Pages

Tuesday, January 4, 2011

ආදරය කරන්න වෙලාවක් නෑ..

(මෙවර ආලින්දය සමග එක්ව සිටින්නේ මේ දිනවල රූපවාහිනියේ විකාශය වන "අමන්දා" ටෙලි නාට්‍යය සඳහා රංගන දායකත්වය සපයන රංගන ශිල්පිණියකි. රංගන ශිල්පිණියක ලෙස මෙන්ම මෝස්තර නිරූපණ ශිල්පිණියක ලෙස ද කටයුතු කරන ඇය 2009 මිස් ශ්‍රී ලංකා තරගාවලියේ අවසන් තරගකාරියන් 12 දෙනා අතරට තේරී පත්විය. එමෙන්ම ඩ්‍රීම් ස්ටාර් සීසන් 02 තරගයේ අවසන් වට අතරට ද ඇය එක්විය. ඇය නදීෂා යාපාගේ. . .)

ආදරය කරන්න වෙලාවක් නෑ...

සම්පූර්ණ නම

යාපාගේ නදීෂා මධුෂානි

උපන්දිනය

1990. 07. 15

ලග්නය

කටක

පවුලේ සාමාජිකයින්

අම්මා, තාත්තා, අයියා

*පදිංචිය

කළගෙඩිහේන, නිට්ටඹුව

*ඉතින්, නදීෂා කොහොමද මේ දවස් වල ජීවිතේ?

මේ දවස් වල"අමන්දා"ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරනවා. ඒ වගේම විලාසිතා දැක්මවල් කිහිපයකටත් සම්බන්ධවෙලා ඉන්නවා. ඒ දේවල් තමයි මේ දවස් වල යෙදිලා තියෙන්නේ. ගොඩක් දේවල් බදාගෙන කරන්න අපහසු නිසා කටයුතු කිහිපයක් තෝරගෙන තිබෙනවා.

*ඔබ රංගනය, ගායනය ඒ වගේම නිරූපණය මේ ක්ෂේත්‍ර කිහිපයක දක්ෂතා දක්වන කෙනෙක්. මේ වෙද්දි කොහොමද ඔබේ කලා කටයුතු සමබර කරගන්නේ?

මේ දවස් වල වැඩිපුර නිරතවෙලා ඉන්නේ රංගනය හා නිරූපණ කටයුතු වල. ගායනය නම් ටිකක් විතර පැත්තකට දාලා තියෙන්නේ. මොකද ඒ හැමදෙයක්ම කරන්න වෙලාවක් නෑ. නමුත් ඉදිරියේදී මගේම ගීත කිහිපයක් එළදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ජීවිතේ වගේම ඒ දේවලුත් සමබර කරගෙන යනවා.

*නදීෂා, මේ වෙද්දි ඔබ තීරණය කරලා තිබෙනවාද දීර්ඝකාලීනව කලා ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්නවා කියලා?

පුංචි කාලේ ඉඳලම මම කවදාවත් හිතුවේ නෑ කලාවට යොමුවෙයි කියලා. මම පුංචි කාලේ බොහොම ලැජ්ජාශීලී ළමයෙක්. කා‍ එක්කවත් වැඩි කතාබහක් නෑ. කලාව තුළ දිගටම රැඳී ඉඳියි කියලා විශ්වාස කරනවා. කලාව ම‍ගේ ලේ වල තියෙනවා. මගේ අම්මත් ගායන ශිල්පිණියක්. මගේ මාමාත් සංගීත ශිල්පියෙක්. මම හිතනවා මට ඒ දේවල් පරම්පරාවෙන් ලැබුණු දෙයක් කියලා. කලාවට මම ගොඩක් ආදරෙයි. දිගටම මම කලාවේ රැඳිලා ඉඳයි. කලාවට අමතරව තවත් වැඩ කටයුතු තියෙනවා. ඒ ගැන ඉදිරියේදී කියන්නම්.

*කලා ක්ෂේත්‍රයේ නවකයින්ට විවිධ චෝදනා එල්ලවෙනවා. මේ සම්බන්ධව ඔබ මුහුණ දුන් අත්දැකීම් මොන වගේද?

මට නම් තවම ඒ වගේ අත්දැකීම් නෑ. අපි හරියට ඉන්නව නම් අපිට ඕනම වැඩක් කරන්න පුළුවන්. කාටවත් ඇඟිල්ල දික්කරන්න පුළුවන් විදිහට හැසිරෙන්නේ නැතුව, තමන්ගේ වැඩේ හොඳට කරගෙන ගියා නම් කාටවත් මුකුත් කියන්න බෑ. නමුත් මිනිස්සු කතා හදන එක කාටවත් නවත්වන්න බෑ. අපේ හිත දන්නවනම් කවුද කියලා, ඒ කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව තමන්ගේ වැඩ කටයුතු නිවැරදිව කළා නම් ගැටලුවක් නෑ.

