Pages

Sunday, January 23, 2011

ශ්‍රී ලංකාවට තදින් අවවාද කළ යුතුයි -වයිකෝ
ශ්‍රී ලංකාවට තදින් අවවාද කළ යුතුයි -වයිකෝ
Jan 22,2011
ශ්‍රී ලංකාව නාවික හමුදාව විසින් තමිල්නාඩු ධීවරයින්ට ප්‍රහාරයන් සිදුකරන බව කියන චෝදනා සම්බන්ධව ඉන්දියාව තදබල ලෙස අවධානය යොමුකළ යුතු බව ඉන්දියාවේ එම්. ඩී. එම්. කේ පක්ෂ නායක වයිකෝ පවසයි.

එමෙන්ම අදාළ සිදුවීම් සම්බන්ධව ශ්‍රී ලංකාව දැඩි ලෙස අවවාද කළ යුතු බව ද ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා සමග පැවති හමුවකදී ඔහු සඳහන් කර ඇත.

එමෙන්ම ඉන්දීය නාවික හමුදාව හා වෙරළාක්ෂක නිලධාරීන් සිය රටේ ධීවර ජනතාව ආරක්ෂා කිරීමට අසමත්ව ඇති බවටත් වයිකෝ චෝදනා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ධීවරයින්ට එල්ලවන ප්‍රහාර සම්බන්ධව ශ්‍රී ලංකා රජය සමග දැඩි ලෙස අවධානය යොමුකිරීම හෝ ශ්‍රී ලංකාවට දැඩි ලෙස අවවාද කිරීම ඉන්දීය රජයේ කාර්යයක් නොවේදැයි හෙතෙම ප්‍රශ්න කර ඇති බව ද සඳහන්ය.
තෙල් මිල ඉහළ නැංවීම හැර වෙන විකල්පයක් නෑ
Jan 22,2011
ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් තෙල් ආනයනයේ දී දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි ලංකා අයි ඕ සී සමාගම පවසයි.

තෙල් මිල ඉහළ නැගීම සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළ රජයෙන් ඉල්ලීම් කළ බව එම සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සුරේෂ් කුමාර් මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මේ දක්වා තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබි නොමැති බව ඔහු කියා සිටියේය.

පවතින වාතාවරණය හමුවේ තෙල් මිල ඉහළ නැංවීම හැර වෙනත් විකල්පයක් නොමැති බව සුරේෂ් කුමාර් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් රජයෙන් සුභවාදී ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින බව ද ඔහු පැවසීය.
නීලගිරිගේ මරණය සම්බන්ධව තවත් තිදෙනෙකුගේ වැඩ තහනම්
නීලගිරිගේ මරණය සම්බන්ධව තවත් තිදෙනෙකුගේ වැඩ තහනම්
Jan 22,2011
පසුගියදා පින්නවල අලි අනාථාගාරයේ දී සිදුවූ නීලගිරි හස්තියාගේ මරණය සම්බන්ධයෙන් තවත් තිදෙනකුගේ වැඩ තහනම් කළ බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් භාෂ්වර සේනාංක ගුණරත්න මහතා පවසයි.

මෙම සිද්ධියට අදාළව තීරණ ගැනිමේ දී හා ක්‍රියාත්මක වීමේ දී ඊට සම්බන්ධ වූ නිලධාරිණියකගේ සහ ‍අලි බලන්නන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව ඔහු සඳහන් කළේය.

හස්තියාගේ මරණය සම්බන්ධව සිදුවන පරීක්ෂණ වලට අනුකූලව මෙසේ එම තිදෙනාගේ වැඩ තහනම් කළ බව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කළ භාෂ්වර සේනාංක ගුණරත්න මහතා කියා සිටියේය.

ඒ අනුව වාගොල්ල සහ පින්නවල සත්වෝද්‍යානය සහ අලි අනාථාගාරය බාරව සිටි ප්‍රධාන නිලධාරිණියට සිද්ධිය වූ අවස්ථාවේදීම ස්ථාන මාරුවක් ලබාදුන් බවත්, පරීක්ෂණ වලින් ලැබුණු වාර්තා වලට අනුව ඇයගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව ද ඔහු පෙන්වාදුන්නේය.

පරීක්ෂණ අවසන් වූ වහාම ඔවුන් නිවැරදිකරුවන් වේ නම්, පරීක්ෂණ වලට අනුව ඔවුන්ට සහනයක් කළ හැකිබවත්, නමුත් වැරදිකරුවන් නම් එම දඬුවම් තවදුරටත් ක්‍රියාත්මක වන බවත් ගුණරත්න මහතා අවධාරණය කර සිටියේය.

පින්නවල අලි අනාථාගාරයේ සිටි නීලගිරි හස්තියාගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට පින්නවල අලි අනාථාගාරයේ සේවකයින් 6 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. 

No comments:

Post a Comment