Pages

Sunday, January 16, 2011

තරුණකම කියන්නේ සෙට් වෙන එක නෙමෙයි

රොෂාන් රණවන
රොෂාන් රණවන ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. ඉතාම ඉක්මනින් සිනමාවේ ආකර්ෂණීයත්වය දිනා ගනිමින් පේ‍්‍රක්ෂකයින්ගේ ආදරයට ලක්වූ රංගන ශිල්පියෙක් විදිහටයි අපි රොෂාන් දකින්නේ. මේ වසර රොෂාන්ටත් තීරණාත්මක වසරක්. ඒ රොෂාන් රංගනයෙන් දායක වූ සිනමාපට තුනක්ම මේ වසරේ ඔබට දකින්නට ලැබෙන නිසයි.
කාලයකට පස්සේ අපි රොෂාන් හා වෙනස්ම කතාබහකට යන්න හිතුවා. තවමත් තාරුණ්‍යයේ ඉන්න රොෂාන් ඒ කතාබහේ කළ දෑ මේ පත්ඉරුවේ අපි සටහන් කරනවා.
* රොෂාන් මොනවද මේ අවුරුද්දේ වැඩ කටයුතු
මට මේ අවුරුද්ද බලාපොරොත්තු සහිත අවුරුද්දක් කියලයි දැනෙන්නේ. මොකද 2011 මගේ ජීවිතයේ සන්ධිස්ථාන කිහිපයක්ම හමුවන වර්ෂයක්.
මගේ මොඩ්ලින් ජීවිතේට අවුරුදු 10 යි. මම රංගනයට ඇවිත් අවුරුදු 5 යි. ඒ වගේම මේ අවුරුද්ද වෙනකොට සිනමාපට 10 කට මම දායක වෙලා තියෙනවා. ඒ වගේම මේ වසරේ මගේ සිනමාපට තුනක් තිරගත වෙන්නත් තියෙනවා. චැලෙන්ජර්ස්, සුපර් සික්ස්, මහින්දාගමනය කියන සිනමාපට තුන. තවත් පැත්තකින් මගේ අලුත් නිවහනත් හදා ඉවර කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
* ඔය කියන විදිහට පෞද්ගලික ජීවිතෙත් මොකක් හරි වෙනසක් වෙයි ද?
නැහැ එහෙම නම් වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි මගේ ගීත ඇල්බමයක් රිලීස් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.
* රොෂාන් තරුණයෙක් විදිහට තාරුණ්‍යය ගැනත් ටිකක් කතා කරමුකෝ.
ඔව් එවැනි දෙයක් අහපු එක හොඳයි. මේ තාරුණ්‍ය කියන එක ගොඩක් අය වරද්දගෙන ඉන්නේ. අද සමහරුන් කියනවා මේ ඉන්න තරුණ පරම්පරාව හොඳයි මත්පැන් සිගරට් වලින් ඈත්වෙලා කියලා. හැබැයි මට නම් එහෙම දෙයක් පෙනෙන්න නැහැ.
මොකද මම ගිය සාදවලදි ඒ අවබෝධය තරුණ පරම්පරාව තුළ අඩුයි කියලා මම දැක්කා. මට තේරෙන්නැහැ තරුණ ගැහැනු ළමයි පිරිමි ළමයි තාම මේ සංස්කෘතියේ ඉන්නේ. නයිට් ක්ලබ් ඔය සමාජ ශාලාවලට යන කෙනකුට තේරෙනවා අද තරුණ පරම්පරාවේ තත්ත්වේ.
* හැබැයි ඔය දේ පොදුවේ සමස්ත තාරුණ්‍යයටම ගෝචර නැහැ නේද?
අනිවාර්යයෙන්ම ඒක මම පිළිගන්නවා. හැමෝම එහෙම නැහැ. හැබැයි මම කියන්නේ අද පාසල් යන ළමයින් පවා ඔය වැරැදි දේ කරනවා මම දැකලා තියෙනවා. සමාජ ශාලාවකට යන්න පුළුවන්නම් මේක හොඳින් තේරුම් ගන්න පුළුවන්.
* සාමාන්‍යයෙන් රොෂාන් නයිට් ක්ලබ් යනව ද?
නැහැ ඇත්තටම නැහැ. මොකද මට එහෙම ගිහින් වැඩකුත් නැහැ. මොකද මම මත්පැන් සිගරට් නොබොන කෙනෙක් නිසා. දවසක් මට අහම්බයෙන් යන්න වුණා. ඒකත් අකැමැත්තෙන් වුණ දෙයක්.
හැබැයි මම තේරුම් ගත්තා මම දැකපු දේවල් හැටියට මේක බොරු වැඩක් තේරුමක් නැති වැඩක් කියලා. මම නම් කියන්නේ දරුවන් මොනවද කරන්නේ කියලා මවුපියන් අනිවාර්යයෙන් හොයා බලන්න ඕන. මේක මම තරුණයෙක් විදිහට ඉල්ලන දෙයක්.
* එතකොට මොකක්ද ඔබ සැබෑ තාරුණ්‍ය කියලා දකින්නේ.
මෙහෙමයි තරුණකම කියන්නේ බොන එකවත් සෙට් වෙන එකවත් නෙමෙයි. සෙට් වෙනවා කියන්නේ ඕක නම් ඒකම වැරැදියිනේ. තාරුණ්‍යයට හොඳින් අපේ රට විඳින්න පුළුවන්. හැබැයි ඒක පවුලටවත් රටටවත් බරක් වෙන්න ඕන නැහැ.
