Pages

Friday, January 7, 2011


සුදු කොඩියේ වීඩියෝ සාක්ෂි විමසීම අද සිට
සුදු කොඩියේ වීඩියෝ සාක්ෂි විමසීම අද සිට
Jan 07,2011
සුදු කොඩි ප්‍රකාශය පිළිබඳව නඩුවේ වීඩියෝ සාක්ෂි විමසීමේ කටයුතු අද(07) සිට ආරම්භ කිරීමට පංච පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

සරත් ෆොන්සේකා මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේ රත්නපුර ජන රැළියේ දී සිදුකළ බව කියන කතාව ඇතුළත් ප්‍රවෘත්ති විකාශය අඩංගු සම්පූර්ණ වීඩියෝ පටය අධිකරණයට ඉදිරිපත් කරන මෙන් මහාධිකරණය ඊයේ(06) දෙරණ රූපවාහිනී නාලිකාවට නියෝග කරනු ලැබීය.

ඒ අනුව අදාළ වීඩියෝ පටය අධිකරණයට ඉදිරිපත් කෙරෙන අතර එහි පිටපතක් විත්තියේ නීතීඥවරයා‍ට ලබාදෙන ලෙස ඊයේ නියෝග කෙරුණි.

අද පැවැත්වෙන නඩු විභාගය සඳහා සරත් ෆොන්සේකා මහතා ද අධිකරණයට රැගෙන ඒමට නියමිතය.


ලෝක කුසලානයට වි‍ශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
ලෝක කුසලානයට වි‍ශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
Jan 07,2011
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කාලය තුළ දී වි‍ශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිසියට අමතරව යුද හමුදාව, ගුවන් හමුදාව සහ පොලිස් වි‍ශේෂ කාර්යය බලකාය ඇතුළු ආරක්ෂක අංශ ඒකාබද්ධව මෙම ආරක්ෂක වැඩපිළිවෙළ සැලසුම් කර තිබේ.

අදාළ තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් සියලු ආරක්ෂක නිලධාරීන් වෙත දැඩි වගකීමක් පැවරී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් කේ ඉලංගකෝන් මහතා සඳහන් කරයි.

මෙහි වැඩිම කාර්යභාරයක් පොලිසිය‍ වෙත පැවරී ඇති අතර සෙසු ආරක්ෂක අංශ ඒ සඳහා සහය දක්වන බව ද ඔහු ප්‍රකාශ කළේය.

මෙම ආරක්ෂක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අවසන් සාකච්ඡාව ලබන 11 වැනි දින පැවැත්වීමට නියමිතය.

පෙබරවාරි 20 වැනිදා සිට මාර්තු 29 වැනි දින දක්වා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙයි.


මෙරට සරසවිවලට එන විදේශ සිසුන්ට
රු. 30000 ක මාසික දීමනාවක්‌

Jan 07,2011
රජයෙන් පිරිනමන ශිෂ්‍යත්ව මත මෙරට විශ්වවිද්‍යාලවලට පැමිණෙන විදේශ සිසුන් සඳහා මාසිකව රුපියල් තිස්‌දහස බැගින් ලබා දෙන බව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා පැවසීය.

මෙම වසරේ සිට විදේශ සිසුන් එකසිය පනස්‌ දෙනකුට ශිෂ්‍යත්ව පිරිනමන බවද ඇමැතිවරයා කීවේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශයේ 05 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදීය.

විශ්වවිද්‍යාල සිසුන් දස දහසකට දුරස්‌ථ අධ්‍යාපන ක්‍රමය යටතේ ඇමරිකාවේ සිට මෙහෙයවන ඉංග්‍රීසි පාඨමාලාවක්‌ අන්තර්ජාලය ඔස්‌සේ හැදෑරීම සඳහා අවස්‌ථාව සලසන බවද සිසුන් සඳහා ඉංග්‍රීසි විභාගයක්‌ පවත්වා ඔවුන් හඳුනා ගැනීමේ වැඩසටහනක්‌ ක්‍රියාත්මක කරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

සෑම විශ්වවිද්‍යාලයකින්ම මසකට වරක්‌ ශාස්‌ත්‍රීය සංග්‍රහයක්‌ බැගින් එළි දැක්‌වීමේ වැඩසටහනක්‌ සංවිධානය කර ඇති බවත් විශ්වවිද්‍යාලවල හොඳම ආචාර්යවරුන්ට හා සිසුන්ට සම්මාන පිරිනැමීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාවට නගන බවත් සඳහන් කළ එස්‌. බී. දිසානායක මහතා මේ වසරේදී පෞද්ගලික විශ්වවිද්‍යාල ගණනාවක්‌ ආරම්භ කිරීමට නියමිත බවත් කියා සිටියේය. ජපානය, චීනය, ඉන්දියාව වැනි රටවල් මගින් මෙම විශ්වවිද්‍යාල ආරම්භ කෙරෙන බව ද ඒවාට ඇතුළත් කිරීමට නියමිත සිසුන්ගෙන් සියයට විස්‌සක කොටසක්‌ ශ්‍රී ලංකාවේ සිසුන්ට ලබාදීමට ඔවුන් එකඟ වී ඇතැයි ද දිසානායක මහතා පැවසීය.

