Pages

Tuesday, January 11, 2011

සුදු කොඩියේ වීඩීයෝ සාක්ෂි විමසීම අදත්
Jan 11,2011
සුදු කොඩි ප්‍රකාශය පිළිබඳ නඩුවේ වීඩීයෝ සාක්ෂි සටහන් කර ගැනීම අද(11) තවදුරටත් සිදු කෙරෙයි.

දීපාලී විජේසුන්දර මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩු විභාගය පැවැත්වීමට නියමිතය.

අද දිනයේ නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති දෙරණ ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සාක්ෂි දීමට නියමිත බව වාර්තා වේ. 
බහරේන්හි ශ්‍රී ලංකා තානාපතිගේ පුතා නාවලදී පැහැරගෙන, අමානුෂික ලෙස පහරදීලා
Jan 11,2011
බහරේන්හි ශ්‍රී ලංකා තානාපතිවරයාගේ 16 හැවිරිදි පුත්‍රයා නාවල ප්‍රදේශයේදී පැහැරගෙන ගොස්‌ අමානුෂික ලෙස පහර දී තුවාල සිදුකළ බව කියන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැලිකඩ පොලිසිය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
එම සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක්‌ පවත්වා වහාම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද පොලිසියට උපදෙස්‌ දී තිබේ.

ඉකුත් 07 වැනිදා සවස තානාපතිවරයාගේ පුත්‍රයා ක්‍රිකට්‌ පුහුණුවීම් කටයුතු නිමකර පාසලෙන් පිටව යද්දී ත්‍රිරෝද රථයකින් පැමිණි තරුණයන් පිරිසක්‌ ඔහුට පහර දී පැහැරගෙන ගොස්‌ අතරමඟ දමා ගොස්‌ තිබේ.

පහර කෑමට ලක්‌වූ තානාපතිවරයාගේ පුත්‍රයා පෞද්ගලික රෝහලකින් නේවාසික ප්‍රතිකාර ලබා ඉන් පිටව ගොස්‌ ඇත.

මේ වන විට මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කිහිපයක්‌ පරීක්‍ෂණ පවත්වාගෙන යන බවද වාර්තා වේ.

පැහැරගෙන යාමට  හේතුව මෙතෙක්‌ අනාවරණය වී නොමැත.
ගංවතුරෙන් කුඹුරු අක්කර ලක්‍ෂයක් විනාශයි
Jan 11,2011
දිවයිනේ සියලූම ප‍්‍රදේශයන්ට ඇද හැලූණු ධාරානිපාත වර්ෂාව නිසා ගංවතුරෙන් විනාශ වූ කුඹුරු සඳහා වන්දි ලබාදෙන බව ගොවිජන සංවර්ධන සහ වනජීවි අමාත්‍යාංශය පවසයි.
මේ වන විට කුඹුරු අක්කර ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් ගංවතුරෙන් විනාශ වී ඇති බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කළේ හානි වූ කුඹුරු පිළිබද වාර්තා කඩිනමින් ලබා ගෙන ඒ ඒ දිස්ති‍්‍රක් ලේකම්වරුන් මාර්ගයෙන් එම වාර්තා පදනම් කර ගනිමින් ඉදිරි කන්නයේ වී අස්වනු අඩුවීම පිළිබද අවසන් වාර්තාව සකස් කරන බවයි.
ඉරානයේ ගුවන් මගීන් 72ක් බිලි ගනී

Jan 11,2011

ඉරාන ගුවන් සේවයට අයත් 105 දෙනකුගෙන් යුත් බොයිං 727 ගුවන් යානයක් ඉරානයේ වයඹ දිග ඔරුමියේ නගරාසන්නයේ දී පෙරේදා කඩාවැටීමෙන් 72 දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව 33 දෙනකු තුවාල ලබා ඇතැයි රාජ්‍ය මාධ්‍යයෙන් වාර්තා වී තිබේ.

මිය ගිය අයගේ මළ සිරුරු අනතුර සිදුවූ බටහිර අසර්බයිජාන් පළාතේ කොර්නර් කාර්යාලයට ගෙන ගිය බවද සඳහන්ය. අනතුර සිදුව ඇත්තේ පෙරේදා රාත්‍රී 7.45 ට පමණය.
ටෙහෙරාන් ගුවන් තොටුපොළෙන් ඔරුමියේ නගරය දෙසට ගුවන්යානය නැංවී ඇත්තේ නියමිත වේලාවට වඩා පැයක් පමණ ප්‍රමාදවය. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යානය ඔරුමියේ ආසන්න ගම්මානයකට කඩා වැටී තිබේ. ගුවන් යානය රොඩාර් තිරයේ නොපෙනී යාමට මත්තෙන් නියමු සබඳතාද බිඳ වැටුණු බව පැවසී ඇත.