අපිට ලංකාව වෙනුවෙන් ගොඩක් දේ කරන්න පුළුවන්. මම මේ පොර ටෝක් දෙනවා කියලා කෙනෙක් හිතයි. මහණ වෙන්න හදනවා කියලා හිතයි. හැබැයි මම මේ කතා කරන්නේ මම දකින ඇත්ත. මගේ පෞද්ගලික හැඟීම. මොකද අද තාරුණ්‍යය ගොඩක් අතරමං වෙලා ඉන්නේ. තාරුණ්‍යයට වගකීමක් තියෙනවා, ඒ රට වෙනුවෙන් සේවය කරන්න.
* සමහරවිට ඔබට දේශපාලනයට කෙනෙක් ආරාධනා කරන්නත් පුළුවන්.
ආරාධනානම් ලැබුණා මට. උදව් කරන්න කියලත් කිව්වා. හැබැයි මම කියන්න ඕන දේශපාලනය ගැන මගේ කිසිම උනන්දුවක් ආසාවක් නැති බව. වෙන රටක හිටියනම් මම දේශපාලනයට එයි. මොකද දේශපාලනය කියන්නේ උතුම් දෙයක්.
නමුත් අපේ රටේ දේශපාලනය කියන වචනයේ තේරුමවත් දන්නේ නැහැ. ඔය සමාජ සේවය අපේ රටේ සියයට දශම ගාණක්වත් වෙනව ද? සමහරු ළඟ ප්‍රතිපත්තියක් නැහැ. එහෙම නෙවෙයි තමන් ස්වාධීන වෙන්න ඕන. මම නම් කියන්නේ දේශපාලනය අපිට අදාළ නැහැ. මොකද කලාකරුවාට වෙන කාර්යභාරයක් තියෙනවා. මේක මගේ මතය මම දන්නැහැ අනෙක් අය කොහොමද කියලා.
* ඔබ ඡන්දය පාවිච්චි කරලා තියෙනව ද?
අනිවාර්යයෙන්ම. ඔව් මම ඡන්දය පාවිච්චි කරලා තියෙනවා.
* දැන් ඔබේ රංගන දිවියට අවුරුදු පහයි. මේ කාලයට යමක් කරන්න ලැබුණා කියලා හිතනව ද?
මම යමක් කළා කියලා හිතනවා. මොකද මම පේ‍්‍රක්ෂකයින් අතරට ගිහින් තිබෙන නිසා. මේ කාලයට හොඳ නිර්මාණ මම කරලා තියෙනවා. චරිතාංග නළුවකු වෙන්න ලැබුණු කාලය මදි. මොකද මට පරිපූර්ණ වෙන්න එකතු කරගන්න ගොඩාක් දේ තියෙනවා.
* පසුගිය කාලේ ඔබ රියැලිටි තරග සඳහාත් සහභාගි වෙනවා අපි දැක්කා.
ඔව් මට ඕන වුණා අත්දැකීම විඳගන්න. හැබැයි ඉතිං ඉතාම ස්වල්පයක් විතරයි හරියට වෙන්නේ. එක පැත්තකින් ගම්වල දක්ෂ තරුණ පිරිසක් හඳුනා ගන්න පුළුවන් වුණා. ඒ නිසා යම් සේවයක් වෙලා තියෙනවා. නමුත් ඔය එස්එම්එස් ක්‍රමය ගැන නම් අපි දන්නේ නැහැ. එහි හරි වැරැද්ද දන්නේ ඇතුළේ ඉන්න අයම තමා.
* ඔය ජනපි‍්‍රයත්වය කියන දේ රොෂාන්ට දැනෙන්නේ කොහොමද?
ඔව් ඒක ජීවිතේට විවිධ විදිහට බලපානවා. සමහර වෙලාවට පෞද්ගලික නිදහසට ඒක බාධාවක් කියලත් හිතෙනවා. තවත් වෙලාවකට හොඳයි කියලත් දැනෙනවා. මොන දේ වුණත් කල්පනා කරලා වගකීමෙන් ජීවත්වෙන්න වෙනවා.
මොකද අපි දිහා බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. ලොකු කුඩා භේදයක් නැතිව. ඉතිං ඒ අයට ආදර්ශයක්ව ඉන්න ඕන. අනෙක ජනපි‍්‍රයත්වය කියන දේ ආභරණයක් කරගන්න එක හානියක් කියලයි මම දකින්නේ.
* මෑත කාලීනව සිනමාවට එක්වූ යුගයක් පූජා - රොෂාන් යුගය. නමුත් පූජා සිනමාවෙන් සමුගන්නවා කියන රාවයත් එක්ක රොෂාන් මොකද හිතන්නේ.
ඔව් මෙහෙමයි පූජා එක්ක මම චිත්‍රපට කිහිපයකම වැඩ කළා. නමුත් ඉතිං ඇය අයින්වුණා කියලා ඒක එතරම්ම මට බලපාන දෙයක් නෙමෙයි. එහෙම වුණාම තවත් වෙන කවුරු හෝ නිළියක් ඉඳියි. අනිවාර්යයෙන්ම එහෙම ආදේශකයක් තියෙන්න ඕනනේ.
ඔබ කියන ආකාරයේ යම් ගැලපීමක් තිබුණා. අපේ සිනමාවේ විජය - මාලිනි, ගාමිණි - මාලිනි, සනත් - සබීතා එහෙම යුග තිබුණනේ. නමුත් පූජා නැති වුණත් වෙන කවුරු හෝ ඒ තැන ඉඳියි.



