Pages

Friday, December 10, 2010

ඕනවට වැඩිය ගණන් ගන්නේ නෑ...

(අද දෙරණ ආලින්දය සමග මෙවර එක්වී සිටින්නේ මේ දිනවල පුංචි තිරයෙන් මෙන්ම රිදී තිරයෙන් ඔබ හමුවට පැමිණෙන රංගන ශිල්පිණියකි. මේ දිනවල ටී.වී දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වන ආදරණිය පූර්ණිමා ටෙලි නාට්‍යයේ සඳුනි ලෙස ඇය චරිත නිරූපණය කරයි. එමෙන්ම සිංහල සිනමාවට එක්වූ නවතම චිත්‍රපටයක් වන වියපත් බඹරා චිත්‍රපටයට ද ඇය රංගනයෙන් දායක වී තිබේ. ඇය උත්පලා මධුෂානි ගුණතිලක. . .)
ඕනවට වැඩිය ගණන් ගන්නේ නෑ...


*සම්පූර්ණ නම

උත්පලා මධුෂානි ගුණතිලක.

*උපන්දිනය

1990 .07. 07

*ලග්නය

මිථුන.

*පළමු වෘත්තිය

රංගනය.

*අනාගත බලාපොරොත්තුව

සාර්ථක රංගන ශිල්පිණියක් වීම.

*පවුලේ සාමාජිකයින්

අම්මා, තාත්තා, අයියා සහ මල්ලි

*ඉතින්, උත්පලා ආදරණීය පූර්ණිමා ටෙලි නාට්‍යයත් එක්ක කොහොමද ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර?

ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ ප්‍රතිචාර මැද මේ දවස් වල කාලය ගෙවෙනවා. ඒ ටෙලි නාට්‍යය තුළින් තමයි මට ඉදිරියට එන්න පුළුවන් වුණේ. ඒ තුළින් මාව බොහෝදෙනෙක් හඳුනගත්තා.

*ඔබේ බලාපොරොත්තුව වෙලා තිබුණේ කවදා හෝ කලාවට පිවිසීමද?

කලාවට පිවිසෙනවා කියලා බලාපොරොත්තුවක් තිබුණේ නෑ. නමුත් පුංචි කාලේ ඉඳලම කලාවට ආසාවක් තිබුණා නර්තන ක්ෂේත්‍රයට. පාසල් කාලයේ සිටම බලාපොරොත්තුව වෙලා තිබුණේ නර්තන ගුරුවරියක් වීමයි. අහම්බෙන් වගේ සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ මම සිරස කුමරිය තරගයට ඉදිරිපත් වුණා. එහිදී මම ඡවි කල්‍යාණිය ලෙස තේරී පත්වුණා. පසුව මම මුලින්ම"පතිනි"ටෙලි නාට්‍යයට සම්බන්ධවුණා. එතැන් සිට තමයි මගේ කලා ජීවිතය ඇරඹුණේ.

*කලා ශිල්පිණියක් විදිහට ඔබ මේ යන ගමන ගැන ඔබ සෑහීමට පත්වෙනවද?

කලා ශිල්පිණියක් විදිහට මම තවම තෘප්තිමත් නෑ. මම හිතනවා මගේ දක්ෂතාවය තවමත් මට නිසියාකාරව ඉදිරිපත් කරන්න බැරිවුණා කියලා. ආදරණීය පූර්ණිමා ටෙලි නාට්‍යය තුළින් මට යම්තාක් දුරට සාධාරණයක් ඉෂ්ටකරන්න පුළුවන් වුණා. යම්තාක් දුරට මගේ දක්ෂතාවය ඉදිරිපත්කරන්න පුළුවන් වුණා. මේ වෙද්දි මම මගේ වෘත්තිය විදිහටත් මම තෝරාගෙන තියෙනවා.

*උත්පලා, ඔබේ පෞද්ගලික වැඩකටයුතුත් එක්ක වෘත්තිය වැඩ කටයුතු කරගෙන යද්දි සාමාන්‍යයෙන් උදේ අවදිවුණු වෙලාවේ ඉඳන් ඔබේ දවස ඔබ සැලසුම් කරගෙන තියෙන්නේ කොහොමද?

මම දැනට කතා කටයුතු තමයි කරගෙන යන්නේ. උදේට නැගිටිනවා. ඊට පස්සේ රූගතකිරීම් වලට යනවා. ගෙදර එනවා. ඒ විදිහට තමයි දවස ගෙවෙන්නේ.

* උත්පලාට කියන්න පුළුවන්ද ඔබට යම් අවස්ථාවක් ලැබුණොත් ඔබේ ජීවිතෙන් ඔබ ඉවත්කරන්න කැමති යම් අත්දැකීමක්?

එහෙම කියන්න නම් මතකයක් නෑ.

*ඒ අතරම ඔබට මතක්කරන්න පුළුවන්ද ඔබට කවදාවත්ම අමතක නොවන ඒ වගේම ඔබ බොහොම සංවේදී වුණු අවස්ථාවක් ගැන?

එහෙම දැනුණු අවස්ථා ගැන ලොකු මතකයක් නෑ. ජීවිතයේ විවිධ අවස්ථාවලදී අපිට කළකිරීම් ඇතිවෙනවා. නමුත් මම ඕනම දෙයක් ඕනවට වැඩිය ගණන් ගන්නේ නෑ. දුකක් ඇතිවුණොත් මම ඒක ඒ මොහොතෙම අමතක කරලා දානවා. මම හිතනවා ටික වෙලාවකින් මට ඕනම දෙයක් අමතක කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ සුපුරුදු විදිහට මම මගේ ජීවිතයේ ඉදිරියට අරගෙන යනවා. නමුත් මගේ අම්මම්මා නැතිවීම මට අමතක කරන්න බැරි සිදුවීමක්. මට එහා නැතිව ජීවත්වෙන්න බැරිවෙයි කියලා හිතපු කෙනෙක් නැතිවීම ඇත්තටම මගේ ජීවිතයේ අමතක කරන්න බැරිම සිද්ධියක්.