අනතුරෙන් පසු සමහරකුට ගුවන් යානයෙන් බැහැරවී ඇවිදයාමට හැකිවූ බව ගම්වාසීහු කියති. සමහරකු රෝහල් ගත කර ඇත. ඉරාන රතු කුරුස නිලධාරියකු පවසා ඇත්තේ යානය බිමට පතිතව කැබලි වලට කැඩී ගිය බවය. නමුත් වාසනාවකට මෙන් යානය ගිනිගෙන නැත.

තුනට කැඩුණු යානය ඝන හිම තට්ටු මැද හිරවී තිබෙනු රාජ්‍ය රූපවාහිනියෙන් පෙන්වනු ලැබිණ. යානය අනතුරට ලක්වූ හේතුව පිරික්සන නමුදු අයහපත් කාලගුණය ඊට මුල්වන්නට ඇතැයි අනුමාන කෙරේ. කෙසේ වෙතත් යානයේ කළු පෙට්ටි දෙකෙන් එකක් සොයාගෙන ඇති බැවින් අනතුරට හේතුව ඉන් අනාවරණය වනු ඇතැයි සැලකී තිබේ.

යානයේ ගමන් ගත් 105 දෙනාගෙන් 95 ක් මගීහුය. සෙස්සන් කාර්ය මණ්ඩලයට අයත් වූවන්ය. අයහපත් කාලගුණය ගැලවුම් කටයුතුවලටද බාධා පමුණුවා ඇත. දැඩි හිම පතනය ඊට මුල්වී තිබේ. අනතුර සිදුවූ තැන සෙ. මී. 70 ක පමණ ගැඹුරට හිම තට්ටුවක් පවතී.

ගැටඹේ ඛේදවාචකයෙන් මියගිය ගණන 7ක්

ගල් පර්වතය පුපුරුවා සිරුරු ගොඩ ගනී
පේරාදෙණිය ගැටඹේ දෙවැනි රාජසිංහ මාවතේ සිදු වූ නාය යෑමේ සිද්ධියෙන් නිවාස පහක් මතට පස් සමඟ කඩා වැටුණු ගල් පර්වතයේ සිර වී තිබී මළ සිරුරු හතක් ඊයේ (10) දහවල් වන විට සොයාගෙන තිබේ.
සිද්ධිය වූ පෙරේදා (09) පස්වරුව වන විට මළ සිරුරු හතරක් සොයාගනු ලැබිණි. අනෙක් මළ සිරුරු ඊයේ (10) පෙරවරුවේ සොයා ගැනිණි. පොලිසිය හා හමුදාව වෙඩි තබා ගල් පර්වතය පුපුරුවා මේ සිරුරු පිටතට ගෙන තිබේ. එකම පවුලේ 15 දෙනකු පමණ මේ පස්කන්දට යට වී තිබෙන අතර ආර්. සෙල්ලම්මා, වී අල්ලරානි, සී. සුසිලා, එම්. චන්ද්‍රිකා ක්‍රිෂ්ණ ජයන්ත්, විනෝද් කුමාර් හා මහනුවර නගර සභා සේවකයකු වන එම්. වීරයියා නැමැති අයකගේ මළ සිරුර මේ අනුව සොයාගෙන තිබේ.
පස්කන්දට හා ගල් පර්වතවලට යට වූ 15 දෙනා අතරින් හත් දෙනෙකු බරපතළ තුවාල සහිතව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කැර ඇත. මොවුන් නිවසේ සුන් බුන් අතර සිරවී සිටිය දී ප්‍රදේශවාසීන් විසින් බේරාගනු ලැබ තිබේ. මේ නිවාසවල පදිංචිව සිටි 23 දෙනෙක් ගැටඹේ ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ පිහිටි කඳවුරේ සිටිති.
සිද්ධිය වූ අවස්ථාවේ දිවි ගලවාගෙන ගිය අය හා පස් අතර සිට සුළු තුවාල ලැබූවන් මේ අතර සිටින බව ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිනිය සඳහන් කරයි. මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා හා පළාත් සභා මන්ත්‍රී තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහත්වරු ඊයේ (10) සිද්ධිය වූ ස්ථානයට පැමිණි අතර මියගිය අය වෙනුවෙන් එක අයෙකුට රුපියල් 15,000 බැගින් මුදල් පිරිනැමීය.

මහ වැසි නිසා 832, 000 ක් විපතට පත්වෙයි

මහ වැසි නිසා 832, 000 ක් විපතට පත්වෙයි

Jan 11,2011

අයපහත් කාළගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් අට ලක්ෂ තිස් දෙදහසක් පමණ විපතට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වැසි තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව ද 13 දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් පුද්ගලයන් 24 දෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනු ලැබීය.

නිවාස 937ක් සම්පූර්ණයෙන් හානියට පත්ව ඇති අතර තවත් නිවාස හාර දහසකට පමණ සුළු හානි සිදුව ඇත.

මේ වන විට අවතැන් කඳවුරු 215ක් ස්ථාපිත කර ඇති අතර ඒවායේ රැඳී සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව නවදහසකට අධිකය.

