Pages

Sunday, December 19, 2010

මේ සිදුවීම මගේ මුළු ජීවිතයම අවුල් කළා


නදී චන්ද්‍රසේකර
මට හොරෙන් රට යන්න ඕනකමක්‌ නෑ...
 
පුංචි තිරය නරඹන කොයි කවුරුත් ඇයට දැක්‌වූයේ පුදුමාකාර ආදරයක්‌. ඒ තරමට නදී චන්ද්‍රසේකර රංගන ශිල්පිනියක්‌ ලෙසට තමන් ඔපදමන චරිත තුළ සැබෑවටම ජීවත් වූ නිළියක්‌. නමුත් කොතරම් සතුටින් නිදහසේ සිටියත් මිනිසුන් හැටියට අපි කා අතරටත් ප්‍රශ්න එන්නේ නොසිතූ විරූ විලාසයකින්. එසේ පැමිණි ප්‍රශ්නයක්‌ නිසා පසුගිය වසර එකහමාරක කාලයක්‌ නදී ගතකළේ නිහඬ ජීවිතයක්‌. නමුත් සත්‍ය කවදා හෝ ජයගනී යන කියමන සනාථ කරමින් නදී වටා තිබූ විශාල කඩඉමකින් ජයගන්න නීතියේ සාධාරණය පසුගිය දා ඇයට වාසනාව ගෙනාවා. මේ සිද්ධිය වටා ගෙතුණ කතාවේ ඇත්ත දැනගන්න අපි නදීට කතා කළා.

නදී ඇත්තටම පසුගිය කාලේ සිදුවුණු සිදුවීම මොකක්‌ද?

සෑම වසරකම වගේ 2008 අවුරුද්දේ ලංකාවේ විශිෂ්ටයන් දහදෙනා අතරට කලා ක්‍ෂෙත්‍රයෙන් රංගනය වෙනුවෙන් ලබාදෙන සම්මානය ලැබුණේ මට. ඒත් සමග අවුරුද්දක්‌ ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක රංගනය ගැන ඉගෙන ගන්න ශිෂ්‍යත්වයක්‌ ලැබුණා. උත්සවයට පස්‌සේ දවසක ඇමරිකානු එම්බසියට ගියා රටයන්න වීසා එක ගන්න. එදා දවස පුරාම එම්බසියේ රඳවගෙන ඉඳලා හවස තුනට විතර පොලීසියෙන් ඇවිත් මාව අත්අඩංගුවට ගත්තා. ව්‍යාජ ලේඛනයක්‌ ඉදිරිපත් කරලා විදේශගත වීමට තැත්කිරීම කියන චෝදනාවට.

ඇත්තටම ඉතිං එහෙම දෙයක්‌ සිද්ධ වුණාද?

ඇත්තටම මේක විහිළුවක්‌. මේ ශිෂ්‍යත්වෙ ලැබුණේ සම්මානෙත් එක්‌ක. ලංකාවෙන් පිටට කියලා මම මුලින්ම ගිහින් තියෙන්නෙත් ඇමරිකාවට. ඊට පස්‌සේ කැනඩාව, එංගලන්තය, ජපානය වගේ රටවල් කිහිපයකටම මම කීප ගමනක්‌ම ගිහින් තියෙනවා. එහෙම ගිහින් තියෙන මට හොරෙන් රටයන්න කිසිම අවශ්‍යතාවක්‌ නැහැ.

ඊට පස්‌සේ මොකද වුණේ?

මේ කරලා තියෙන්නේ මාව විනාශ කරන්න හිතාගෙන. මාව අත්අඩංගුවට ගත්ත දවසේ පැය 24 ක්‌ යන්න කලින් කොටුව මහේස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහත්මයා ඇපදීලා මාව එළියට ගත්තා. හැම පැත්තකින්ම වගේ මාව කඩාවැටුණා. කවදාවත් පොලීසියකටවත් ගිහින් නොතිබුණු මට උසාවිගානේ යන්න සිද්ධ වුණා. මගේ අම්මා, අප්පච්චි හොඳ වැදගත් මිනිස්‌සු. අප්පච්චි රැකියාව කරන්නේ පාර්ලිමේන්තුවේ. ඒ හැම තැනකින්ම අපිට කෙනෙහිලිකම් කළා. උඩ බලාගෙන කෙල ගහගන්න බැරි නිසා මම නිහඬ වුණා.

මෙවැනි චෝදනාවක්‌ ඉදිරියේ නිහඬව ඉන්න පුළුවන් වුණාද?

