Pages

Saturday, December 18, 2010

එ. ජා. උපදේශක මණ්ඩලය ශ්‍රී ලංකාවට පැමිණීමට සැරසෙයි


දෙසැ.18- ශ්‍රි ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කර ඇති එක්සත් ජාතින්ගේ උපදේශක මණ්ඩලයට දැන් ශ්‍රි ලංකාවේ සංචාරය කිරිමේ හැකියාව ඇති බව එක්සත් ජාතින්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා පැවසීය. ඔහු ඒ බව පවසා ඇත්තේ,  ඊයේ එක්සත් ජාතින්ගේ මුලස්ථානයේ පැවති දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නැගුණු පැනයකට පිළිතුරු වශයෙනි.

තමන් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පුළුල් සංවාදයක් පැවතී‍මේ වාතාවරණය ඊට හේතුව වශයෙන් ඔහු පෙන්වා දී ඇත.

අදාළ තත්ත්වය තුළ තම උපදේශක මණ්ඩලයට ශ්‍රි ලංකාව‍ට ගොස් උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබද කොමිෂන් සභාව හමුවිය හැකි බව මහලේකම්වරයා පෙන්වා දේ.

මූන් මහතා පැවසුවේ,  තම උපදේශක මණ්ඩලය පුළුල් සහයෝගිතාවයකින් ක්‍රියා කරනු ඇති බවට දැඩි විශ්වාසයක් පවතින බවය.

නිර්මාණය වී ඇති වර්ධනීය තත්ත්වය දිර්ඝ සංවාදයක ප්‍රතිඵලයක් බවත් ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම්‍යශිලීභාවය අගය කරන බවත් එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා ප්‍රකාශ කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ  ප්‍රකාශක බන්දුල ජයසේකර මහතා පැවසුවේ, එක්සත් ජාතින්ගේ උපදේශක මණ්ඩලයට ශ්‍රි ලංකාවට පැමිණිම  සම්බන්ධයෙන් විධිමත් ඉල්ලිමක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබදව අමාත්‍යාංශය සලකා බලන බවය.
 

No comments:

Post a Comment