*රංගන වෘත්තිය ගැන බොහෝදෙනෙක් එතරම් පැහැදීමකින් කතාකරන්නේ නෑ. ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?

කාන්තාවකට මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්න අමාරුයි. නමුත් මම මුලින්ම කිව්ව විදිහට හරියට ඉන්නවනම් ක්ෂේත්‍රයේ රැඳී ඉන්න පුළුවන්. නරක පැත්තට ගියොත් නරකම තමයි. හොඳ පැත්තට ගියොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. මුල් කාලේ ශිල්පිණියන් කළ වැරදි නිසා අලුත් අයවත් බොහෝ දෙනෙක් ඒ මට්ටමට දානවා. නමුත් රංගන ශිල්පිණියක් විදිහට හොඳ විනයක් එක්ක ක්ෂේත්‍රය තුළ පැවතෙන්න පුළුවන්. කලා ක්ෂේත්‍රයේ රැදී සිටීම මට ලොකු සතුටක්.

*රංගනය හෝ නිරූපණ ක්ෂේත්‍රය තුළ ඔබ විසින් පනවාගත් යම් සීමා, කොන්දේසි තියෙනවද?

ඕනම කෙනෙක්ට සීමාවක් තියෙනවා. මගෙත් සීමාවන් තියෙනවා. රංගනයේදී මම ලැබෙන හැම නිර්මාණයක්ම බදාගන්නේ නෑ. එහෙම කළොත් මම ඒ නිර්මාණ වලට අසාධාරණයක් කරනවා. චරිත 2ක් එකවර කරන්න බෑ. කරනවා නම් එක් චරිතයක් නිවැරදිව කරන්න ඕන. නැත්නම් එක් චරිතයක් වත් හරියට කරන්න බෑ. එක් නිර්මාණයක් අවසන් කළාට පස්සෙයි තවත් නිර්මාණයක් බාරගන්නේ. හැමදෙයක්ම, ජීවිතයේ වුණත් එක් දෙයක් ඉවරකරලා වෙන දෙයකට යනවා නම් තමයි හුඟක් හොඳ. ඔක්කොම බදාගත්තොත් අන්තිමට අනාගන්න තමයි වෙන්නේ.

*නදීෂා, ඕනම‍ කෙනෙක්ට තමන්ගේ ජීවිතයේ මගහැර යන්න බැරි මාතෘකාවක් තමයි ආදරය හා විවාහය. අපි ඒ ගැනත් කතාකරමු?

ආදරය හැමදෙනාටම අදාළ දෙයක්. ඕනම කෙනෙක්ට ආදරය කරන්න පුළුවන්. මමත් ආදරය කරලා තියෙනවා.

*මේ වෙද්දී ඔබ ආදරවන්තියක්ද?

කලින් ආදරවන්තියක්ව හිටියා. නමුත් දැන් මම හිතන්නේ පොළවට පය තියලා මගේ ජීවිතය හදාගෙන ඉන් පස්සේ ආදරයක් ගැන හිතන්නයි. විවාහ වෙන්නෙත් පොළවට පය ගැහුවට පස්සෙයි. ආදරයට වෙලාවක් තියෙන්න ඕන. මගේ කාර්යයබහුලකම නිසා ආදරය කරන්න වෙලාවක් නෑ. මම ආදරය කළොත් මම පෙම්වතාට අසාධාරණයක් කරනවා. ඒ නිසා හැමදෙයක්ම හදාගෙන ආදරය ගැන හිතනවා.

*නදීෂා, ඔබේ පෞද්ගලික ජීවිතයේදී එහෙමත් නැත්නම් ඔ‍බේ වෘත්තීය ජීවිතයේදී ඔබට පසුතැවිලිවීමට සිදුවුණු අවස්ථාවක් ගැන මතක්කරන්න පුළුවන්ද?