බැහැ තමයි. මගේ අම්මා, අප්පච්චි, මල්ලි අවුරුදු එකහමාරක්‌ තිස්‌සේ දුක්‌ විඳපු හැටි මතක්‌ වෙද්දි දුකයි. ඒත් ඒ වේදනාවත් එක්‌ක මම පලිගන්න ගියේ නැහැ කාගෙන්වත්. නිහඬව ඉඳගෙන උත්තර බැන්දා විතරයි. නමුත් ඕනම ප්‍රශ්නයක්‌ වැඩිදුර නොගිහින් විසඳගන්න තියෙන එකම ක්‍රමය පාවිච්චි කරලා මමත් යහන්ගත වුණානම් රටක්‌ ලෝකයක්‌ දැනගන්න කලින් මේ ප්‍රශ්නෙට විසඳුමක්‌ හොයාගන්න තිබුණා. ඒත් බඩගින්නේ මැරුණත් මම මගේ ආත්ම ගරුත්වය පාවලා දෙන්නේ නැති නිසා යුක්‌තිය මගින් හරියටම නීතිය ක්‍රියාත්මක වෙලා සහනයක්‌ ලැබෙනකන් මම බලාගෙන හිටියා.

මේ ප්‍රශ්නෙදි ක්‍ෂෙත්‍රයේ අය සහ නෑ හිතමිතුරන්ගෙන් මොනවගේ සහයක්‌ ද ලැබුණේ?
ක්‍ෂෙත්‍රයේ බොහෝ අය මාව කොන් කළා. නොකරපු වරදකට හැමපැත්තෙන්ම දඬුවම් ලැබෙද්දි මට දැනුණේ මහ කලකිරීමක්‌. ලොකු අම්මයි, ආත්තම්මයි විතරයි නෑදැයෝ කියලා අපිත් එක්‌ක මේ ප්‍රශ්නෙදි ළගින් හිටියේ. යුක්‌තිය ඉෂ්ඨ කරගන්න මිහිපිට ඉන්න දෙවියන් වගේ මනුෂ්‍යයන් කිහිප දෙනකුගේ උදව් ලැබුණු නිසා මට නිදහස්‌ වෙන්න ලැබුණා. ඒ හැමෝටම මම ස්‌තූතිවන්ත වෙනවා.

මේ ප්‍රශ්නෙදි ඔබ සමාජයට මුහුණ දුන්නේ කොහොමද?

අපේ පවුලේ මමයි, අම්මයි. අප්පච්චියි, මල්ලියි බොහොම පරිස්‌සමින් වැදගත් විදිහට ජීවත් වුණේ කාගෙන්වත් කතන්දරයක්‌ අහන්නෙ නැතුව. මේ සිද්ධිය නිසා විශාල කැළලක්‌ මගේ ජීවිතයටත් අපේ පවුලටත් ඇතිවුණා. අනිත් එක මගේ රංගන ජීවිතේට හානි වෙන කිසිම චරිතයක්‌ මම රඟපාලා නැහැ. එහෙම ගමනක්‌ ආපු මට මුහුණ දෙන්න වුණ සිද්ධිය නිසා ජීවිතේ පැත්තෙනුත් රංගනය පැත්තෙනුත් කලකිරීමක්‌ විතරයි ඉතිරුවුණේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරන්නේ කවුද?

ඇත්තටම මේක අභිරහසක්‌. මට කිසිදෙයක්‌ හිතාගන්න බැහැ. කවුරු කොහොම මේක කළාද කියලා. කවුරු කළා වුණත් ඒ පුද්ගලයා අවුරුදු එකහමාරක සතුටක්‌ ලබාගත්තා ඒක මට සතුටක්‌. මගේ හිත රිද්දපු කා එක්‌කවත් මම තරහා නැහැ. ඒක පෘථග්ජන මිනිසුන්ගේ ස්‌වභාවයක්‌නේ. මඩ ප්‍රහාරයක්‌ ගහලා විනාශ වුණ මගේ ජීවිතේ අලුතින් ගොඩනඟාගන්න උත්සාහ ගන්නවා.

ඒ කියන්නේ ඉදිරියේ දී නැවතත් රංගන අංශයේ නියෑළෙනවද?

රංගන ශිල්පිනියක්‌ කියන්නේ හදවතත් එක්‌ක වැඩ කරන කෙනෙක්‌. අද මගේ මුළු ජීවිතේම කලත්තලා තියෙන්නේ. ඒ නිසා පොඩි කාලයක්‌ අවශ්‍යයි සාමාන්‍ය තත්ත්වයට එන්න. ඒ නිසා මොනවගේ දෙයක්‌ ගැන තීරණය කරයි ද කියලා කියන්න බැහැ.