මමත් පෙම්වතියක්‌ !ආදරය හරිම සුන්දරයිනදීශා හේමමාලි

 වැඩසටහන් ඉදිරිපත් කරන්නියක හැටියට ක්‍ෂේත්‍රයට සම්බන්ධ වී මෝස්‌තර නිරූපිකාවක්‌, රංගන ශිල්පිනියක්‌ ලෙසට අත්දැකීම් ලබමින් පියවරෙන් පියවර ඉදිරියට ආ ඇය අද වන විට ටෙලි නාට්‍ය නිෂ්පාදනයට යොමු වී සිටිනවා. තෙලිඟු චිත්‍රපටයකට රංගනයෙන් එක්‌වෙමින් ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තර රංගන තලය වෙත ගෙන යන්න සමත් වූ ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී නදීශා හේමමාලියි.

නදීශා ඉතිං කොහොමද අවුරුදු?
හොඳින් ගෙවී ගෙන යනවා. අලුත් අවුරුද්දේ තවත් අලුත් වැඩ කිහිපයක්‌ම ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේ හැම දේම නිසා ටිකක්‌ කාර්ය බහුලයි.

ටෙලි නාට්‍ය නිෂ්පාදනයට යොමු වුණා කියලා ආරංචියි?
මගේ රංගන ජීවිතේ ලොකු වෙනසක්‌ මේ හරහා සිද්ධ වෙයි කියලා හිතනවා. ටෙලි නාට්‍යයේ නම "ඇත්කඳ ලිහිණි".

