Pages

Friday, January 7, 2011

රනිල්ට ලංකාව දියුණු නැතිලු


පිය ආභාසයෙන් ගී ලොවට පිවිසි පුතුන් අතර රනිල් මල්ලවාරච්චි ද සුවිශේෂී ගායන ශිල්පියෙකි. පියාගේ ගී ගයමින් ලැබූ ප්‍රසාදයත්, ‘මේ මගේ මලයි’, ‘අඹ යාළුවේ’ වැනි ගීත ගයමින් ගොඩ නඟාගත් අනන්‍යතාවයත් නිසා රනිල් ජනප්‍රියත්වයේ උපරිමය කරා ළඟා වුවද, ඔහු ඒ සියල්ල හැරදා තම බිරිඳ හා දරු දෙදෙනා කැටුව ඔස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා පිටත්ව ගියේය.
මාස දහයක කාලයකට පසු යළිත් මව්බිමට පැමිණි රනිල් අප සමඟ සිය වත ගොත පවසන්නටද අමතක නොකළේය.
‘මම ගොඩක්ම ඔස්ට්‍රේලියාවට පදිංචියට යන්න හිතුවෙ මගේ් දරුවෝ නිසා. අපිට නොලැබුණ දේ කවදා හරි මගේ් දුවටයි, පුතාටයි ලබාදීම තමයි මගේ අරමුණ. ඒ නිසා මේ අවස්ථාව පැහැර හැරියොත් ඒක ලොකු අපරාධයක් වෙනවා. අනිත් එක අපේ රටේ කලාකරුවෙක් විදිහට වයසට ගිය දවසක අත්වන ඉරණම ඛේදනීයයි කියලත් දැනුණ නිසයි පිටරට පදිංචියට යන්න තීරණය කළේ.’
ගායකයෙක් ලෙස තිබුන පිළිගැනීම, ජනප්‍රියත්වය පසෙකලමින් විදෙස් ගත වුණා හේතුව රනිල්ගෙන් විමසද්දී ඔහු දුන් පිළිතුරයි ඒ.
‘ගායකයෙක් විදිහට තිබුන පිළිගැනීම එහෙ ගියාට පස්සෙත් ලැබුනද?
නැත්තෙමත් නැහැ. මෙල්බර්න් සහ සිඩ්නිවල ඉන්න ශ්‍රී ලාංකිකයෝ හැමෝම වගේ තාත්තගෙ ගීත ප්‍රිය කරන අය. මම ගයන ඒ ගීත එහෙ සිංහල රේඩියෝ නාලිකාවල ප්‍රචාරය වෙනවා. ඔස්ට්‍රේලියාවෙ පදිංචියට යන්න කලින් මම සංගීත ප්‍රසංගවලට එහෙ ගිය නිසා මගේ රසික පිරිසක් එහෙ ඉන්නවා.
ඒත් එහෙ ඉන්න මගේ් මිත්‍රයෝ, රසිකයෝ හැමෝම කියන්නෙ ලංකාවෙ තමයි අපි ඉන්න ඕන කියලා. ඒත් අපේ ජීවිතවල සිද්ධ වෙන්නෙ ඒ ඒ කාලවලට සිද්ධ වන දේ මිස, අපි බලාපොරොත්තු වන දේ නෙවෙයි’ රනිල්ගේ් හඬ තුළ වේදනාත්මක බවක් රැඳී නොතිබුනා නොවේ.
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි රනිල් එහි රැකියාවක් කරන අතරම තම මිතුරකු සමඟ එක්ව ව්‍යාපාරයකද නිරත වෙයි.
‘උපන් දා සිටම, විවාහ වී දරු මල්ලන් ලැබෙන තුරුම ශ්‍රී ලංකාවේ සිටි ඔබට, විදෙස් රටක පදිංචියට ගිය පසු, අපේ රටේ සහ ඔස්ට්‍රේලියාවේ වෙසෙන්නන් අතර ඇති වෙනස කොහොමද දැනෙන්නෙ?’
එහෙ උස් පහත් බේද, තරාතිරම් නැහැ. කෙනෙක්ට තව කෙනෙක් විවේචනය කරන්න බැහැ. සුදු ජාතිකයෙක්ද, කළු ජාතිකයෙක්ද කියන බෙදීම් නැහැ. හැමෝම දිහා එක සමාන තත්ත්වයෙන් තමයි බලන්නෙ. මම ඒ තත්ත්වයට ගොඩක් ගරු කරන කෙනෙක්. අපේ රටයි, ඒ රටයි සසඳන්න බැහැ. අපි දියුණු නැහැ ඒ රටවල් තරම්. නමුත් අගය කළ යුතු දේ අගය කළ යුතුමයි.
