Pages

Monday, January 10, 2011


සනත්-වාස් මගේ පි‍්‍රයතම ක්‍රීඩකයන් වුවත් රට ගැන හිතා කණ්ඩායමට නම් කළේ නෑ

තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා

පි‍්‍රන්ස් ගුණසේකර
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල තේරීමේදී තමාගේ පි‍්‍රයතම ක්‍රීඩකයන් දෙදෙනකු වන සනත් ජයසූරිය හා චමින්ද වාස් ඉවත් කිරීමට සිදුවූයේ රට වෙනුවෙන් බව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා පැවැසීය.
එය ඉතාම අමාරු හා හැඟීම්බර තීරණයක් වූ බවද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල තේරීම පිළිබඳ මාධ්‍ය හමුවේ කරුණු හෙළි කිරීමක් පෙරේදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී සිදු වූ අතර එම අවස්ථාවට නායක කුමාර් සංගක්කාර හා තේරීම් කමිටු සාමාජිකයන් ද එක්වූහ.
මෙහිදී අදහස් දැක් වූ අරවින්ද ද සිල්වා මහතා පැවැසුවේ ප්‍රතිවාදී කණ්ඩායම් ගැන සැලකිලිමත්ව ක්‍රීඩක වර්ගීකරණයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල තේරීමට සිදු වූ බවය.
එහිදී පළපුරුද්ද මෙන්ම එකිනෙකට වෙනස් වූ දක්ෂතා ගැඹුරින් සැලකිල්ලට ලක්කොට ඇත. කණ්ඩායම තේරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සමග කිහිප වතාවක්ම සාකච්ඡා කළ බවද සිල්වා මහතා පැවැසීය.
“සනත් - වාස් දෙදෙනාම රට වෙනුවෙන් ගොඩක් කැප වී ක්‍රීඩා කළ දෙදෙනෙක්. මා සමඟ වසර ගණනාවක් එකට ක්‍රීඩා කළා. දෙදෙනාම මගේ පි‍්‍රයතම ක්‍රීඩකයන්. ඒත් මේ වගේ වෙලාවක මිලියන 20 ක ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අමාරුවෙන් හරි තීන්දු ගන්න වෙනවා. අපට හරි තීන්දුවක් ගන්න වුණා.”
“වාස් හා නුවන් කුලසේකර යන දෙදෙනාගෙන් කව්ද ? යන ප්‍රශ්නය අපට මතුª වුණා. පසුගිය කාලයේ ඒ දෙදෙනාගෙන් වඩාත්ම දක්ෂතා දැක් වූ ක්‍රීඩකයාට තැනක් දියයුතු වුණා. අනෙක් පැත්තෙන් ජයසූරිය වැනි දක්ෂ ක්‍රීඩකයෙකුට කණ්ඩායමේ තැනක් හිමි කර දෙන්නේ කොහොමද යන ප්‍රශ්නය මතු වුණා. ලසිත් මාලිංගට සහයෝගය උදෙසා දිල්හාර ප්‍රනාන්දු තෝරා ගත්තා.
මාලිංග මුල් ඕවර් දෙක තුනක් යැවූ පසුව කුලසේකර සමග දිල්හාර පන්දු යැවිය යුතුයි. බොහෝ දෙනා සිතනවා දිල්හාර ප්‍රතිවාදීන්ට ලකුණු දෙන, නෝබෝල් යවන ක්‍රීඩකයෙක් කියා. නමුත් දිල්හාර වේග පාලනයක් ඇති හොඳ පන්දු යවන්නෙකු නිසා ඔහුව කණ්ඩායමට ගත්තා.’’
“සුරාජ් රන්දිවි ඉවත් කිරීමට වීමත් අවාසනාවන්ත දෙයක්. ඔහු හොඳින් ක්‍රීඩා කරනවා. නමුත් මුරලි හා රන්දිවි එක වගේ පන්දු යවන නිසා වෙනස් රිද්මයක් ඇති රංගන හේරත් කණ්ඩායමට ගෙනාවා” යැයි ද සිල්වා මහතා පැවැසීය.
එහෙත් රංගන හේරත් හා සනත් ජයසූරිය යන දෙදෙනාම පා දඟ පන්දු යවන්නන් හෙයින් වඩාත් සුදුස්සා ලෙස සනත් ජයසූරිය තෝරා නොගත්තේ ඇයිදැයි මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ. එවිට තේරීම් කමිටු සභාපතිවරයා පැවැසුවේ සනත් ජයසූරිය අංක 9 ස්ථානයේ පන්දුවට පහරදීම තමන් අනුමත නොකරන බවයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණයේදී හදිසි අවශ්‍යතාවක් මතුවුණොත් මහේල ජයවර්ධන ආරම්භක පිතිකරු ලෙස පන්දුවට පහර දෙනු ඇතැයි ද පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුªමාර් සංගක්කාර පැවැසුවේ ලෝක කුසලාන තරගාවලියට සමබර දක්ෂ කණ්ඩායමක් තෝරා දී ඇති බවය.
“කාලයක් මහන්සිවී ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ට ලොකු වගකීමක් දැන් පැවැරී තිබෙනවා. එය හොඳින් ඉටුකරයි කියා හිතනවා. ලෝක කුසලාන තරගාවලියට කලින් අපට තරග කිහිපයක් අවශ්‍ය බව පාලක මණ්ඩලයට දන්වා තිබෙනවා. එය ලබාදෙනු ඇතැයි විශ්වාස කරනවා’’ සංගක්කාර පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය
කුමාර් සංගක්කාර (නායක), මහේල ජයවර්ධන (උප නායක), තිලකරත්න දිල්ෂාන්, උපුල් තරංග, චාමර සිල්වා, තිලාන් සමරවීර, ඇන්ජලෝ මැතිව්ස්, චාමර කපුගෙදර, තිසර පෙරේරා, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, දිල්හාර ප්‍රනාන්දු, මුත්තයියා මුරලිදරන්, අජන්ත මෙන්ඩිස්, රංගන හේරත්.
.