ඔබ එහි චරිත නිරූපණය කරනවාද?
ඔව් ගැටඹියි, මලිතියි කියන ද්විත්ව චරිතයක්‌ තමයි මම නිරූපණය කරන්නේ.

නිෂ්පාදනය අතරතුර රඟපෑම අපහසු කාර්යයක්‌ නෙමෙයිද?
ඇත්තටම ලොකු අභියෝගයක්‌. මොකද මම මෙහි නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධ වෙනවා වගේම ද්විත්ව චරිතයක්‌ නිරූපණය කරන්නේ. මීට කලින් මම රඟපෑ ආදරයට වෙස්‌ බැන්දා ටෙලි නාට්‍යයේ ද්විත්ව චරිතයට වඩා හාත්පසින් ම වෙනස්‌. මේ චරිත දෙකම එක මොහොතේ එකම දර්ශන තලයේ පෙනී සිටින අවස්‌ථා තියෙනවා. ඒ විදිහට තමයි මේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරන්නේ.

රංගන ශිල්පිනියක්‌ ලෙසට ඔබ සතු අත්දැකීම් ප්‍රමාණය?
වසර නවයක්‌ පමණ.

රංගන ශිල්පීන් ශිල්පිනියන් ටෙලි නාට්‍ය නිෂ්පාදනයට යොමුවීම අද රැල්ලක්‌ වෙලා නේද?
රංගන ශිල්පීන් ශිල්පිනියන් කියලා නැහැ. තමන්ට යම් දෙයක්‌ ගැන අවබෝධයක්‌, හැකියාවක්‌ තියෙනවා නම් යම් දෙයකට යොමුවීමේ වරදක්‌ මම දකින්නේ නැහැ. වැදගත්ම දේ ඒ දේ ගැන දැනුමක්‌ තිබීමයි. ක්‍ෂේත්‍රයේම කෙනෙක්‌ යොමු වෙනවා නම් ඒක හොඳ නිමිත්තක්‌.

ඒ නිසාද ඔබත් ආවේ?
ක්‍ෂේත්‍රයේ වසර නවයක ඇසුරක්‌ තියෙන නිසා මම හිතනවා මට නිෂ්පාදන ක්‍රියාවලිය ගැන පුහුණුවක්‌ තියෙනවා කියලා. ඒ නිසයි නිෂ්පාදන ක්‍රියාවලියට යොමුවුණේ. අනික අද තියෙන තැන අනුව හොඳ නිෂ්පාදකයන් වගේම ගුණාත්මක නිර්මාණ බිහි විය යුතුයි. අපි ක්‍ෂේත්‍රයේ ඉන්න අය හැටියට එහෙම දෙයක්‌ කළොත් තමයි අපි ක්‍ෂේත්‍රයට මෙහෙවරක්‌ කළා කියන්න පුළුවන් වෙන්නේ.

ඇත්කඳ ලිහිණි ඔබේ අරමුණ කොතරම් දුරකට ගෙන යයිද?
ලොකු අරමුණක්‌ ඇතිව තමයි මේ දේට මම යොමුවුණේ. "ඇත්කඳ ලිහිණි" කොටස්‌ හතළිහකින් පමණ සමන්විත ඓතිහාසික කතා පුවතක්‌ සමඟ එන ටෙලි නාට්‍යයක්‌. ඒ හරහා අපේකම රැකගෙන සමාජය දැනුවත් කරන්න පුළුවන්.

මේ හේතු නිසා ද මේ දිනවල ඔබේ රඟපෑම් දකින්න නැත්තේ?
මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය හැම එකකම රඟපාන ශිල්පීන් වැඩ කරන්නේ කුලීකාරයෝ වගේ. ඒ මොහොතේ දෙන දෙබස්‌ කියවලා රඟපාලා යනවා. මම එහෙම කෙනෙක්‌ වෙන්න කැමැති නැහැ. ඒ නිසයි මෙගා නාට්‍යවලට සම්බන්ධ නොවී ඉන්නේ.

නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ නැත්නම් ඇයි මේ තරම් කාර්යබහුල.

