Pages

Saturday, January 22, 2011

බන්ධනාගාරයට හෙරොයින් ගෙන තැත්කළ අයෙක් අත්අඩංගුවට
Jan 22,2011
මීගමුව බන්ධනාගාරය තුළට හෙරොයින් රැගෙන යාමට උත්සාහ දැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා සැකකරුවෙකු බැලීමට පැමිණ ඇති අතර බන්ධනාගාරය තුළට මෙම හෙරොයින් තොගය අඩංගු පාර්සලය රැගෙන යාමට උත්සහ දරා ඇති බව සඳහන්ය.

බන්ධනාගාර නිලධාරින් සිදුකළ පරීක්ෂා කිරීමේ දී අදාළ හෙරොයින් තොගය අඩංගු පාර්සලය සොයාගෙන තිබේ. පසුව ඔහු මීගමුව පොලිසියට භාරදී ඇති බව වාර්තා වේ.

අදාළ පුද්ගලයා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 310 ක් සොයාගෙන ඇති අතර ඔහු අද(22) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
ලෝක කුසලාන තරගාවලිය පීඩනයක් කරගත යුතු නෑ
- සංගක්කාර 
Jan 22,2011
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට පැමිණීම තම එකම සැලසුම බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර පැවැසීය. එම තරගාවලිය ගැන පමණට වඩා සිතමින් අනවශ්‍ය පීඩනයක් ඇතිකර නොගෙන සැහැල්ලු තරග රටාවකින් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තුව බව ද සංගක්කාර සඳහන් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ඊයේ මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී සංගක්කාර මේ බව පැවැසීය. ”ක්‍රිකට් ලෝක කුසලානය ජයගන්නා රට පිළිබඳ විවිධ මත පළවෙනවා.
ඒ නිසා බොහෝ රටවල ක්‍රීඩකයන්ට එක හා සමාන පීඩනයක් දැන් ඇතිවෙලා. අපි හිතන්නේ මේ තරගාවලියත් තවත් එක අවස්ථාවක් කියලයි. හැම තරගයක්ම අපට වැදගත් නිසා නිදහස් මානසිකත්වයකින් ඉදිරියට යෑම වැදගත්” සංගක්කාර පැවැසීය. ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද ඛෙත්තාරාම, පල්ලේකැලේ හා සූරියවැව ක්‍රීඩාංගණවල තණතිලි අලුත්ම ඒවා බැවින් නිසි අධ්‍යයනයක නිරතවීම වැදගත් බවද, ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා අවධාරණය කළේය.”අන්තර් පළාත් ක්‍රීඩා සමාජ තරගාවලි මේ දිනවල පැවැත්වෙන නිසා අලුත් තණතීරු ගැන අවබෝධයක් ලබාගැනීමට පහසුයි.
ඛෙත්තාරාම තණතිල්ලේ තරග කිහිපයක්ම තියනවා. කොදෙව් පිල සමග ඉදිරියේ පැවැත්වෙන සංචාරය අපට ඉතාම වැදගත්. ඒ සංචාරයෙන් අනතුරුව අපට ලෝක කුසලාන තරගාවලිය ගැන හොඳින් දැනෙන්න පටන් ගනීවි.” මීළඟ ලෝක කුසලාන තරගාවලිය වසර 2015 දී පැවැත්වෙන බැවින් එම තරගාවලියට ක්‍රීඩා කිරීමට අපේක්‍ෂා කරන්නේ ද යන්න විමසූ විට සංගක්කාර පැවසුවේ ඒ පිළිබඳ යමක් පැවැසීමට කාලය වැඩි බවය.
”2015 වෙද්දී මට වයස 37 යි. ඒක ගොඩක් දුර තියන ප්‍රශ්නයක්. කොහොම වුණත් ඒ වන විට තේරීම් කමිටුව තීරණය කළ යුතුයි මාගේ දායකත්වය ගැළපෙනවද කියන එක. ඒ වන විට ක්‍රිකට් රිද්මයට මා ගැළපෙනවා නම් පමණයි අවස්ථාව ලැබෙන්නේ. සමහර විට ක්‍රීඩකයෙකු කොපමණ දක්‍ෂ වුණත් ඒ වන විට තිබෙන අලුත් ගමනට ඔහු වැදගත් වීම අනිවාර්යයි” සංගක්කාර පැවැසීය.