මේ සිදුවීම නිසාද පසුගිය කාලයේ ඔබ මාධ්‍යයෙනුත් වහන්වෙලා හිටියේ?

එක පුවත්පතක්‌ ඇරුණුකොට මාධ්‍යයට සම්බන්ධ හැම ආයතනයක්‌ම මගේ නිහඬතාව රකින්න ඇත්තටම මට උදව් කළා. ඇත්ත නැත්ත එළිවෙනකම් ඉන්න මට සහයෝගය දුන්නා. මාධ්‍යයට ස්‌තූතිවන්ත වෙන්න ඕන. මොකද ඔවුන් මාව නැති කළේ නැති නිසා.

නිර්මාණවලට සම්බන්ධ වීමේ දායකත්වය අඩුවෙන්න හේතුවුණෙත් මේ සිද්ධියමද?

දැන් නිර්මාණය කෙරෙන කිසිම බරක්‌ හරයක්‌ නැති ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න මගෙ වැඩි කැමැත්තක්‌ නැහැ. රැල්ලට යන්නත් මගෙ බලාපොරොත්තුවක්‌ නැහැ. ඒ නිසා ජීවිතේ වගේම රූපවාහිනියේ විකාශය වන නිර්මාණ ගැනත් මට තියෙන්නේ කලකිරීමක්‌.

ලැබුණු අවස්‌ථාව නැතිවී යැම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මේක මටත් වඩා රටට ලැබුණු වටිනා අවස්‌ථාවක්‌. මොකද මේ වෙනකම් ලංකාවේ රංගන ශිsල්පියකුට හොලිවුඩ්වල ඉගෙනගන්න අවස්‌ථාවක්‌ ලැබිලා නැහැ. මට තමයි මුල්ම වතාවට ලැබුණේ. මේ අවස්‌ථාව වෙනුවෙන් ජනාධිපතිතුමා පවා පෞද්ගලිකව මාව මුණගැහිලා සුබ පැතුවා මාලනී අක්‌කා වගේ ඉදිරියටම යන්න කියලා. නැවතත් ඒ අවස්‌ථාව ලබාගන්න පුළුවන්ද කියලා උත්සාහයක්‌ දරලා බලනවා.

සම්මානයක්‌ නිසා ඇතිවුණ මේ සිද්ධියෙන් පසුව තවත් ජයග්‍රහණ කිහිපයක්‌ම ලැබුණා නේද?

ඔව්. 2010 සුමති සම්මාන උළෙලේ හොඳම සහය නිළියට හිමි සම්මානයත්, රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජූරියේ විශේෂ සම්මානයත් මට හිමිවුණා. ඒ වගේම ඇමරිකාවේ රූගත කිරීමට සැලසුම් කරලා තියෙන ටෙලිනාට්‍යයකටත් තවත් චිත්‍රපටයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් ඉදිරියේදී නිර්මාණවලට දායක වෙනවද කියන ප්‍රශ්නෙ ඉස්‌සරහ තාම තියෙන්නේ ප්‍රශ්නාර්ථයක්‌ම තමයි.

නීතියෙන් සාධාරණයක්‌ වුණත් ප්‍රේíකයා ඔබ දිහා බලන්නේ තාමත් වපර ඇසින්ද?

කවදාවත් මට ආදරේ කරන රසිකයෝ මගේ දිහා වපර ඇහින් බලලා නැහැ. මොකද මටත් වඩා එයාලා දන්නවා මම මේ දේට වැරදිකරුවෙක්‌ නෙමෙයි කියලා. කොටින්ම මේ නඩුව දිනන්නත් ලැබුණේ ජනතාවගේ ජයග්‍රහණයක්‌ වගේ. මේ බොරු චෝදනාවෙන් මට නිදහස්‌ වෙන්න ඔවුන් බෝධි පූජා තිබ්බා. යාතිකා කළා. ඒ හැමෝටම මම ස්‌තූතිවන්ත වෙනවා.

අනාගතයට මුහුණ දෙන්න සැලසුම් කරලා තියෙන්නේ මොනවිදිහටද?

ඉදිරියේදී මීට වඩා ප්‍රශ්නයකට වුණත් මුහුණ දෙන්න පුළුවන් ශක්‌තියක්‌ මට දැන් ඇතිවෙලා තියෙනවා. පොලීසිය, උසාවිය මට දැන් හොඳට හුරුයි. ඒ වගේම නෑදැයෝ, යාළුවෝ කියන මේ හැමෝම ගැනම හොඳ දැනීමක්‌ ඇතිව තමයි ඉදිරියේදී ජීවත් වෙන්නේ.

No comments:

Post a Comment