රීල් ඇන්ඩ් ට්‍රැක්‌ නමින් මගේම නිෂ්පාදන හා අලෙවිකරණ පෞද්ගලික ආයතනයක්‌ තියෙනවා. පසුගිය දවස්‌වල ටේ්‍රන් ටු කැන්ඩි නමින් ජාත්‍යන්තර වෙළෙඳපොළට චිත්‍රපටයක්‌ කළා. දුන්හිඳ අද්දර ටෙලිනාට්‍යය DVD ගත කළා. රඟනොපෑවට ඒ දේවල්වලට වැඩි කාලය යොමු කළා.

ඔබ රඟපෑ තෙලිඟු චිත්‍රපටය තවම තිරගත වුණේ නැද්ද?
තව මාස දෙකකින් විතර ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශවල තිරගත වෙයි. ඒ මොහොත එනකම් තමයි බලන් ඉන්නේ.

ලාංකීය නිළියක්‌ ප්‍රථම වතාවට මෙවැනි චිත්‍රපටයකට සම්බන්ධ වුණේ. ඒ ගැන දැනෙන හැඟීම?
මගේ රංගන ජීවිතේට ලැබුණු භාග්‍යයක්‌ වගේම රටට ලොකු ආඩම්බරයක්‌. ශ්‍රී ලංකා කියන නම ජාත්‍යන්තරයට ගෙනියන්න ලැබුණු ලොකු අවස්‌ථාවක්‌. ආර්. වී. උදය කුමාර් කියන ජනප්‍රිය ඉන්දියානු අධ්‍යක්‍ෂවරයා යටතේ වැඩකරන්න ලැබීමත් මගේ රංගන ජීවිතේ ලැබුණු වටිනා අවස්‌ථාවක්‌. තෙලිඟු භාෂාවත් මේ චිත්‍රපටයේ රඟපාන්න ලැබීම නිසා ඉගෙන ගත්තා.

රංගන ශිල්පිනියක්‌, නිෂ්පාදිකාවක්‌ වගේම ඔබ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්‌?
වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්‌ ලෙසට තමයි මම මුලින්ම ක්‍ෂේත්‍රයට ආවේ. දැන් මාස දෙකක විතර ඉඳන් ජාතික රූපවාහිනියේ රිදම් චැට්‌ වැඩසටහන ඉදිරිපත් කරනවා. මුල්ම අඩිතාලම වැටුනේ එතැනින්.

ආදරය ගැන දැනෙන හැඟීම්?
මම පෙම්වතියක්‌, ආදරය හරිම සුන්දරයි.

එහෙම නම් මේ වසරේ විවාහ වෙනවාද?
තවම ඒ ගැන හිතුවේ නැහැ. මොකද බලාපොරොත්තු කොහොම ඉටුවේවිද දන්නෙ නැහැනේ.

