Pages

Sunday, January 23, 2011

කුච්චුවේලීයේ පොලොව ඉරිතැලෙයි-ත්‍රීකුණාමලය නොසන්සුන්
Jan 23,2011
අද පෙරවරුවේ ත්‍රීකුණාමල දිස්ත්‍රීක්කයේ කුච්චුවේලී පොලිස්බල ප්‍රදේශයේ කලපෛ-ආරු මුහුදු සීමාව අසල පොලොවේ ඉරිතැලීමක් දක්නට ලැබුණු බවත් එයින් ප්‍රදේශය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් බවත්අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

භූමි කම්පාවක් යයි සැක සිතුණු ජනයා හදිසියේ බියට පත්වී ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කර ඇති බවත්,මේ වන විට පතල් කාර්යාංශයේ නිලධාරීන් ද මෙම ස්ථානයට ළඟා වෙමින් සිටින බවත් සඳහන් වේ. මේ වන විට කුච්චුවේලී පොලීසියේ ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ පොලිස් නිලධාරීන් මෙම ස්ථානයට ගොස් මූලික පරීක්ෂණ පවත්වන බව පොලීසිය පවසයි.

එසේම සිද්ධිය පිළිබඳ පුළුල් පර්යේෂණයක් කිරීම සඳහා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු වි‍ශේෂඥයින් මෙම ස්ථානයට ළඟා වෙමින් සිටින බවත් කුච්චුවේලී පොලීසිය කියා සිටියි.
හම්බන්තොටින් අතුරුදහන් වූ සංකර පුතා ඉන්දුනීසියාවෙන් මතුවෙයි
හම්බන්තොටින් අතුරුදහන් වූ සංකර පුතා ඉන්දුනීසියාවෙන් මතුවෙයි
Jan 23,2011
මාස 2 ට අධික කාලයක් අතුරුදහන්ව තිබූ"සංකර පුතා-2"ධීවර යාත්‍රාව ඉන්දූනීසියානු මුහුදු සීමාවේ දී සොයා ගෙන තිබේ.

පසුගිය නොවැම්බර් 12 වැනි දින මෙම ධීවර යාත්‍රාව ධීවරයින් 5 දෙනෙකු ද සමග හම්බන්තොට ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

එම යාත්‍රාව සමග තිබූ සියලු සන්නිවේදන සම්බන්ධතා නොවැම්බර් 23 වැනි දින සිට බිඳවැටී තිබූ බව ධීවර අමාත්‍යාංශය පවසයි.

ඊ‍යේ දිනයේ දී ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවක් මෙම යාත්‍රාව දැක ඇති අතර පසුව ඔවුන් ඒ පිළිබඳව එරට නාවික හමුදාවට දැනුම් දී තිබේ.

ඒ අනුව ඉන්දුනීසියානු නාවික හමුදාව මෙම ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනා බේරාගෙන ඇති බව ධීවර අමාත්‍යාංශය පවසයි.

ධීවරයින් පස්දෙනා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින අතර ඉදිරි සතිය තුළ දී ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ධීවර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
සේරු නුවරින් යුද උපකරණ හමුවෙයි
Jan 23,2011
සේරු නුවර , තංගනගර් සුසාන භූමිය අසල සඟවා තිබූ ටී.56 උණ්ඩ ඇතුළු යුද උපකරණ තොගයක් සොයා ගෙන තිබේ.

තල්ගසක් යට වළලා තිබූ මෙම යුද උපකරණ සේරු නුවර පොලිසිය විසින් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

ටී.56 උණ්ඩ 69ක් , ටී.56 මැගසින් 4ක් සහ ජීව අත්බෝම්බයක් ඒ අතර වන බව පොලිසිය පවසයි.

මේ අතර වැලිමඩ නුගතලාව ප්‍රදේශයේ ඉඩමක තිබී ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබේ.

සිය ඉඩම පවිත්‍ර කිරීමේ කටයුතු වල නිරතව සිටිය දී ‍එහි හිමිකරුට මෙම අත්බෝම්බය හමු වී ඇති බව ‍වැලිමඩ පොලීසිය සඳහන් කරයි.
 