‘මෙහෙ ගීත ගයපු ඔබට ඔස්ට්‍රේලියාවට ගිහින් රැකියාවක් කරන එක අපහසුවක් වුණේ නැද්ද?’
ඒක නැහැ කිව්වොත් බොරුවක්නෙ. මම අවුරුදු 19 ක් තිස්සෙ සංගීතයෙ රැඳිලා හිටපු කෙනෙක්. පාසලෙන් අයින්වෙලා මම යොමු වුණේ ගායනයට. මගේ් වෘත්තීය වුණේ ගායනය. හැමදේම මම හදාගත්තෙ එතනින්. කවුරුවත් යටතේ රැකියාවක් නොකරපු මට පිටරට ගිහින් හාත්පසින්ම වෙනස් රැකියාවක් කරන එක අමාරු වුණා තමයි. ඒත් ඒ දේට මම හුරු වුණා.’
වරින් වර ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ප්‍රසංග සඳහා එහි යන රනිල්ගේ ගායක මිතුරන් නිසා විනෝදවන්නට කාලය ලැබෙන බව රනිල් අප සමඟ පැවසුවේ සිනාමුසු මුහුනෙනි.
‘සින්දු කියනවා කියන්නෙ වරදක් නෙවෙයි. ඒත් අනුන්ගෙ ගීත මුදල් උපයා ගැනීමේ පරමාර්ථය ඇතුව ගයන එකනම් වරදක්. ඇත්තටම අද කලාව කියන දේ පැවතිලා තියෙන්නෙ පැරණි ශිල්පීන් නිසා. පිටරටවලත් පැරණි අයගෙ ගීත නවකයන් ගයනවා. ඒත් ඒ දේවල් කරන්නෙ, මුල් හිමිකරුවන්ට දේවත්වයෙන් සළකමින්. මෙතන වරද ශිල්පීන්ගෙ නෙවෙයි. අදාල වැඩසටහන් මෙහෙයවන ආයතනවල. මේ ගැන අපිත් එකතුªවෙලා කතා කරපු තැන් තිබුනා.
ඒත් වැඩක් වුණේ නැහැ. රජයේ සහයෝගයෙන් යම් නීති සම්පාදනයකින් යුක්තව තරු වැඩසටහන් කෙරෙනව නම් ඇත්තටම කිසිම ශිල්පියෙක්ට අසාධාරණයක් සිදු නොවේවි’ වර්තමානයේ පැවතෙන තරු වැඩසටහන් ගැන රනිල් කතා කළේ ඒ විදිහට.
තම ආදරණීය දරු දෙදෙනාගේ යහපත වෙනුවෙන් විදෙස් ගත වූ රනිල් යළි ගායනා නොකරාවිද යන පැනය අපට ඇති වුණා.
‘එහෙම වෙන එකක් නැහැ.’ රනිල්ගෙ පිළිතුරයි ඒ. රනිල්ගේ ස්වතන්ත්‍ර නිර්මාණ තිබුණද, ප්‍රසංගවලදී ඔහු ගයන්නේ සිය පියාණන්ගේ් ගීතයි. එහි අරුත අපි ඔහුගෙන් විමසුවා.
(සිනාසෙමින්) මගේ් නිර්මාණ කරනවා. ඒත් කවුරුවත් අහන්නෙ නැහැනෙ. හැමෝම ඉල්ලන්නෙ තාත්තගෙ සින්දු. ඒ නිසා ඒවම ගයනවා.
නිරාශා මල්ලවාරච්චි රනිල්ගේ ආදරණීය බිරිඳයි. පවුල් ජීවිතය වෙනුවෙන් නිරාශා තුළ ඇති කැපවීම රනිල් නිරතුරුවම අගයයි.
‘ඇත්තටම නිරාශා මට හොඳ බිරිඳක්, මගේ පවන් පුතාටයි, අනුපජා දුවටයි හොඳ අම්මා කෙනෙක්. නිරාශා නිසා තමයි අපි අද මෙහෙම දියුණු තැනක ඉන්නෙ.’
පෞද්ගලික කාරණා කීපයකට මව්බිමට පැමිණි රනිල් තව ටික දොහකින් යළිත් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යයි. එහෙත් . . . ඔහුගේ් හඬින් ගැයෙන ජනප්‍රිය ගී කල්ප කාලයක් යනතුරුම අප අතර රැෙඳන බව අපි දනිමු.


No comments:

Post a Comment