එකම මිනී පෙට්ටියේ මළ සිරුරු දෙකක්

සඟවා තිබූ බිලිඳු සිරුර ආදාහනයේ දී හමුවෙයි
Jan 10,2011
යටිනුවර ප්‍රාදේශීය සභාවට අයත් පිළිමතලාව අරඹේගම ආදාහනාගාරයට පෙරේදා (8) පස්වරුවේ රැගෙන ආ වයෝවෘද්ධ කාන්තා මළ සිරුරක් ආදාහනාගාරයේ පෝරණුව තුළ පිළිස්සෙමින් තිබියදී එම මළ සිරුර වූ පෙට්ටිය තුළම සඟවා තිබී තවත් බිලිඳු මළ සිරුරක් පිළිස්සෙනු දැක ආදාහනාගාර පාලකවරයා එහි වූ ගෑස් නළ වසා දමා සිද්ධිය පොලිසියට දැනුම්දී තිබේ.
පසුව පොලීසිය එහි පැමිණ තරමක් පිළිස්සී තිබුණු මළසිරුරු දෙක පිටතට ගෙන ඇත. මියගිය කාන්තාව පේරාදෙණිය ගන්නෝරුව ප්‍රදේශයේ පදිචි තැනැත්තියක වන අතර ඇගේ මළ සිරුර ඥාතීන් කිහිපදෙනකු විසින් පෙරේදා (08) පස්වරු 3.00ට පමණ ආදාහනාගාරයට බාරදී එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
මළ සිරුර සහිත පෙට්ටිය ආදාහනාගාරයේ පෝරණුවට ඇතුළුකර විනාඩි 10කට පමණ පසු එහි පාලකවරයා ගෑස් නිකුත්වීම නිසි පරිදි සිදුවේද යන්න පිරික්සීම සඳහා ආදාහනාගාරයේ වූ කුඩා කවුළුවක් තුළින් මළසිරුර පිළිස්සෙන අයුරු නිරීක්ෂණය කර ඇත. එම අවස්ථාවේ කුඩා මළ සිරුරක්ද එහි දැවෙනු ඔහු දැක තිබේ.
බිලිඳු මළ සිරුර වයස අවුරුදු 01ක පමණ පිරිමි දරුවකුගේ විය හැකි බව පොලිසිය අනුමාන කරයි.
මියගිය කාන්තාවගේ මළසිරුර නිවෙසට රැගෙන නොගොස් ඇගේ ඥාතීන් විසින් පැණිදෙණිය ප්‍රදේශයේ මල් ශාලාවක දිනක් තබා ආදාහනාගාරයට රැගෙනවිත් තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.
බිලිඳු මළ සිරුර මේ කාන්තාවගේ මළසිරුර වූ පෙට්ටියට කෙසේ පැමිණියේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. මළ සිරුරු පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය මහනුවර වැඩබලන මහෙස්ත්‍රාත් උපාලි බෝගහපිටිය මහතා විසින් සිදුකරනු ලැබ ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මල් ශාලාවේ හිමිකරු පොලීසිය ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබේ.
කඩුගන්නාව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක සුජීව කන්දේවත්ත, පොලිස් සැරයන්වරුන්වන බාලසූරිය සිරිමල් නිලධාරීහු සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
පස් කන්දක් කඩා වැටී මිය ගිය පිරිස 5 යි-තවත් 4 ක් අතුරුදහන්
Jan 10,2011
මහනුවර දෙවන රාජසිංහ මාවතේ නිවාස කිහිපයක් මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මියගිය පුද්ගලයින් පස් දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