මඩකළපුව දිස්ත්‍රික්කයට වැඩිම බලපෑමක් සිදු ව ඇත. එම දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයින් හාර ලක්ෂ අසූ දෙදහසක් පමණ පීඩාවට පත්ව සිටියි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ද පුද්ගලයින් හයදහසක් පමණ පීඩවට පත් වී ඇති අතර අවතැන් කඳවුරු 19ක් ඔවුන් වෙනු‍වෙන් ස්ථාපිත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

මීට අමතරව අනුරාධපුර, බදුල්ල, අම්පාර, මහනුවර, ත්‍රිකුණාමලය ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයකට ද වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

මේ අතර අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් අනුරාධපුරය, පොළොන්නරුව, මඩකළපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල වැව් 200ට පමණ හානි සිදු ව ඇති බව ගොවිජන සේවා හා වනජීවි අමාත්‍යාංශය පවසයි.

ප්‍රධාන වැව් කිහිපයක් වාන් දැමීම හේතුවෙන් ඒ ආශ්‍රිත ජනතාවට අවධානයෙන් සිටින ලෙස ද බලධාරීන් ඉල්ලා සිටියි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර තිස් දහසක්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර දස දහසක්, අම්පාර දිස්ත්‍රික්ක‍යේ කුඹුරු අක්කර හත් දහසක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර දස දහසක් සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර හැත්තෑපන්දහසක් පමණ විනාශ වී තිබේ.

ගිරිතලේ සහ ආයිතමලේ පොහොර ගබඩා ජලයෙන් යටවීමෙන් පොහොර බෑග් පන් දහසක් පමණ විනාශ වී ඇති බව ගොවිජන සේවා හා වනජීවි අමාත්‍යාංශය සදහන් කරනු ලැබීය.

ප්‍රදේශ රැසක ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

නාය යාමේ අවදානම් සහිත ප්‍රදේශ වලින් පවුල් රැසක් ඉවත් කර ඇති අතර එවැනි අවදානම් සහිත ප්‍රදේශ වල ජනතාව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ උපදෙස් මත කටයුතු කළ යුතු බව දිස්ත්‍රික් ලේකම්වරුන් ඉල්ලා සිටියි.

මේ අතර මහනුවර දෙවන රාජසිංහ මාවත ප්‍රදේශයේ නාය යාම හේතුවෙන් මිය ගිය පුද්ගලයින් 7 දෙනාගේ ආදාහන කටයුතු සඳහා එක් අයෙකුට රුපියල් ප‍හළොස් දහස බැගින් ලබා දීමට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා තීරණය කර තිබේ.

මිය ගිය පිරිසගේ ආදහන කටයුතු අද(11) මහයියාව පොදු සුසාන භූමියේ දී සිදු කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ගාමීණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

මේ අතර දුම්රිය මාර්ග ජලයෙන් යට වීම හේතුවෙන් මහනුවර - මාතලේ දුම්රිය ධාවනය අත්හිටුවා තිබේ. මඩකළපුව - ත්‍රිකුණාමලය දුම්රිය ද ගල් ඔය දක්වා පමණක් ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරනු ලැබීය.

මේ අතර පවතින වැසි සහිත කාළගුණය අද දිනයේ ද අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ ගයනා හෙන්දෙවිතාරණ මහත්මිය සඳහන් කළාය.

 

චමින්ද වාස් ක්‍රිකට් පිටියෙන් සමුගනී.

චමින්ද වාස් එක්දින හා 20 පිටියෙන් සමු ගන්නා බව අද(10) නිවේදනය කරන ලදී.  2009 වසරේදී ඔහු ටෙස්ට්  පිටියෙන්ද  සමුගන්නා ලදි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එන්දින ජාත්‍යන්තර තරග 322 ක් ක්‍රීඩා කරමින්, කඩුලු 400 ක් හා  ලකුණු 2025 ක්ද රැස්කර ඇත. 1994 දී ඉන්දියාවට එරෙහිව රාජ්කොට් හිදී එක්දින වරම් ලබා ගත් ඔහු අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ 2008 වසරේදීය. ඒ  ඉන්දියාවට එරෙහිව කොළඹදීය.

ඉන්පසුව ඔහුට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට කැදවීමක් නොලැබුණු අතර, සියල්ලන්ම පාහේ බලාපොරොත්තු වුයේ ඔහු මෑත කාලයේ දක්වූ දක්ෂතා නිසා 2011 ලෝක කුසලානය සදහා ඔහුට කැදවීමක් ලැබෙනු ඇති බවයි. නමුත් එයට නම් නොකළ පසු මෙසේ සමු ගැනීමට ඔහු තීරණය කර ඇත.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 111 ක්ද T20 තරග 06 කටද සිය දායකත්වය ලබාදී ඇත. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් පිටියේ හා එක්දින පිටියේ දෙවනුවට වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන ඇත්තේද චමින්ද.

පෞද්ගලික බස් වර්ජනය අත්හිටු වේ.

පෞද්ගලික බස් ධාවකයින් මුහුණපා තිබෙන ගැටළු විසඳාලීම සඳහා රජයට සති තුනක කාලයක් ලබාදී තිබේ

No comments:

Post a Comment