ජල ගැලීම් අඩුයි-සර්පයින් වැඩියි
ජල ගැලීම් අඩුයි-සර්පයින් වැඩියි
Jan 23,2011
ජල ගැලීම් තත්ත්වය අඩු වීමත් සමගම නැගෙනහිර පළාතේ ජනතාවට සර්පයින්ගෙන් ආරක්ෂා වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

පසුගිය දින වල නැගෙනහිර පළාතේ ඇති වූ ජල ගැලීම් හේතුවෙන් විවිධ සර්පයින් ගොඩබිමට පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මුහුදු සර්පයින් ද ගොඩබිමට පැමිණ ඇති හෙයින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස ඉදිරියේ දී ගොවිතැන් කටයුතු වල නියැලෙන ගොවීන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

මීට පෙර ද නැගෙනහිර පළාතේ ජල ගැලීම් වලින් අනතුරුව සර්පයින් දෂ්ඨ කිරීම් ඉහළ යාමක් වාර්තා වූ බැවින් මෙවර ද එවැනි තත්ත්වයක් ඇති විය හැකි අතර ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අදාළ ප්‍රදේශ වල සෞඛ්‍ය බලධාරීන් ද මේ පිළිබදව දැනුවත් කර ඇති ‍බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ළමා රක්ෂිතයන් 06 ක් අත්අඩංගුවේ-ළමා නිවාස වල අපයෝජන ඉහළ යයි
Jan 23,2011
දිවයින පුරා ඇති සියලු ළමා නිවාස වල කටයුතු විශේෂ පරීක්ෂාවට‍ ලක්කරන බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසයි.

ළමා නිවාස වල දී ළමුන්ට සිදු වන අපයෝජන සම්බන්ධයෙන් ලැබෙන පැමිණි ඉහළ ගොස් ඇති බව ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ අනෝමා දිසානායක මහත්මිය ප්‍රකාශ කළාය.

මේ වන විට ළමා නිවාස වල වගකිවයුත්තන් 06 දෙනෙකු අධිකරණ මගින් රිමාන්ඩ් භාරයට පත්කර ඇති බවත්,මෙය ශෝචනීය තත්ත්වයක් බවත් ඇය අද දෙරණට කියා සිටියාය.

ළමුන්ගේ උපරිම යහපත සලකා ඒ වෙනුවෙන් ක්‍රියා කරන ලෙස සියලුම ළමා නිවාස වල පාලක පාලිකාවන්ගෙන් තමා ඉල්ලා සිටින බවද ඇය සඳහන් කළාය.

වෙනදාට වැඩියෙන් කාර්යක්ෂමව වැටලීම් කටයුතු සිදුකිරීමට ජාතික ළමා රක්ෂණ අධිකාරිය කටයුතු කරමින් සිටින බවද නීතීඥ අනෝමා දිසානායක මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
අර්තාපල් කියා ලක්ෂ 80 ක බඩු රේගුවෙන් පන්නන්න හදලා
Jan 23,2011
අර්තාපල් ආනයනය කරන බවට පවසමින් නීතී විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද ලක්ෂ 80ට අධික භාණ්ඩ තොගයක් රේගුව විසින් සොයා ගෙන තිබේ.

මත් පුවක් වර්ග , බීඩී , දුම්‍කුඩු පැකට් , ඇඟ ආලේපන ඇතුළු විවිධ ද්‍රව්‍ය මෙහි දී සොයා ගත් බව රේගුව පවසයි.

පිටකො‍ටුව අල සහ ලොකු ලූනු ආනයනය කරන සමාගමක් විසින් ‍ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද අර්තාපල් කන්ටේනර් දෙකකින් ‍එක් කන්ටේනර්යක් තුළ තිබී මෙම ද්‍රව්‍ය සොයා ගෙන තිබේ.

රේගු විශේෂ කාර්යය සහ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ පරීක්ෂාවක දී මේවා සොයා ගත් බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සිසිර ද සිල්වා මහතා ප්‍රකාශ ‍කළේය.

මෙම කන්ටේනර් ආනයනය කළ සමාගමේ හිමිකරු සහ තවත් සේවකයෙකු රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන් වේ.

No comments:

Post a Comment