මගේ ජීවිතේ පසුතැවීමක් නෑ. අපි කරන වැරදි වලින් තමයි අපි ජීවිතේ ගැන හැමදෙයක්ම ඉගෙනගන්නේ. මගේ ජීවිතේ වැරදීමක් සිද්ධවුණොත් ඒ වැරැද්ද හදාගෙන ඒ වැරැද්ද ආයේ වෙන්න දෙන්න නෑ කියලා හිතාගෙනයි මම වැඩ කරන්නේ. ඒ වැරැද්ද හදාගෙන ආපහු ඉස්සරහට යනවා. මම අතීතේ ගැන හිතන්නේ නෑ. ඒ දේවල් අමතක කරලා ඉදිරි ගමන යනවා. මම හිතන්නේ වර්තමානයයි අනාගතයයි ගැන විතරයි. මට මුල අමතක වෙන්නේ නෑ. නමුත් හුඟක් දේවල් ඉක්මනින් අමතක වෙනවා. කාගෙන්හරි වැරැද්දක් වුනොත් මම ඒ දේවල් අමතක කරලා දානවා. හිතේ තියන් ඉන්නේ නෑ. මගේ හිතේ ලොකු බරක් තියන් ඉන්න බෑ. කවුරුහරි මට පුංචි උදව්වක් කළත් මම ඒ දේ අමතක කරන්නේ නෑ. කෙළෙහිගුණ සැලකීම ගැන මගේ අම්මයි තාත්තයි මට කියලා දීලා තියෙනවා.

*සාමාන්‍ය ජීවිතයේ නදීෂා යාපගේ හඳුන්වාදෙන්න පුළුවන් මොන විදිහටද?

මට මගේ චරිතය වචන වලින් විස්තර කරන්න බෑ. මම අමුතු චරිතයක්. සාමාන්‍ය චරිතයක් නෙමෙයි. ඒ දෙය මම ආශ්‍රය කරන ඕනම කෙනෙක් පිළිගන්නවා. අනිත් අය නොකරන දේවල් මම කරනවා.

*කලාව ක්ෂේත්‍රයෙන් හදිසියේම ඉවත්වෙන්න ඔබට සිද්ධ වුණොත්, නිර්මාණ නොලැබී යාම හෝ වෙනත් හේතුවක් මත ඔබේ ජීවිතය මොන වගේ පැත්තකට යොමුවෙයිද?

ඒ ගැන නම් දැන්ම කියන්න බෑ. සමහර විට රටින් පිටවෙලා යයි. අවුරුදු 13 ඉඳන් මගේ ආසාවක් තිබුණා රතු කුරුස සංවිධානයට සම්බන්ධ වෙන්න. මම ගිය අවුරුද්දෙත් උත්සාහ කළත් අවස්ථාවක් ලැබුණේ නෑ. රතු කුරුස සංවිධානයට සම්බන්ධ වෙන්න අවශ්‍ය සුදුසුකම් මට නෑ. නමුත් මම සමාජ සේවා කටයුතු වලට සම්බන්ධ වෙයි. මගේ අම්මත් තරුණ කාලේ සමාජ සේවා කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙනවා. කලාවෙන් ඉවත්වුනොත් මම ඒ වගේ වැඩ කටයුතු වලට යොමුවෙයි.

*කලා කටයුතු වලට ඔබගේ පවුලේ අයගෙන් වගේම හිතවතුන්ගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද?

ලොකු සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් මගේ අම්මයි තාත්තායි. ඔවුන්ගෙන් ලැබෙන ඒ සහයෝගය මට ඉදිරියට යන්න ලොකු හයියක්. මගේ යාළුවන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ගොඩක් යාළුවෝ හිටියත් සමීප අය ඉන්නේ බොහොම ටික දෙනයි. මම ඒ අයට ස්තූතිවන්ත වෙනවා මෙච්චර පිස්සු මාත් එක්ක ඉන්න එක ගැන.

HARD TALK *කලාකරුවන් දේශපාලනයට පිවිසීම ඔබ අනුමත කරනවද?

නැහැ.

*ඔබේ විවාහයේදී ඔබ ජ්‍යොතිෂයට මුල් තැනක් ලබාදෙනවද?

ඔව්.

*ඔබේ ජීවිතයේ ඔබට කිසියම් අවස්ථාවක් ලැබුණොත් ඔබේ බාහිර ස්වරූපයේ කිසියම් වෙනසක් සිදුකරගන්න. ඔබ කැමති මොන විදිහේ වෙනසක් සිදුකරගැනීමටද?

මගේ කිසිම දෙයක් වෙනස්කරන්න මම කැමති නෑ.

*ඔබේ සහකරු ලෙස ඔබ තෝරාගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයාගෙන් ඔබ පළමුවෙන්ම බලාපොරොත්තු වන ගුණාංගය?

අවංකකම.

*වෘත්තීය රංගන ශිල්පිණියක් තමන්ගේ ජීවිතයේ මුල් තැන ලබාදිය යුත්තේ තමන්ගේ වෘත්තීය ජීවිතයටද? පෞද්ගලික ජීවිතයටද?

සමබර වෙන්න ඕන.

No comments:

Post a Comment