන හා මල්වාන අවට ප්‍රදේශවල ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

මීට අමතරව මහරගම නගර සභා බල ප්‍රදේශය , හෝමාගම , කැස්බෑව , බොරළැස්ගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ පාදුක්ක , මීපේ , ‍සහ ගොඩගම යන ප්‍රදේශයන්හි ද අද පෙරවරු 8 සිට රාත්‍රී 8 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. 

රුහුණු සරසවියේ පිහි ඇනුමකින් සිසුන් දෙදෙනෙක් රෝහලේ
රුහුණු සරසවියේ පිහි ඇනුමකින් සිසුන් දෙදෙනෙක් රෝහලේ
Jan 29,2011
රුහුණු විශ්ව විද්‍යාලයෙහි සිසුන් අතර සිදුවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු මාතර රෝහලෙහි ප්‍රතිකාර ලබන බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් මහතා පවසයි.

ඊයේ(28) පස්වරුවෙහි ඇතිවූ ගැටුමක් අතර සිදුවූ පිහි ඇනුමකින් මෙම සිසුන් දෙදෙනා තුවාල ලබා ඇති බව ද උපකුලපතිවරයා සඳහන් කළේය.

තුවාල ලැබූ සිසුන් අතරින් එක් සිසුවෙක් කළමනාකරණ හා මූල්‍ය පීඨයේ අධයාපනය ලබන බවත්, අනෙක් සිසුවා විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන සිසුවෙකු බවත් ඔහු ප්‍රකාශ කළේය.

විශ්ව විද්‍යාල භූමියෙන් පිටත මෙම ගැටුම ඇතිවී ඇති නමුත් සිද්ධිය සම්බන්ධව විශ්ව විද්‍යාල මට්ටමෙන් පරීක්ෂණයක් පවත්වන බව මෙන්ඩිස් මහතා අවධාරණය කළේය.
 
චූටිපුතාට තැබූ වෙඩිල්ල වැදුණු තරුණයා මියයයි
Jan 29,2011
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අසලදී පලා යමින් සිටි සැකකරුවෙකුට පොලිසිය සිදුකළ වෙඩි ප්‍රහාරයක දී තුවාල ලබා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ තරුණයා ඊයේ(28) රාත්‍රී ජීවිතක්ෂයට පත්වූ බව එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අපරාධ රැසකට සම්බන්ධ "චූටිපුතා" නම් සැකකරුවෙකු පසුගිය බදාදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට ඉදිරිපත් කළ අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන්ගෙන් මිදී පලාගොස් තිබුණි.

එහිදී පොලිසිය සිදුකළ වෙඩි ප්‍රහාරයෙන් අසල සිටි අදාළ තරුණයා තුවාල ලැබූ අතර පසුව ඔහු ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබීය.

32 හැවිරිදි මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරු‍වෙකු වන මියගිය තරුණයා රත්මලාන ප්‍රදේශයේ රැකියාවක නිරත වූවෙකි.
අනුරාධපුර බන්ධනාගාර ගැටුම -තවදුරටත් පරීක්ෂණ සිදුවෙයි
අනුරාධපුර බන්ධනාගාර ගැටුම -තවදුරටත් පරීක්ෂණ සිදුවෙයි
Jan 29,2011
අනුරාධපුර බන්ධනාගාරයේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් වී. ආර්. ද සිල්වා මහතා පවසයි.

පසුගිය දිනවල බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධීන්ට සම්බන්ධ රැඳවියන් පිළිබඳ අංශ කිහිපයකින් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව ඔහු පෙන්වා දෙයි.

බන්ධනාගාරය තුළ රැඳවියන් පිරිසක් පසුගියදා වහලය මත නැඟී විරෝධතාවක නියලුනු අතර එය විසුරුවා හැරීමට ආරක්ෂක අංශ මැදිහත් වු අවස්ථාවේදී ඇතිවු ගැටුම් වලින් රැඳවියන් දෙදෙනෙකු මේ වන විට මියගොස් තිබේ.

එහිදි බන්ධනාගාර නිලධාරීන් ඇතුළු තවත් පිරිසක් තුවාල ලැබු අතර බන්ධනාගාර දේපළ වලට ද දැඩි හානි සිදුව ති‍බුණි.

අදාළ ගැටුමෙන් පසු රැඳවියන් යළි ආහාර වර්ජනයක නියලුනු ද පසුව එය සමථයකට පත්ව තිබේ.
ජනපතිගෙන් මිලියන 30 ක් ඉල්ලා ඇමරිකානු අධිකරණයකට නඩුවක්
ජනපතිගෙන් මිලියන 30 ක් ඉල්ලා ඇමරිකානු අධිකරණයකට නඩුවක්
 Jan 29,2011
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකාවේ අධිකරණයක නඩුවක් ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

අත්තනෝමතික ලෙස ද්‍රවිඩ ජනයා ඝාතනය කළේ යයි චෝදනා කරමින් ජනාධිපතිවරයාට එරෙහිව මිලියන 30 ක වන්දියක් ඉල්ලා ද්‍රවිඩ ජාතිකයින් විසින් මෙම නඩුව පවරා තිබේ.

ජනාධිපතිවරයා පුද්ගලික සංචාරයක් සඳහා හදිසියේ ඇමරිකාවට පැමිණීමත් සමග ‍ද්‍රවිඩ ඩයස්පෝරාවේ ක්‍රියාකාරීන් විසින් මෙම නඩුව පවරා ඇතැයි සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අමානුෂික ලෙස පහරදීම් හා වධහිංසා පමුණුවීම් මගින් පාපොච්චාරණය කිරීම් වැළැක්වීම සඳහා 1991 වසරේදී සම්මත කර ගනු ලැබූ නීතියකට අනුව මෙම නඩුව ගොනු කළ බව වොෂිංටනයේ නීතිඥවරයෙකු වන බෲස් ෆේන් නැමැත්තා සඳහන් කර තිබේ. 

No comments:

Post a Comment