තවත් පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන් වී ඇති බව මහනුවර පොලිසිය සඳහන් කරයි.

යුධ හමුදාව , ගිනි නිවන හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව ඔවුන්‍ සෙවීමේ කටයුතු සිදුකරන බව මහනුවර පොලිසිය කියා සිටියි.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබු පුද්ගලයින් හය දෙනෙකු මේ වන විට පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
අදත් වැසි-අවතැන්වූවන්ට කඳවුරු 138 ක් ස්ථාපිතයි
අදත් වැසි-අවතැන්වූවන්ට කඳවුරු 138 ක් ස්ථාපිතයි
Jan 10,2011
දිවයින ආශ්‍රිතව පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අද(10) දිනය තුළ ද බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුර, උතුරු නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වලට වැඩි වශයෙන් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දමයන්ති ඉඳිකැටිහේවගේ මහත්මිය ප්‍රකාශ ‍කළාය.

එසේම අද දිනය තුළ ද දිවයිනේ ප්‍රදේශ රැසක ශීත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ජලගැලීම් හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් සඳහා කඳවුරු 138 ක් පිහිටුවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කර සිටියේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජීවිත හානි 9ක් මේ වන විට වාර්තා වන බවයි.

මේ අතර නායයෑම් අවදානමක් පවතින ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳ දැඩි අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයෑම් සේවා අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ ඉදිරි දින කිහිපය තුළ ද කඳුකර ප්‍රදේශවල නායයෑම් ඇතිවිය හැකි බවයි.
මොණරාගලට සුළං-නිවාස 10 ක් සම්පූර්ණයෙන් විනාශයි
මොණරාගලට සුළං-නිවාස 10 ක් සම්පූර්ණයෙන් විනාශයි
Jan 09,2011
මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට බලපෑ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 10ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

මොණරාගල බඩල්කුඹුර සහ ඉඟිනියාගල ප්‍රදේශවලට අද දහවල් මෙම තද සුළං තත්ත්වය බලපෑ බව මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙහිදී තුවාල ලැබු පුද්ගලයින් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා බඩල්කුඹුර හා සිරිගල රෝහල්වලට ඇතුළත් කර තිබේ. ප්‍රදේශයට බලපෑ සුළං තත්ත්වය හේතුවෙන් පවුල් 50ක පමණ පිරිසක් විපතට පත්ව ඇති බව ද වාර්තා වේ.

විපතට පත්වු පුද්ගලයින්ට සහන සැලසීම සඳහා ආපදා කළමනාකරණ නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මේ වන විට‍ත් කටයුතු කරමින් සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