* ඔබ ඔබේ ජීවිතයේ වඩාත් සුන්දරම කාලය විදිහට දකින්නේ ඒ කුමන අවධියද?

මම හිතන්නේ මගේ ජීවිතයේ සුන්දරම කාලය මගේ පාසල් කාලය කියලා.

*ඉතින්, උත්පලා ඒ අතරෙම ඔබේ ආදරය ගැන දැනගන්නත් ඔබේ ප්‍රේක්ෂකයින් කැමතිවේවි. ?

මට ආදරයක් තියෙනවා. මේ වෙනකොට අපේ ආදරයට පවුල් දෙකේම කැමැත්ත ලැබිලා තියෙනවා. මම හිතනවා දැනට ඒ විස්තර ඇති කියලා. ඉදිරියේදී ඉතුරු විස්තර කියන්නම්. ඉක්මනින් විවාහවීමට නම් තවම බලාපොරොත්තුවක් නෑ. ඒ ගැනත් පසුව කියන්නම්.

*උත්පලා, අපේ සංස්කෘතිය, සදාචාරය, සම්ප්‍රදාය වගේ කරුණුත් එක්ක අපේ රටේ කලා ශිල්පිණියන්ට විවිධ සීමා වලට මුහුණදෙන්න වෙනවා. ඔබ මේ සීමා පැනවීම සාධාරණයි කියලා හිතනවද?

ශ්‍රී ලංකාව ගැන බලද්දි මම හිතනවා එය සාධාරණයි කියලා.

*කලා ශිල්පිණියක් විදිහට ඔබට විසින් ඔබට පනවාගත් යම් සීමා, කොන්දේසි තියෙනවද?

මම ඕනම දෙයකදී, චරිතයක් බාරගනිද්දි වුණත් සංස්කෘතිය ගැන හිතනවා. චරිතයක් තොරාගනිද්දි ඇඳුම් පැළඳුම් ඇතුළු මේ දේවල් ගැන සැලකිලිමත්වෙනවා. ඒක අනිවාර්යයෙන්ම කලා ශිල්පිණියකට වැදගත් දෙයක්. මම ඒ ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත්වෙනවා.

*සාමාන්‍ය ජීවිතයේදී උත්පලා මධුෂානි හඳුන්වලා දෙන්න පුළුවන් කොහොමද?

සැහැල්ලුවෙන් ජීවත්වෙන්න කැමති කෙනෙක්. සැබෑ ජීවිතයේ උත්පලා කියන්නේ ආදරණීය පූර්ණිමා කියන්නේ ආදරණීය පූර්ණිමා ටෙලි නාට්‍යයේ සඳුනිම තමයි.

*ජීවිතයේ මේ දක්වා ඔබේ වෘත්තිය පැත්තෙන්, ඔබේ පෞද්ගලික ජීවිතය පැත්තෙන් මේ දක්වා ඔබ පැමිණි ගමන ගැන ඔබට සෑහීමට, සතුටට පත්වෙන්න පුළුවන්ද?

වෘත්තීය පැත්තෙන් නම් මම තවම සෑහීමට පත්වෙන්නේ නෑ. පෞද්ගලික ජීවිතයේදී මම සෑහීමට පත්වෙනවා.

HARD TALK

*බොහොම ඉහළ ප්‍රතිලාභ ලැබුණොත්, ඒ වගේම ඔබ වඩාත් ආදරය කරන කෙනෙක් ඉල්ලීමක් කළොත් දේශපාලන පක්ෂයක ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් පෙනීඉන්න කියලා ඔබ එය බාරගන්නවද?

නැහැ.

*අවංක ආදරය විවාහයෙන් කෙළවර විය යුතුයි කියලා හිතනවද?

නැහැ.

*එකම මට්ටමක, එකම අවස්ථාවක ඔබේ සහෝදරයා හා ඔබේ පෙම්වතා අධ්‍යක්ෂණය කරන නිර්මාණ 2ක රඟපාන්න අවස්ථාව ලැබුණොත් ඔබ බාරගන්නේ කුමන නිර්මාණයද?

පෙම්වතාගේ නිර්මාණය බාරගන්නවා.

*කවදා හෝ ඔබේ පෙම්වතා හෝ සැමියා ඉල්ලීමක් කළොත් කලා කටයුතු වලින් සම්පූර්ණයෙන්ම ඉවත්වෙන්න කියලා ඒ ඉල්ලීම පිළිගන්නවද?

ඔව්.

*කිසියම් අවස්ථාවක ඔබ පිළිබඳව අසත්‍ය කටකතාවක් පැතිරෙනවා. එවිට ඔබ කරන්නේ නීතිමය ක්‍රියා මාර්ග ගන්නවා. මාධ්‍යයට සත්‍යය හෙළිකරනවා. එහෙමත් නැත්නම් සත්‍යය හෙළිවීම කාලයට බාරදී නිහඬව ඉන්නවා?

සත්‍යය හෙළිවීම කාලයට බාරදී නිහඬව ඉන්නවා.

No comments:

Post a Comment