කොස් ගස කපන්නට ආ තරුණයා ගෙහිමි කතගේ රන් මාලය කඩාගෙන

Jan 22,2011
ඒ රද්දොළුගම පොලිස් බල ප්‍රදේශයේ ගම්මානයක පිහිටි නිවසකි. එදින නිවසේ රැඳී සිටියේ ගෘහනිය පමණි. යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකු නිවස ඉදිරිපස මාර්ගය අසල නැවතිණි. යතුරු පැදියේ පසුපස වාඩිවී පැමිණි තරුණයා නිවස වෙත ගමන් කළේය. ගෘහනිය කළ විමසීමට ඔහුගේ පිළිතුර වූයේ කොස් ගසක් විකිණීමට තිබෙන බව දැනගෙන එය බැලීමට පැමිණි බවයි.
තරුණයා ඇගේ දරුවන් සිව්දෙනාගේ නම් නිවැරදිව පැවසීය. තමා ඔවුන්ගේ හිතවතකු බව ද අඟවා සිටියේය. පසුව ගෘහනියගෙන් වතුර වීදුරවක් ද ඉල්ලාගෙන පානය කළ තරුණයා කොස් ගස පරීක්‍ෂා කර බැලිය යුතු බව පවසමින් ගෙවත්තට පියවර නැගීය. ගෙහිමි කාන්තාව ද මෙම ආගන්තුක තරුණයා සමගම ගෙවත්තට පිය නැගුවාය. ඇය කුමක් හෝ කරුණක් සඳහා ඉවතට හැරුණා පමණි. ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ තරුණයා ඇගේ ගෙල බැඳි වටිනා රන් මාලය කඩාගෙන අසුරු සැනින් පලා ගියේය.
ඔහු මහා මාර්ගය දිගේ දිව යන්න වූයේය. ගෙහිමි කතගේ කෑ ගැසීම ඇසී ආසන්නයේ නිවසක සිටි ඥාතියකු පොල්ලක් ද රැගෙන මහ මගට පැන්නේ දිව එන තරුණයාට පහර දීමටය. ”මම නොවෙයි සොරා, අන්න පස්සෙන් එනවා අල්ලගන්න” යයි කියූ මාලය ඩැහැගත් තරුණයා පිටුපසට අත දිගු කරත්ම එබසට රැවටුණු ඥාතියා ඒ දෙසට හැරුණෙන්, තරුණයා විදුලිය වේගයෙන් දිව ගොස් අතුරුදහන් විය.

පාසල වසා දමා ගුරු මණ්ඩලය මංගල සාදයකට ගිහින්

ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලය ඊයේ (21) හදිසියේ වසා දමා විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය විවාහ මංගල උත්සවයකට යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට උපදෙස් දී ඇත. ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා පාසල වසා දමා ඇති බව දැනගත් පසුව ඊයේ දහවල් එම විද්‍යාලයට ගොස් තිබේ.
හැටන් කලාපයේ පිහිටි ප්‍රධාන පෙලේ සිංහල මධ්‍ය මහා විදුහලක් වන මේ ගිණිගත්හේන නවෝද්‍යා මැදි විදුහලෙන් ඉගෙනුම ලබන සිසු සිසුවියන් ගණන 1200කි. ගුරුවරුන් 72න් සමන්විත ආචාර්ය මණ්ඩලයක් ඇති මේ පාසලේ උසස් පෙළ පන්ති විද්‍යා කලා වාණිජ විෂයන්ගෙන් සමන්විත වේ. මධ්‍ය මහා විදුහලක් වසා දමා විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වීමට එහි විදුහල්පතිවරයාට බලයක් ඇත්ද යන්න පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් විමසු විට ඔහු ප්‍රකාශ කළේ, විදුහලක නිවාඩු දිනයක් ප්‍රකාශ කිරීමට විදුහල්පතිවරයාට බලයක් නොමැති බවය.
පළාත් ප්‍රධාන ඇමැතිවරයාගේ උපදෙස් මත, මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කණ්ඩායමක් පත්කර යවා ඇති බවත්, ඒ අනුව වාර්තාවක් සකස් කර ප්‍රධාන ඇමැතිවරයාට ලබා දීමට පියවර ගන්නා බවත්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විජේසිරි හේරත් මහතා ප්‍රකාශ කෙළේය.

