Pages

Thursday, December 2, 2010

බ්‍රිතාන්‍ය ආරක්ෂක ඇමැති ජනපති හමුවේ

 එක්සත් රාජධානියේ සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍ය ලියම් ෆොක්ස් මහතා අතර හමුවක් ඊයේ (01) පස්වරුවේ ලන්ඩන් හි දී පැවැත්විණි. බ්‍රිතාන්‍ය රජයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන සංවර්ධන ආධාර පිළිබඳ ව සහ ශ්‍රී ලංකාවේ බලය බෙදීමේ ක්‍රියාවලිය පිළිබඳ ව මෙම හමුවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ බලය බෙදීමේ ක්‍රියාවලියේ දී පළාත් පාලන ආයතන තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව තම රජය හඳුනාගෙන ඇති බවයි.

බිම් මට්ටමෙන් සාමාන්‍ය ජනතාවට වඩා සක්‍රීය ලෙස දේශපාලන හා පරිපාලන ක්‍රියාවලියට සම්බන්ධවීමට පුළුල් ඉඩ ප්‍රස්ථා ලබා දීමට රජය කටයුතු කරගෙන යන බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

ඉදිරියේ දී එක්ව ක්‍රියාකිරීමට කැමති දෙමළ දේශපාලන පක්ෂ සමහ ද රජය සාකච්ඡා ආරම්භ කොට ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා බලෙන් පටවන විසඳුම්වලට වඩා ජනතා අදහස් ලබාගෙන ක්‍රියාත්මක කරන යෝජනා වඩා ප්‍රතිඵලදායක බව ද පැවසීය.

උතුරු පළාතේ සංවර්ධන වැඩපිළිවෙළට මෙන් ම සෙසු සංවර්ධන කටයුතු සඳහා බ්‍රිතාන්‍ය රජයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ඉදිරි සංවර්ධන ආධාර පිළිබඳ ව ද බ්‍රිතාන්‍ය ආරක්ෂක ඇමැතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.

එසේ ම ශ්‍රී ලංකාවේ ඇති ආයෝජන අවස්ථා පිළිබඳ ව ද මෙහිදී බ්‍රිතාන්‍ය ආරක්ෂක ඇමැතිවරයගේ අවාධානය යොමු වී තිබේ.


No comments:

Post a Comment