මෙම වසරේ සිට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන් සඳහා යුද හමුදා කඳවුරුවල දී සති තුනක නායකත්ව පුහුණුවක්‌ ලබා දෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්‌ විය.


ගණිකා නිවසක් වටලා සැක 4ක් අත්අඩංගුවට
Jan 07,2011
ආයුර්වේද රෝහලක් ලෙස පවත්වාගෙන යමින් මාලබේ වැව පාර නිවසක සිදුකරගෙන යනු ලැබූ ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි ගණිකා වෘත්තියේ යෙදුණු බව කියන කාන්තාවන් 4 දෙනකු නුගේගොඩ කොට්ඨාස බුද්ධි ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙම වැටලීම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත සිදුකරනු ලැබූ අතර වසර 4 ක පමණ සිට මෙම රෝහල පවත්වා ඒ තුළින් මෙම ව්‍යාපාරය සිදුකරගෙන ගොස් ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

රේගු ලොක්කෙක් මහ පරිමාණ ජාවාරමක

Jan 07,2011
විදුලි භාණ්ඩ ආනයනයේ දී රුපියල් කෝටි පහකට ආසන්න වංචාවක් රේගු ආනයන අංශයේ අධ්‍යක්ෂකවරයකු සිදු කොට තිබේ. මේ හේතුවෙන් රජයට අයවිය යුතු විශාල මුදලක් වංචනික ජාවාරම්කරුවන් යොදවා ලබා ගැනීමට එම අධ්‍යක්ෂවරයා පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුවේ නිදහස් වෘත්තීය සමිති සංගමය චෝදනා කරයි.
ඉහත කී අධ්‍යක්ෂවරයා සමග තවත් නිලධාරීන් හයදෙනකු එක්ව කොළඹ පළමුවන හරස් වීදියේ හා කෙයිර් වීදියේ ප්‍රධාන පෙළේ මුස්ලිම් ජාවාරම්කරුවන් සමග මේ වංචාව සිදුකර ඇතැයි සංගමය පවසයි. සමාගම් නියෝජිතයන්ට පමණක් ආනයනය කිරීමට අවසර ඇති භාණ්ඩ මෙසේ නීති විරෝධී ලෙස ආනයනය කිරීම නිසා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට අයවිය යුතු විශාල මුදල් ප්‍රමාණයක් අහිමි වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
මෙසේ වැඩි වශයෙන් ආනයනය කර ඇත්තේ පෞද්ගලික සමාගම් ආනයනය කිරීමේ හිමිකම් බලය ලද භාණ්ඩ බවද සඳහන්ය. ඩුබායි හා සිංගප්පූරු රටවලින් ආනයනය කරන බහාලුම් මෙරටට එන්නටත් පෙර එහි අංක ලබාගෙන ඇති මෙම නිලධාරීන්, එම බහාලුම් D Branch හි නතරකොට අනෙක් අංශ සඳහා පරීක්ෂණයට භාජනය නොවන සේ වංචනික නිශ්කාෂණයේ මුදාහැරීමට ද කටයුතු කර තිබේ.


හිමාෂගේ කුළුදුල් ගීත තැටිය ජනපතිට. . .
හිමාෂගේ කුළුදුල් ගීත තැටිය ජනපතිට. . .
Jan 06,2011
දෙරණ ලිට්ල් ස්ටාර් හිමාෂ මනුප්‍රිය විසින් ඔහුගේ කුළුදුල් ගීත තැටිය "සඳ දිලෙන්නේ" ඇල්බමය ඊයේ(05) අරලිය ගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනමනු ලැබීය. එම අවස්ථාව මෙසේ ඡායාරූපයට නැගී තිබිණි. www.derana.lk:8080/eshop/ වෙඩ් අඩිවයට පිවිසීමෙන් අන්තර් ජාලය හරහා මෙම ගී තැටිය මිලදී ගැනීම සඳහා ඔබට අවස්ථාව ලැබේ. 
ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතගේ දියණියට ලිංගික අතවරයක් කිරීමට තැත්කිරීම -සැකකරු හඳුනාගනියි
Jan 06,2010
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරයාගේ දියණියට ලිංගික අතවරයක් කිරීමට තැත්කිරීමේ සිද්ධියට අදාළ සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකදී හඳුනාගෙන තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට හඳුනාගැනීමේ පෙරට්ටුව අද(06) පැවැත්වුණි.

එහිදී පැමිණිලිකාර තරුණිය විසින් සැකකරු හඳුනාගෙන තිබේ.

ඉන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා සැකකරු ලබන 17 වන දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා නියෝග කළේය.

රාජගිරිය ලේක් ඩ්‍රයිව් නිවාස සංකීර්ණයේ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරයාගේ නිවසට අයුතු ලෙස ඇතුළු වී එහි සිටි ඔහුගේ දියණියට ලිංගික අතවරයක් කිරීමට තැත්කළේ යැයි වැලිකඩ පොලීසිය මගින් මෙම සැකකරුට අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සිද්ධිය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට අපකීර්තියක් ගෙනදිය හැකි බව වැලිකඩ පොලීසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා තවදුරටත් රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

No comments:

Post a Comment