Jan 09,2011
ඉන්දීය ප‍්‍රමුඛ පෙළ ලීග් තරඟාවලිය (අයි පී එල් තරඟාවලිය ) සඳහා ක‍්‍රීඩකයින් වෙන්දේසිය ඊයේ (ජන. 08) ඇරඹුනු අතර, ශ‍්‍රී ලාංකික කී‍්‍රඩකයින් අතුරින් වැඩිම මිලකට මිලදී ගනු ලැබූයේ මහේල ජයවර්ධනයි.
පින්නවල අලි අනාථාගාරය හම්බන්තොටට !
Jan 09,2011
පින්නවල අලි අනාථාගාරය හා ඉදිවෙමින් පවතින සත්වෝද්‍යානය හම්බන්තොට ප‍්‍රදේශයට ගෙන යාමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.
මේ වන විට අලි අනාථාගාරයේ අලි ඇතුන් 07 දෙනෙකු මොනරාගල පැවැත්වීමට නියමිත දැයට කිරුළ වැඩසටහන සඳහා හම්බන්තොටට රැුගෙන ගොස් තිබේ.  මේ අතර, දෙහිවල සත්වෝද්‍යානය ද හම්බන්තොටට ගෙන යෑමට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා යෝජනා කර ඇත.

දෙහිවල සත්වෝද්‍යානය පින්නවලට ගෙන ඒමට මීට ඉහතදී තීරණය කළ ආණ්ඩුව, මේ වන විට ඒ සඳහා කෝටි ගණනක මුදලක් වැය කරමින් ගොඩනැගිලි හා  සතුන්ගේ කූඩුද ඉදි කරමිනි තිබේ.

පින්නවල අලි අනාථාගාරය එම ස්ථානයෙන් ඉවත් කිරීමේ තීරණයට ප‍්‍රදේශවාසීන් මෙන්ම සබරගමු පලාත් සභාවේ මහ ඇමතිවරයාද විරෝධය පළ කර තිබේ.
මහනුවරටත් අධික වැසි; හෙට දිනයේ මධ්‍යම පළාතේ පාසල් වසා දැමීමේ තීරණයක්
Jan 09,2011
මේ දිනවල  පවතින අධික වැසි හේතුවෙන් මහනුවර ප‍්‍රදේශයට ඊයේ සවස 04 සිට ඇද හැලෙන මහ වැසි  හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයකටම දැඩි අලාභ හානි සිදු වී ඇතැයි වාර්තා වේ.  
මේ අතර මහනුවර, බෝගම්බර ප‍්‍රදේශයේ පස් කන්දක් නායේ යෑම හේතුවෙන් නිවාස දෙකක් සම්පූර්ණයෙන්ම යට වී ඇති අතර, එක් නිවසක සිටි අඹු සැමි යුවලක් බරපතළ තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත.

මේ අතර පස් කඳු නෑය යෑම් හේතුවෙන් මහනුවර දෙවැනි රාජසිංහ මාවතේ නිවාස 05ක් සම්පූර්ණයෙන්ම යටවී ඇතැයි ද පුද්ගලයන් 05 දෙනෙකුගේ ජීවිත  යුද හමුදාවෙන් බේරා ගෙන මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් මේ වන විට නිවාස යට වීම හේතුවෙන් මළ සිරුරු 04ක් සොයා ගෙන ඇති වාර්තා වේ.

මේ අතර ගන්නෝරුව මාර්ගයේද විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන්  වාහන ගමනා ගමනය නැවතී ඇත.

තවද,  මහනුවර  වැව රවුමේ ද තැනින් තැන පස් කඳු කඩා වැටීම, ගස් පාරට කඩා වැටීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති අතර, මේ වන විට එම පස් හා ගස් ඉවත් කරමින් තිබේ.

තවද දිගන පාරේ විශාල විදුලි කණුවක් කඩා වැටීම හේතුවෙන් සම්පූර්ණයෙන් ම පාහේ මාර්ගය අවහිර වී ඇතැයිද වත්තේගම නිවාස කිහිපයක් පස් කඳු කඩා වැටීමෙන් යට වී ඇතැයි වාර්තා වේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවශ්‍ය වුවහොත් මධ්‍යම පළාතේ සියලූම රජයේ පාසල් හෙට දිනයේ වසා දැමීමට ක‍්‍රියා කරන ලෙස විදුහල්පතිවරුන්ට දන්වා ඇතැයි මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා උපදෙස් දී ඇතැයි ද වාර්තා වේ.