ලෝක කුසලානයෙන් පසු මුරලි ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙයි
ලෝක කුසලානයෙන් පසු මුරලි ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙයි
2011 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් පසු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

ලාහෝර් ප්‍රහාරය -සැලසුම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පැහැරගැනීමයි
ලාහෝර් ප්‍රහාරය -සැලසුම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පැහැරගැනීමයි
Jan 21,2011
2009 වසරේ පකිස්ථානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පැහැරගැනීම බව අදාළ සිද්ධියේ ප්‍රධාන චූදිතයකු අනාවරණය කර තිබේ.

එම සාමාජිකයින් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන එම ප්‍රහාරය සංවිධානය කරන ලද ලෂ්කර් ඊ ජන්ග්ව් ත්‍රස්තවාදී කණ්ඩායමෙහි අත්අඩංගුවේ පසුවන සාමාජිකයින් මුදවාගැනීම අරමුණ වූ බව ද ඔහු සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි ත්‍රස්තවාදී ප්‍රහාරය වසිරිස්ථානයේදී සැලසුම් කරන ලද බව ද, ඒ සඳහා සාමාජිකයින් 12 දෙනෙකු සූදානම් කළ බව ද දැනට රැඳවුම් භාරයේ සිටින අබ්දුල් වහබ් හෙවත් ඕමාර් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම මෙහෙයුම සඳහා අදාළ ස්ථානයට රික්ෂෝ රථ හා යතුරු පැදි වලින් පැමිණි බවත්, මෙහෙයුම සඳහා අවශ්‍ය පුහුණුව වසිරිස්ථානයේදී ලැබූ බවත් ඔහු වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

2009 මාර්තු මස පකිස්ථානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ගමන් ගත් බස් රථයට එල්ල වූ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 5දෙනෙකු තුවාල ලැබූ අතර පකිස්ථාන පොලිස් නිලධාරීන් 6 දෙනෙකු සහ වෑන් රථ රියදුරෙකු මරණයට පත්විය. 
 

ශිරන්ති රාජපක්ෂ මහත්මිය සුමිත්‍රා පීරිස් මහත්මිය ගෙන් සුවදුක් විමසන අයුරු.

Jan 21,2011
පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මිය බැලීමට ගිය ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇගෙන් සුවදුක් විමසන අයුරු.
කැලණිය පාසල් බෑගයට නියම මිලක් නැතිලු
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති නව සෞඛ්‍යාරක්ෂිත පාසල් බෑගය කැලණිය, කඩවත, කිරිබත්ගොඩ ප්‍රදේශවල විවිධ වෙළෙඳසල්වල විවිධ මිල ගණන් යටතේ අලෙවි කෙරේ.
කුඩා, මධ්‍යම හා විශාල ප්‍රමාණ යටතේ මාදිලි තුනකින් හඳුන්වාදී ඇති මේ පාසල් බෑගය අලෙවි කිරීමට නියමිත මිලක් නැත. ඒ හේතුවෙන් වෙළෙඳසල් හිමියන් හිතූ හිතූ මිලට ඒවා අලෙවි කරති. මේ පිළිබඳව බොහෝ මවුපියෝ කනගාටුව පළකර සිටිති.

එක්සත් ජාතීන්ගේ කමිටුව, ජනපති සමග සාකච්ඡා කරන්නේ නෑ
එක්සත් ජාතීන්ගේ කමිටුව, ජනපති සමග සාකච්ඡා කරන්නේ නෑ
Jan 21,2011
අමෙරිකාවේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුව සාකච්ඡා නොකරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය තහවුරු කර තිබේ.

අදාළ කමිටුවේ කිසිදු සාමාජිකයකු හමුවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සැලසුම් කර නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක මාර්ටින් නෙසර්කි සඳහන් කරයි.

පසුගිය බදාදා දින විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා සමග ජනාධිපති රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියේය. 

තීරු බදු නැති සැප වාහන ගමේ ලොක්කන්ටත් බෙදයි
තීරු බදු නැති සැප වාහන ගමේ ලොක්කන්ටත් බෙදයි
Jan 21,2011
පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීමට අදාළ චක්‍ර ලේඛය අද(21) නිකුත් කරන බව රජයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව විෂ්‍ය භාර අමාත්‍ය ඒ.එල්.එම් අතාවුල්ලා මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලදුව ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව නගරාධිපති,නියෝජ්‍ය නගරාධිපති,ප්‍රාදේශීය සභා සභාපති,උප සභාපති ආදී පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගෙන් තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීම සඳහා ලබන සතියේ සිට අයදුම්පත් කැඳවන බව සඳහන් වේ.

No comments:

Post a Comment