ලක්‌මිණි අතුකෝරල
ඡායා - ඉන්දික මල්ලවරච්චි



ආලින්දය හැඩ කරන්න මේ සතියේ අපි ගොඩවැදුණේ පුංචි තිරයේ තවත් ජනප්‍රිය තරුවක් වෙසෙන නිවහනකට. ඇය කලා ක්ෂේත්‍රයේ අතිශයින්ම ජනප්‍රිය වුණේ දැන්වීමක් හරහායි.
එක්තරා මදුරු කොයිල් වර්ගයක් පිළිබඳ වන දැන්වීමක් නිසා අතිශය ජනාදරයට පත් ඇය නිමන්ති පෝරගේ. ටෙලිනාට්‍ය ගණනාවක් ඔස්සේ විවිධ චරිත හරහා ඇය අපේ ආලින්දයට පැමිණියා.
මේ දිනවල ස්වාධීන රූපවාහිනී සේවයෙන් විකාශය වන ‘හිරුට හොරෙන්’ ටෙලි නාට්‍යයේ සහ සිරස රූපවාහිනියේ විකාශය වන ‘ගඟ අද්දර’ ටෙලි නාට්‍යයෙනුත් ඇය අප හමුවෙනවා. පුරා වසර හතරක පමණ කාලයක් තිස්සේ ඇය රගනයට එක්වූයේ නැති තරම්ය.
 එයට හේතුව වූයේ සිය පෞද්ගලික ජීවිතයේ සොඳුරු අපේක්ෂා මල්ඵල ගන්වමින් ඇය යුග දිවි ගමන් ඇරඹීමය. ගැහැනියක් ලෙස උත්තරීතර මව් පදවියෙන් පිදුම් ලැබීමෙන් පසු ඇගේ කාලය සම්පූර්ණයෙන්ම වැය වූයේ සිය පවුල් ජීවිතය වෙනුවෙනි.
නිමන්තිගේ සැමියා ප්‍රභාත් රෝෂණත් ප්‍රවීණ කැමරා ශිල්පියකු බැවින් ඔහු ගතකරන්නේ ද ඉතාම කාර්ය බහුල දිවි පෙවෙතකි. නිමන්ති - ප්‍රභාත් යුවළගේ ආදර ලෝකය තව තවත් හැඩ කරන්නේ පුංචි පුතු මෞලි මතීෂය. තුන් හැවිරිදි මෞලි නව වසරේ මොන්ටිසෝරි යාමට සූදානමින් සිටී.
”පසුගිය කාලේ මම රංගනයෙන් ඈත්වෙලා හිටියේ ඇත්තටම පුතා හින්දා. මේ අවුරුද්දෙ ඉඳලා එයා මොන්ටිසෝරි යන නිසා ඉඳහිට කොළඹ අවට කරන කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නයි බලාපොරොත්තුව.
නිමන්තිත් ප්‍රභාතුත් පදිංචි වී සිටින්නේ බත්තරමුල්ල පැලවත්තේය. විවාහයෙන් පසු මේ දෙදෙනා කැලණියේ නිමන්තිගේ මහගෙදර පදිංචි වී සිටියත් කලා කටයුතුවල පහසුව සඳහා බත්තරමුල්ලේ පදිංචියට පැමිණ ඇත.
’අපේ ගෙදර සියලු වගකීම් ඉටුවෙන්නේ නම් නිමන්ති අතින්. උයන්නේ – පිහින්නේ, ගේ දොර අතුපතු ගාන්නේ, පුතා බලාගන්නේ මේ ඔක්කොම නිමන්ති කරන්නේ. නිමන්ති ඒ වගකීම් හරියටම ඉටුකරන නිසා මගේ වැඩ කටයුතු කරදරයක් නැතුව නිදහසේ කරගන්න පුළුවන් වෙලා තිබෙනවා.
ප්‍රභාත් කිව්වෙ නිමන්තිගේ වැඩ කටයුතු අගය කරමින්.
ප්‍රභාත් ගෙදර ඉන්නේ ඉඳල හිටලා දවසක. එදාට නම් ප්‍රභාත්ට පුතාගෙන් බේරිල්ලක් නෑ. ඉඳල හිටලා ඉන්න නිසා උපරිම ප්‍රයෝජන ගන්නවා. එදාට මට කරදර කරන්නේ නෑ. නිමන්ති කිව්වා.
නිමන්ති – ප්‍රභාත් සමඟ විවාහ වෙලා දැන් වසර 04ක් ගතවෙලා. දෙන්නත් එක්ක එකතු වෙලා පසුගිය දිනවල ව්‍යාපාරයකුත් පටන් අරන්. ‘සිනෙ ආට්ස්’ නමින් සිනමා හා ටෙලි නාට්‍ය සඳහා අවශ්‍ය වන සියලු උපකරණ ලබාදීමේ ආයතනයක් ඔවුන් ආරම්භ කළා. පාගොඩ පාර, නුගේගොඩ මේ වෙනුවෙන් කාර්යාලයක් ද පසුගියදා විවෘත කළා.
’පුතාත් එක්ක ගත කරන ජීවිතේ අතිශයින්ම සුන්දරයි. දවසින් දවස එයා නිසා අපි දෙන්නගේ ජීවිතේ අලුත් වෙනවා කියලා දැනෙනවා. නිමන්තිත් –ප්‍රභාතුත් කිව්වේ උතුරා යන සතුටකින්.
හේමාලි විජේරත්න


No comments:

Post a Comment