Pages

Wednesday, December 8, 2010

කොටින්ට සහාය දක්වන්නන්ට යාපනේ දෙමළ ජනතා විරෝධය

එංගලන්තයේ ලන්ඩන් නුවරදී පසුගියදා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කටයුතුවලට බාධා කළ කොටි හිතවතුන්ට විරෝධය පළකරමින් යාපනයේ දෙමළ ජනතාව හාරදහසකට අධික සංඛ්‍යාවක් ඊයේ (07) යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණය අසල රැස්වී විරෝධතාවක් පැවැත්වූහ.
සාමය අගයන දමිළ ජනතා සංවිධානය නමින් වූ සංවිධානය සමඟින් එම අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ යාපනයේ දිස්ත්‍රික් සංවිධායක අන්ගජන් රාමනාදන්, නිල් බළකායේ යාපනයේ සංවිධායක නවරත්නම් යෝගරාජා, මානිප්පායි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සම්බන්ධීකරණ නිලධාරි අරූල් නේෂරත්නම් රවිකුමාර් යන මහතුන් සමඟ උද්ඝෝෂකයෝ කන්කසන්තුරේ පාර, රෝහල් පාර ඇතුළු වීදි ගණනාවක පා ගමනින් ගොස් බස් නැවතුම්පළට ළඟාවී බස් නැවතුම්පොළේ විරෝධතා පවත්වා විසිර ගියහ.
මේ අවස්ථාවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ යාපනයේ දිස්ත්‍රික් සංවිධායක අන්ගජන් රාමනාදන් මහතා කියා සිටියේ ලන්ඩනයේ කොටින්ට හිතවත් ඩයස්පෝරාව ගෙන ගිය එම වැඩපිළිවෙළ කිසි දිනක උතුරේ ජනතාව අනුමත නොකරන බවත්, රටට සාමය උදාකර දුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ අත්වැල් බැඳගනිමින් උතුරේ ජනතාව කටයුතු කරන බවත්ය.
නිල් බළකායේ යාපනයේ දිස්ත්‍රික් සංවිධායක නවරත්නම් යෝගරාජා මහතා සඳහන් කළේ අද උතුරේ ජනතාව කිසි දිනක එල්. ටී. ටී. ඊ. ලන්ඩන් හිතවාදීන්ට ශ්‍රී ලංකාවට පැමිණ කිසිම ක්‍රියාකාරකමක් සිදුකිරීමට ඉඩ නොදෙන බවය.
මානිප්පායි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සම්බන්ධීකරණ නිලධාරි අරූල් නේෂරත්නම් රවිකුමාර් මහතා කියා සිටියේ දොස්තර ජයලත් ජයවර්ධන ලන්ඩනයේ සිටින එල්. ටී. ටී. ඊ. කොටි හිතවාදීන් සමඟ එක්ව ශ්‍රී ලංකාණ්ඩුවට හා ජනාධිපතිතුමාට විරුද්ධව ගෙන ගිය එම ක්‍රියාව කිසිසේත් උතුරේ ජනතාව අනුමත නොකරන බවය.
එල්. ටී. ටී. ඊ. කොටි ත්‍රස්තවාදීන් විසින් වසර තිහක් තිස්සේ පැවැති යුද්ධය හේතුවෙන් වඩාත් පීඩාවට පත්වූයේ උතුරේ වෙසෙන දමිළ ජනතාව බවත්, අද එම ජනතාව ඉතාමත් කෙටි කාලයක් තුළදී රටට සාමය උදාකර දීමට පූර්ණ කැපවීම් සිදුකළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සමඟ කටයුතු කරන බවත්, එල්. ටී. ටී. ඊ. කොටි හිතවාදීන්ට මෙරටට පැමිණ ලන්ඩනයේ කරන ලද සෙල්ලම් මෙරටදී කිරීමට කිසි දිනක ඉඩ නොදෙන බවත්ය.
දිනමිණ ඇසුරෙන්

No comments:

Post a Comment