මේ අතර, කන්තලේ වැව පිටාර මට්ටමේ පවතින බැවින් මේ වන විට එහි වාන් දොරටු 10ක් විවෘත වී ඇති බවත්,  දෙනියාව, වාන් ඇල, සේරුවිල ප‍්‍රදේශයන්හි නිවාස විශාල ප‍්‍රමාණයක් යට වී ඇති බවත් වාර්තා වේ. 

මේ පිළිබඳ කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිලධාරීනී ගයනා හෙදවිතාරණ මහත්මිය පවසනුයේ මේ වන විට දිවයින අවට ඇති වි ඇති අඩු පීඩන තත්ත්වය හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයකින් අධික වැසි වාර්තා වී ඇති බවයි. ඒ අනුව අද දිනයේ උදේ 8.30 වන විට ඇද හැලූණු වර්ෂාපතනය මඩකලපුව දිස්ත‍්‍රික්කයේ 312mm ද, බදුල්ල දිස්ත‍්‍රික්කයේ 104.mm ද, පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ 162.4mmද, ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයට 122mmද ලෙස වර්ෂාපතනය ලැබී ඇති බවයි.

තවද, ඉදිරියේදීත් දිවයිනේ සියලූ ප‍්‍රදේශයන්වලට කඩින් කඩ වැසි ඇති වීමට ඇති ඉඩකඩ වැඩි බව ඇය පවසයි.  
Jan 09,2011
නැඟෙනහිර ප්‍රදේශයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් අම්පාර-කල්මුනෙයි පල්ලිය ඉදිරිපිට ජලයෙන් යටවී තිබෙන අයුරු. 
ත්‍රිකුණාමලය-මඩකළපුව දුම්රිය කැකිරාවට පමණයි
Jan 09,2011
ත්‍රිකුණාමලය , මඩකළපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කැකිරාව දුම්රිය ස්ථානය දක්වා පමණක් සිදුකරන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

මීට හේතුවී ඇත්තේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම බව දුම්රිය පාලක නිහල් ෆර්ඩිනැන්දිස් මහතා පවසයි.

මේ වන විට ගල්ඔය දුම්රිය ස්ථානය අඩි දෙකක් පමණ ජලයෙන් යටවී ඇති බව හෙතෙම කියා සිටියි.

මේ අතර මනම්පිටිය , පොළොන්නරුව මාර්ගයේ ද දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ ඇති බව සඳහන් වේ.

එරාවූර් සහ වාලච්චේන අතර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම මීට හේතුවී ඇති බව නිහාල් ෆර්ඩිනැන්දිස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ඉතාලි ගිනි අවියක් සමග පුද්ගලයෙක් දැලේ
Jan 09,2011
දෙවිනුවර ගංදර ප්‍රදේශයේ දී ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබේ. අදාළ පුද්ගලයා සතුව තිබී ඉතාලියේ නිෂ්පාදිත මිලිමීටර් නවය වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝලයක් සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.

එම වර්ගයේ උණ්ඩ 8ක් ද ඔහු සතුව තිබී සොයාගත් බව ද පොලිසිය පවසයි. සැකකරු අද(09) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
වන්නියේ වැව් පිටාර ගලන්න ළඟයි
වන්නියේ වැව් පිටාර ගලන්න ළඟයි
Jan 09,2011
වන්නි ප්‍රදේශයට බලපා ඇති ධාරාණීපාත වර්ෂාව හේතුවෙන් වැව් බොහෝමයක් පිටාර මට්ටමට පැමිණ ඇති බව වාර්තා වේ.

වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශවල වගාවන්ට ද හානී සිදුවී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. මුං , කව්පි , වී වගාවන් සිදුකරන ප්‍රදේශ බොහෝමයක් ජලයෙන් යටවී ඇති බව ද කියැවේ.

කිලිනොච්චිය , මුලතිව් යන ප්‍රදේශවලට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් තාවකාලික නිවාසවල පදිංචි පිරිස් එයින් ඉවත් ඇති බව ද වාර්තා වේ. 
අද අහස වැහිබරයි
අද අහස වැහිබරයි
Jan 09,2011
අද දිනය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශ අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඉහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයන් මීට හේතුවී ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියි. උතුරු නැගෙනහිර , උතුරු මැද , මධ්‍යම සහ ඌව පළාත් වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් තද වැසි බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි

No comments:

Post a Comment